Print this Article


යහපතෙහි නිරතවන්නාගේ යහපත ඔහු සමීපයේ ම ය

යහපතෙහි නිරතවන්නාගේ යහපත ඔහු සමීපයේ ම ය

ලෝකයේ ප්‍රථම වතාවට නිදහස් චින්තනයක්, චින්තන විප්ලවයක් ඇති කළ උත්තමයා අමා මෑණි බුදුපියාණන් වහන්සේ ය. බුදුරදුන් පහළ වන විට දඹදිව වැසියන්ගේ සිතුම් පැතුම් තදින්ම පාලනය කළේ එකල සමාජයේ ප්‍රධාන තැනක් ගෙන සිටි බමුණන් විසිනි. රජුත්, රටවැසියනුත් ක්‍රියා කළේ බමුණන්ගේ උපදෙස් මත ය.

බමුණකු යමක් ප්‍රකාශ කළහොත් එය සත්‍යයක් ලෙසසෑම දෙනා විසින් ම පිළිගත යුතු ය. බුදුරදුන් පහළ වූයේ මෙබඳු ගතානුගතික සිතුම් පැතුම් හා සිරිත් විරිත්වලින් යුක්ත අවධියක ය. මේ නිසාම බුදුරදුන්ට ඓතිහාසික චින්තන විප්ලවයක් කරන්නට සිදුවිය. මෙය පසුකලෙක යුරෝපයේ ඇති වූ ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය වැනි ලේ වගුරුවමින් හිංසා පීඩා කරන විප්ලවයක් නොවේ.

බුදුරදුහු විසින් සිදුකර ඇත්තේ මහා කරුණාව පදනම් කරගත් විප්ලවයකි. මෙය අවිහිංසාවාදී මෛත්‍රී සහගත සිතිවිලිවලින් යුත් විප්ලවයකි.

බුදුන් වහන්සේ කිසිවකුට හානියක් හෝ පීඩාවක් ඇති නොවන අයුරින් කිසියම් දෙයක ඇත්ත තත්ත්වය සොයා බැලූ උත්තමයෙකි. එය “යථා භූත ඤාන’ ය යි.

බෞද්ධයා යනු නිදහස් චින්තනයක් ඇත්තෙකි. ඔහු කිසියම් පුද්ගලයකුට හෝ ග්‍රන්ථයකට වහල් වී කටයුතු නොකරයි. ඔහු තම නිදහස් චින්තනය කිසියම් දෙයකට බිලි දීමට සූදානම් නොවනු ඇත. නිදහස් චින්තනය ක්‍රියාත්මක කිරීම තුළින් සත්‍යය, අසත්‍ය, වැරැද්ද, නිවැරැද්ද තෝරාබේරා ගෙන නිවැරැදි මඟෙහි ගමන් කිරීමේ අයිතිය ඔහු සතුව ඇත.

බුදුදහම ඉහළම මට්ටමේ ජීවන ගමනකට මඟ කියා දෙයි. බුදුදහමට ඇත්තේ බුද්ධියත්, දැනුමත් පෙරටු කරගත් ප්‍රඥාවන්ත ගමනකි. බුදුරදහු තම ශ්‍රාවකයන් තමන් වෙත යොමු කර ගත්තේ ඔවුනට නිවැරැදි දැනුම ලබා දීමෙනි. තමා ලත් නිවැරැදි දැනුම තුළින් බුද්ධ ශ්‍රාවකයන් බවට පත්වූවා මිස වෙනත් කිසියම් බලපෑමක් තුළින් ඔවුන් බුදුරදුන් වෙත ළංවී නොමැත.

මුල් කාලයේ සිට ම මිනිසා පුරුදු පුහුණු වී සිටියේ පූජකයින්, මව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන් කියන දේ පිළිගැනීමටත් ඔවුන් අනුගමනය කිරීමටත් ය. වැඩිහිටියන්ගේ චින්තන රටාවට අනුව සිතීමටත්, ඒ අනුව කටයුතු කිරීමටත් බොහෝ දෙනෙක් හුරු පුරුදු වී සිටියහ. එක්තරා අයුරකින් බලනවිට එය මිනිසාගේ නිදහස් චින්තනයට බාධකයකි.

බුදුන් වහන්සේ තරම් සැබෑ නිදහස ලබාගැනීම සඳහා මුළු ජීවිතය ම එක්වරක් නොව දස දහස්වරක් කැප කළ, පූජා කළ අන් කිසි මිනිසෙක් නැත.

මුත්තිය, විමුත්තිය, මෝක්ෂය, විමෝක්ෂය, නිර්වාණය යන මේ හැම වචනයකම තේරුම බැමිවලින් බැඳීම්වලින්, තෘෂ්ණාවෙන් මිදීම යන්න යි. එනම් සංසාර බන්ධනයෙන්, තෘෂ්ණා බන්ධනයෙන් මිදීමයි. මවුපියන්, අඹුදරුවන්, රජකම්, මැති ඇමැතිකම්, ධනය, බලය, කීර්තිය හා මමත්වය යන මේවා කෙනකුගේ නිදහස නැතිකරන, කෙනකු බැඳ තබන රැහැන් බව බුදුරදුහු පෙන්වා දුන්හ.

විමුක්තිය සඳහා ඉදිරිපත් කරන ලද ඒ උතුම් ධර්මය ගුණ හයකින් යුක්ත ය. බුද්ධිය ඤාණය මෙහෙයවා හිතා මතා අවබෝධ කර ගැනීම තුළින් විඳිය හැකි ආකාරයට, දැකිය හැකි ආකාරයට කරුණු ඉදිරිපත් කර තිබීම මෙම ධර්මයෙහි ඇති සුවිශේෂි ලක්ෂණයකි.

‘ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ’ යනුවෙන් බුදුන් වහන්සේ වදාළ ධර්මයෙහි මූලික ලක්ෂණය ලෙස දක්වා ඇත්තේ මුල, මැද, අග යන තුන් තැන්හිම යහපත් වන අයුරින් මේ ධර්මය ඉදිරිපත් කර ඇති බවයි.

බුදුහාමුදුරුවන් දේශනා කළ ධර්මය පිළිපදිනවා නම් මෙලොවදීම එම ධර්මයෙහි වටිනාකම, ගුණය, ප්‍රයෝජනය තේරුම් ගත හැකි ය. ‘සන්දිට්ඨික’ යන්නෙන් දැක්වූයේ එම ගුණය යි.

මේ උතුම් ධර්මය පිළිපදිනවා නම් කල් නොයවා ම එහි ප්‍රතිඵල භුක්තිවිඳිය හැකි ය. අවබෝධයෙන් ක්‍රියාත්මක වන්නාට එහි ප්‍රතිඵල සඳහා බොහෝ කල් බලා සිටින්නට සිදුවන්නේ නැත. ‘අකාලික’ යන්නෙන් අදහස් කරන්නේ එම ගුණය යි. ‘එහි පස්සික’ ගුණයෙන් කියන්නේ ඇවිත් ධර්මය අනුගමනය කර බලන්න යන්න යි.

ධර්මය හිතට ගැනීමත් එය ජීවිතය තුළින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමත් ‘ඕපනයිකෝ’ යන්නෙන් අදහස් කරයි.

‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි’ යන්නෙන් ඍජු, අවංක, බුද්ධිමත් ප්‍රඥාවන්තයින් විසින් තම තමන්ම ස්වාධීනව මෙම ධර්මය අවබෝධ කළ යුතු ය යන්න අදහස් කරයි.

මේ අනුව බුදුරජාණන් වහන්සේ මිනිස් බුද්ධියට ලබා දිය හැකි උසස්ම තැන, උසස්ම ගෞරවය ලබා දුන්හ. හොඳ නරක,කුසල, අකුසල, පෙන්වා දුන් බුදුරදුහු කිසිවකුට තමාගේ ශ්‍රාවකයකු වන්න යැයි නො පැවැසූහ. බුදුරදුහු තමා වෙත එන අයගේ අදහස් උදහස් සිතුම් පැතුම් අවබෝධ කරගෙන ඔවුනට ගැලපෙන අයුරින් කරුණු පෙන්වා දුන්හ. තමාගෙන් අසන ප්‍රශ්නවලට ද පිළිතුරු දෙමින්, සාකච්ඡා කරමින්, සත්‍යය දැක්ම පෙන්වා දීම බුදුරදුන්ගේ අරමුණ විය.

දිනක් අභයරාජ කුමාරයා, බුදුරදුන් තම නිවසට වැඩමවා දානය ද පිරිනමා තම කුඩා පුතණුවන් දෑතින් වඩාගෙන සිටිමින් බුදුරදුන්ගෙන් ප්‍රශ්නයක් ඇසීය.

අභයරාජ– “ස්වාමීනි, ඔබ වහන්සේ අනුන්ගේ හිත නරක් වන විදියේ වචන ප්‍රකාශ කරනවා නේද? දෙව්දත් නිරයට යනවා. එයට පිළියමක් නැහැ’ වැනි වචන ප්‍රකාශ කළා නේද? මේ අයුරින් අනුන්ගේ හිත රිදවන, අමනාපවන වචන කතා කළා ම ඔබ වහන්සේත්, සාමාන්‍ය පෘථග්ජන මිනිසුන් අතරත් වෙනසක් නැහැ නේද?

බුදුරදුහු :– රාජ කුමාරය, මා කාටවත් අපි‍්‍රයවන, හිතරිදවන වචනයක් කතා කරනවා නොවෙයි. මා කතා කරන්නේ ඇත්ත යි. ඔබේ අතේ සිටින දරුවා ගල් කැටයක් හෝ කුණු කෑල්ලක් හෝ කටේ දමාගත්තොත් ඔබ මොකද කරන්නේ,

“ස්වාමීනි, මම දරවා වඩාගෙන ම ඒ ගල් කැටය හෝ කුණු කැබැල්ල අරන් දානවා. ලෙහෙසියෙන් එය කළ නොහැකි නම් දරුවාගේ හිස අල්ලාගෙන එක ඇඟිල්ලක් දරුවාගේ කටට දමා කොහොම හරි ඒක ඉවත් කරනවා.

බුදුරදුහු :– කුමාරය, ඔබ එසේ කරන විට දරුවාගේ උගුර තුවාල වී ලේ ගලන්නත් පුළුවන් නේද?

අභයරාජ :– ස්වාමීනි, මා එහෙම කරන්නේ දරුවාට ඇති ආදරය නිසයි.

බුදුරදුහු :– අන්න ඒවගේ තමයි කුමාරය මමත්, සමහරුන්ට තරහ යන්න පුළුවන්. මා සමඟ අමනාපවන්න පුළුවන්. නමුත් මා ඇත්ත ඇති සැටියෙන් ම ප්‍රකාශ කරනවා, ඒ ඔවුන්ව රිදවන්න නොවේ. ඔවුන්ට ඇති කරුණාව නිසාමයි මම එහෙම කරන්නේ.

මේ අයුරින් බුදුරදුහු සත්‍යයට ගරු කළහ. සත්‍යය ප්‍රකාශ කළහ.

වැරැදි මඟ යන අය සතුටු කරන්නට හෝ තමන්ට ප්‍රශංසා ලබන්නට හෝ අදාළ වචන ප්‍රකාශ කරමින් බුදුරදුහු මිනිසා වැරැදි මඟට යොමු නොකළහ.