මවක ලෙසින් මේ ලබනා අබිමන්
චූටි දුවේ ඔබ ආ හින්දයි
කොළඹ බෞද්ධාලෝක මාවත
නාරද බෞද්ධ ධර්මායතනාධිපති
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ එක්තරා දෙවියෙක් පැමිණ විමසා සිටියා,
“ස්වාමීනී මේ ලෝකයේ මිනිසුන්ට තිබෙන ලොකුම වස්තුව කුමක් ද?” කියලා. එවිට
භාග්‍යවතුන් වහන්සේ වදාළා “පුත්තා වත්ථු මනුස්සානං දේවේන්ද්‍රය, මේ ලෝකයේ මිනිසුන්ට
තිබෙන ලොකුම වස්තුව දරුවෝ කියලා.
‘පුත්ථා’ කියන වචනය පාලි භාෂාවේ දී පුතාට මෙන් ම දුවටත් යොදනවා. අපේ සමාජයේ බොහෝ
මවුපියන්, ගුරුවරුන් තමන්ගේ දියණියටත් පුතේ කියා ආමන්ත්‍රණය කරනවා. එය ආදරණීය
ආකර්ශණීය වචනයක්.
ධර්මානුකූලව පුතා කියලා කතා කරන්න පුළුවන් වන්නේ යම් දරුවෙක් මවුපියන්ගේ සිත
සතුටින් පුරවනවා නම්, ඔවුන්ගේ අභිමානය රැකෙන ලෙස කටයුතු කරනවා නම්, එවැනි දරුවන්ට
පුතා කියනවා. “මාතා පිතුනං මනං පුරේතිති පුත්තෝ” අම්මා තාත්තාගේ සිත සතුටින් පුරවන
කෙනාට පුතා කියනවා. ඒක පින්වත් දියණියකටත් අදාළයි.
බුදුරජාණන් වහන්සේගෙන් දෙවියා ඇසුවේ මනුස්සයන්ට තිබෙන ලොකුම වස්තුව කුමක් ද?
කියලයි. පුත්තා වත්ථු මනුස්සානං කියා උන්වහන්සේ වදාළේ හොඳට හදන වඩන දරුවෝ සමස්ත
මානව සංහතියට ම සම්පතක්. එනිසයි උන්වහන්සේ "මනුස්සාං" කියන වචනය වදාළේ. ඒ වගේ ඉහළ
ඇගයීමක් බුදුරජාණන් වහන්සේ දරුවාට ලබා දී තිබෙනවා.
ධර්මයේ දී දරුවෝ වර්ග තුනකට බෙදා තිබෙනවා. ඒ අතිජාති, අනුජාත සහ අවජාත ලෙස.
අතිජාත - මවුපියන්ටත් වඩා ඉහළ ගුණයන්ගෙන් යුතු දරුවන් අපේ සමාජයේ ඇතැම් දරුවෝ
මවුපියන්ටත් වඩා සිල්වන්තයි. ගුණවන්ත යි. පරිත්‍යාගශීලී යි. ශ්‍රද්ධාවන්ත යි.
ප්‍රඥාවන්ත යි. හොඳ සම්මා දිට්ඨියෙන් යුක්තයි. උතුම් ගුණධර්මවලින් යුක්තයි.
අනුජාත දරුවෝ - මවුපියන් සේ ම ශ්‍රද්ධා, සීලාදී ගුණයන්ගෙන් යුතුව සාමකාමීව ජීවත්වන
දරුවෝ, අවජාත දරුවෝ - මවුපියන්ට නින්දා අපහාස ලැබෙන ආකාරයට අශෝභන විදිහට හැසිරෙන
කිසිදු ශ්‍රද්ධාවක්, සීලයක්, ත්‍යාගයක්, ප්‍රඥාවක් නැති අසත්පුරුෂයා අවජාත දරුවා
යි.
මෙහිදී සුජාත පුත්‍රයා ලෙස අතිජාත දරුවා හැඳින්විය හැකි යි. එවැනි දරුවෝ සමස්ත මානව
සංහතියට ම සම්පතක් වෙනවා.
බුදුරජාණන් වහන්සේ දරුවාට ඉහළ තැනක් ලබා දුන්නත් අද සමාජය ඊට වෙනස්. ඇතැම් මවුපියන්
තමාගේ දරුවන්ට නිසි ආදරය, සෙනෙහස දක්වන්නේ නැතිව, දරුවන් සම්පතක් සේ නොසලකා කරදරයක්
සේ සිතනවා. එනිසයි ඇතැම්විට ඉපදුණ විගස දරුවා කුණු ගොඩට වීසි කරන්නේ. මවුපියන්ගේ
නොසැලකිල්ල නිසා දරුවා ජීවිතයෙන් පවා වන්දි ගෙවන අවස්ථා තිබෙනවා. එසේ වන්නේ දරුවාගේ
අගයත් මිනිස් ලෝකයේ ඇති වටිනාකමත් දන්නේ නැති නිසයි.
අපේ සමාජයේ ඇතැම් දෙනාට යමක් තිබෙන විට එහි අගයක් නැහැ. නැති කොට එය බොහෝ අගෙයි.
නුවර ප්‍රදේශයේ පදිංචිවෙලා සිටින අයට දළදා මාළිගාවේ අගය නැති වෙන්න පුළුවන්. නමුත්
පිට පළාත්වලින් දළදා වහන්සේ සොයාගෙන ගොස් වන්දනා කර ගන්න කැමැති පින්වතුන් සිටිනවා.
අනුරාධපුර නගරයේ සිටින ඇතැම් දෙනා රුවන්මැලි මහා සෑය, ශ්‍රී මහා බෝධිය වන්දනා
කරන්නේ නැහැ. නමුත් පිට පළාත්වල සිටින පින්වතුන් කාලය, ධනය, ශ්‍රමය කැපකරලා ඒ උතුම්
ස්ථාන දැකබලා වන්දනා කර ගැනීමට යනවා.
දරුවෝත් ඒ වගේම තමා. ඇතැම් දෙනාට දරුවන් ඉන්න නිසා දරුවාගේ අගය නැති වූවත් දරුවන්
නැති කෙනාට දරුවන් ඉතාම වටිනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා කාන්තාවක් දරුවන් වැදූ
පමණින් මව හෝ, පුරුෂයෙක් දරුවෙක් හැදූ පමණින් පියකු වන්නේ නැහැ. අම්මා තාත්තා කියා
වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම කියන්න නම් ඔවුන් දරුවන්ට සංග්‍රහ කළයුතු හතර ආකාරයක්
තිබෙනවා.
ඒ දානය, පි‍්‍රය වචනය, සමානාත්මතාවය, අර්ථ චරියාව යන සංග්‍රහ වස්තුන්ගෙන් යම්
මවුපිය දෙදෙනකු දරුවන්ට සලකනවා නම් ඒ අය තමා නියම අම්මා තාත්තා වන්නේ.
විවාහ වන යුවළකගේ ඊළඟ බලාපොරොත්තුව හොඳ අම්මා තාත්තා කෙනකු වීමට යි. නමුත් හැම
දෙනාට ම ඒ වාසනාව උදා වන්නේත් නැහැ. කර්මානුරූපීව ඔවුනට යම් විපාකයක් ගෙවීමට
තිබෙනවා නම් දරුඵල අහිමි වෙන්න පුළුවන්. එවිට ඒ යුවළ බොහෝ මානසික කම්පාවට, පීඩාවට
පත්වෙනවා. එවැනි තරුණ පිරිස් අප වෙතට පැමිණ ආශිර්වාදය ලබා ගන්නවා. අද මෙම කතාවට
මාතෘකාව වන්නේ එවැනි කතාවක්.
එක්තරා තරුණ යුවළක් විවාහ වෙලා වසර ගණනාවක් ගතවූවත් දරුවෝ ලැබුණේ නැහැ. ඔවුන් මා
වෙත පැමිණ ධර්මානුකූල ආශිර්වාදයක් බලාපොරොත්තු වුණු නිසා අප වැඩ සිටින ධර්මායතනයට
ඔවුන්ට එන්න කියලා අපගේ ධාතු මන්දිරයේ දී ආශිර්වාදාත්මක පින්කමක් සිදු කළා.
කේශධාතූන් වහන්සේ තුන් නමක්, සර්වඥ ධාතූන් වහන්සේ දස නමකට අධික ප්‍රමාණයක් වැඩ
සිටින සැරියුත්, මුගලන්, සීවලී ආදී රහත් උතුමන්ගේ ධාතුන් වහන්සේ වැඩ සිටින ශ්‍රී
සුමන සමන් දේවේන්ද්‍රයාගේ ආශිර්වාදය ඇතිව ක්‍රියාත්මක වන ස්ථානයක් තමා අපගේ ධාතු
මන්දිරය. එනිසා ඒ දෙදෙනා එම මන්දිරයට කැඳවා ඔවුන් තිසරණයේ සමාදන් කරවා අප අවවාද
කළා. රුවන්මැලි මහා සෑයට ගොස් වන්දනා කර දෙවියන්ට ඒ පින අනුමෝදන් කර ආරාධනා කරන්න
දිව්‍ය ලෝකයෙන් චුත වෙන්න යම් දේවතාවියක් හෝ දෙවියෙක් සිටිනවා නම් තමාගේ කුසේ
පිළිසිඳ ගන්න කියලා.
ඒ අය ඒ ආකාරයට ම පින්කම සිදුකළා. ඊට මාස දෙක, තුනකට පසුව කාන්තාවගේ කුසේ දරුවෙක්
පිළිසිඳ ගත්තා. ඒ දෙපළ එනිසාම බොහෝ සතුටට පත්වෙලා තව තවත් ධර්මානුකූල ජීවිතයක් ගත
කළා.
කාලයාගේ ඇවෑමෙන් ඔවුන් දියණියකගේ මවුපියන් බවට පත් වුණා. ඔවුන්ගේ ඉල්ලීම මතයි මෙම
ගීතය මා විසින් රචනා කළේ. මෙහි සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන් ද, ගායනය ඉඳුනිල්
නුගවෙල මහත්මිය විසින්ද සිදු කරනු ලබනවා.
රන්මැලි සෑයේ පා මුල හිඳිමින්
හීන් හඬින් දෙව්ලොවට යැවූ
ආයාචනයට මා තුරුලට පත්
ආදර සුදු දෝණී...
දෙනුවන් පියවා තොල් පොඩි සොළවා
සිනා සලන විට හදැ සැනැසේ
සුරංගනාවන් අහසේ හිඳිමින්
දූ සනසන බව මට ද සිතේ.....
මවක ලෙසින් ලබනා මේ අබිමන්
චූටි දුවේ ඔබ ආ හින්දයි
හැරදා පැමිණුන දෙව්ලොව මිහිමත
තනවා දීම ද මට උරුමයි....
මම මේ ගීතයෙන් අදහස් කළේ ඔවුන්ගේ යටගිය කතාව යි. මේ දෙපළ මහා සෑය වෙත ගොස් සෑය
පාමුල වන්දනා කර දෙව්ලොවට ආරාධනාවක් කළා, එයින් චුත වෙන දෙවියෙක් අප ළඟට එන්න
කියලා. ඒ අනුව තමා මෙහි මුල් පද ටික ලියවුණේ. මේ දුව ඔවුන්ගේ ලෝකයට ආ නිසා ඔවුන්ට
තිබූ මානසික ප්‍රශ්නයක් විසඳුනා ඇතැම් දෙනා තවම දරුවන් නැද්ද කියා අසද්දී ඔවුන්
බොහෝ සේ අසරණ වුණා. “මවක ලෙසින් මේ ලබනා අබිමන් - චූටි දුවේ ඔබ ආ හින්දයි” කියා
රචනා කළේ එනිස යි.
අවමානයෙන් බේරා අබිමානයක් ගෙන දුන් දුව රැක ගැනීම මගේ වගකීමක් කියා ඔවුන් සිතනවා.
නයනා නිල්මිණී |