Print this Article


අභිනව අටමස්ථානාධිපති පදවියෙන් පිදුම් ලද සංඝ පීතෘන් වහන්සේ

අභිනව අටමස්ථානාධිපති පදවියෙන් පිදුම් ලද සංඝ පීතෘන් වහන්සේ

ඓතිහාසික අනුරාධපුර අටමස්ථානාධිපති පදවිය යනු වගකීම් බහුල සුවිශාල ශාසනික ජාතික හා සංස්කෘතික සේවාවක් කිරීමට මෙන්ම, එම කර්තව්‍යයන් වෙනුවෙන් නායකත්වය සැපයීමට අවස්ථාව සැලසෙන සුවිශේෂී ශාසනික පදවියකි.

මෙම භාරදූර ශාසනික පදවිය ඉසිලීමට අභිනවයෙන් ප්‍රතිබල සම්පන්ධ ධර්ම විනයධර මහා යතින්ද්‍රයන් වහන්සේ නමක පත්වීම ගිහි පැවිදි කාගේත් නොමඳ ප්‍රශංසාවට හා ගෞරවයට පාත්‍ර වී ඇත. ඒ පසුගිය දශක දෙක හමාරක කාලය තුළ රුවන්වැලි සෑයේ නායක හාමුදුරුවෝ ලෙසින් කවුරුත් හැඳින්වූ ශාස්ත්‍රවේදී ගෞරවාර්හ පල්ලේගම හේමරතන නායක මාහිමියන් වහන්සේ ය.

1954 වර්ෂයේ ජූනි මස 15 දින මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේගම ග්‍රාමයේ විසූ කිරිබණ්ඩාර නිලමේතුමන් හා කරුණාවතී කුමාරිහාමි යුවළගේ එකම පුත් රුවන ලෙසින් ජන්මලාභය ලැබූ උන්වහන්සේ මා/ බුලාගල ප්‍රාථමික විද්‍යාලය, මා / පැල්වෙහෙර විද්‍යාලය, අ/ කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලය යන විදුහල්වලින් 8 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූහ. ගහේ කොළේ පැන දුවමින් නිදහසේ ළමා කාලය ගත කළහ. උන්වහන්සේගේ ජීවිතය නව ගමන් මඟකට යොමු වන්නේ 1968 වර්ෂයේ දී ය.

එවකට රුවන්වැලි මහා සෑ විහාරාධිකාරී ධුරය හෙබවූ පල්ලේගම ධම්මරක්ඛිත නාහිමියෝ ගමට වැඩි වරෙක ආරච්චි ආතා නමින් ප්‍රකටව සිටි විජේකෝන් බණ්ඩා ආරච්චි මහත්මාට මහණ කිරීමට සුදුසු දරුවන් කිහිප දෙනෙක් සොයා දෙන ලෙස දන්වා තිබුටි. ඔහු ඒ සඳහා දරුවන් සතර දෙනකු තෝරා ගෙන සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඇත. එම පරීක්ෂණයෙන් ළමුන් දෙදෙනකු සමත් වූහ. ඒ දෙදෙනා නම් අටමස්ථානාධිපති පදවිය පස්විසි වසක් හෙබවූ පසුගිය මස අපවත් වී වදාළ ගෞරවාර්හ පල්ලේගම සිරිනිවාස නාහිමියන් හා වත්මන් අටමස්ථානාධිපති පදවියට පත් වී වදාළ ගෞරවාර්හ පල්ලේගම හේමරතන නාහිමියෝ ය.

එදා ආරච්චි ආතා විසින් කළ තෝරා ගැනීම මොන තරම් නිවැරැදිදැයි වත්මනෙහි ප්‍රකටව පෙනේ. මෙලෙස පැවිදි වීමට තෝරා ගත් ළමුන් දෙදෙනා ආරච්චි ආතා විසින් 1968 වර්ෂයේ ජනවාරි මස 30 වැනි දින රුවන්වැලි මහා සෑ විහාරස්ථානයට ගෙනවුත් ධම්මරක්ඛිත නාහිමියන්ට භාර දුන්හ.

එහිදී එවකට අටමස්ථානාධිපති පදවිය හෙබ වූ උඳුරුහල්මිල්ලෑවේ රේවත නාහිමි, පල්ලේගම ධම්මරක්ඛිත නාහිමි හා පසුකලෙක අටමස්ථානාධිපති පදවිය හෙබ වූ පල්ලේගම ඥානරතන නාහිමි යන මාහිමියන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1968 මැයි මස 09 වැනි දින පැවිදි දිවියට පත් වූහ.

අනුරාධපුර මහාවිහාර පිරිවෙනින් මූලික අධ්‍යාපනය හැදෑරූ උන්වහන්සේ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් හා සඳලංකාව ශාස්ත්‍රෝදය මහා පිරිවෙනින් උසස් අධ්‍යාපනය හැදෑරීය. 1975 ජුනි මස 05 වැනි දින මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයට පත් වූ උන්වහන්සේ අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එහිදී පුරාවිද්‍යා පිළිබඳ විශේෂවේදී උපාධියක් ලබමින් දැන උගත් භික්ෂුවක් වශයෙන් ආගමික හා සාමාජික සේවාවන්ට ඉදිරිපත් වූහ.

විශේෂයෙන් හේමරතන නාහිමියන් පොදු මහ ජනතාව අතර වඩාත් ප්‍රචළිතව සිටින්නේ ගීත රචකයකු ලෙසිනි. කුඩා කල පටන්ම කාව්‍යකරණයට යොමු වූ උන්වහන්සේට කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනින් ඉවත් වී කෙටි කලකින්ම සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙනට ඇතුළුවීමට සිදු වූවේ ද මෙම කාව්‍යකරණය නිසා ම ය.

සිය ශිෂ්‍ය නම කවි ලිවීමටම සිත යොදවා අධ්‍යාපන කටයුතු නිසි ලෙස සිදු නොකරාවි යැයි ගුරුදේවයන් වහන්සේට සිත් විය. එහෙත් විද්‍යෝදය පිරිවෙනෙහි වැඩ විසූ මහා වියත් උතුමන්ගේ ආභාෂය ලබා ගත් හේමරතන නාහිමියෝ සඳලංකාවට වැඩියත් කවි ලිවීම අත් නොහැර දිගටම කරන්නට වූහ.

එපමණක් නොව එම කවි රජරට ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කිරීමට මඟ පාදා ගත්හ. ඒ ප්‍රේමකීර්ති ද අල්විස් හා ස්වර්ණ ශ්‍රී බණ්ඩාර දෙදෙනා රජරට ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය කළ කවි වැඩසටහනක් මඟිනි.

මෙසේ කවි ලියමින් සිටි උන්වහන්සේ ගීත රචනයට යොමු කර ඇත්තේ ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් විසිනි. උන්වහන්සේගේ පළමු ගීතය චන්ද්‍රිකා සිරිවර්ධනයන්ගේ හඬින් සුගායනය වූ මවගේ උකුලෙ නැළවුණු සමයේ ගීතයයි.

එතැනින් ගීත රචනයට ප්‍රවේශ වූ උන්වහන්සේ මේ වන විට ගීත තුන්සියයකට වඩා රචනා කර ඇති අතර, උන්වහන්සේගේ ගීත පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව මහා ගාන්ධර්වයාණන් ඇතුළු බොහෝ දෙනකුගේ හඬින් ගායනා වී ඇත. උන්වහන්සේ සිංහල ගීතයේ අද්විතීය යතිවර ලකුණ ලෙසින් හැඳින්වීමේ වරදක් නැත. උන්වහන්සේ ගීතය ඔස්සේ සෞන්දර්යාත්මක හැඟීම් සමාජගත කළාක් මෙන් ම විශේෂයෙන් ධර්මානුකූල විවරණයන් ඉදිරිපත් කිරීමට ද ගීතය උපයෝගී කර ගත්හ.

තමන් වහන්සේ ලද දැනුම අනාගත පරපුරට ද දායාද කිරීමට කටයුතු කළ උන්වහන්සේ ඒ අනුව 1982 වර්ෂයේ සිට 1997 වර්ෂය දක්වා වූ පසළොස් වසර තුළ අනුරාධපුර මහ විහාර පිරිවෙනෙහි ආචාර්යවරයකු ලෙසත්, එහි පරිවේණාධිපතින් වහන්සේ ලෙසත්, භික්ෂු අධ්‍යාපනයේ දියුණුවටත් මහා විහාර පිරිවෙනෙහි උන්නතියටත් අමිල මෙහෙවරක් ඉටු කළහ.

1977 වර්ෂයේ සිට 1988 වර්ෂය දක්වා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවාව භාරව ක්‍රියා කළ උන්වහන්සේ 1988 වර්ෂයේ දී ජේතවනාරාම විහාරාධිකාරී ධුරයට පත් වූ අතර, ජේතවනාරාමයෙහි සංවර්ධන ක්‍රියාවලියෙහි අප්‍රතිහත ධෛර්යයෙන් කැපවීමෙන් ක්‍රියා කරමින් පූජා භූමිය මෙන්ම පැමිණෙන්නට අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් වෙහෙසවී ක්‍රියා කළහ.

එසේම 1995 වර්ෂයේ දී අටමස්ථාන කාරක සභාවේ සාමාජිකත්වයට ද පත් වූ උන්වහන්සේ එකී කාරක සභාව හරහා අටමස්ථානය වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යයන් ඉටු කිරීමෙහි ලා ප්‍රෝත්සාහි වූහ.

1997 වර්ෂයේ දී අභිනවයෙන් අටමස්ථානාධිපති පදවියට පත් කරන අවස්ථාවේ තමන් වහන්සේට එම පදවිය ලබා ගැනීමට හැකියාව පවතිද්දීත් එවකට රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරී ධුරය හෙබවූ ගිහි කල මෙන් ම පැවිදි දිවියේත් කල්‍යාණ මිත්‍රයා වූ එමෙන්ම ගිහි කල ඥාති සහෝදරයකු මෙන් ම පැවිදි දිවියේත් සොහොයුරා වූ එකම දින පැවිදි උපසම්පදා වූ සිරිනිවාස නාහිමියන්ට එම පදවිය ප්‍රදානය කිරීමට ක්‍රියා කිරීම උන්වහන්සේ සතු පරිත්‍යාගශීලීත්වයට උදාහරණයකි.

ඒ අනුව පුරප්පාඩු වූ රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරී ධුරයට පත් වූ උන්වහන්සේ ගෙවී ගිය විසි පස් වසර පුරා එම ඓතිහාසික වටිනා පුදබිමේ සංවර්ධනය හා මතු පැවැත්ම වෙනුවෙන් ඉටු කළ මහා සේවාව අප්‍රමාණ ය.

සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයත්, රාජ්‍ය අනුග්‍රහය හා සැදැහැවත් බොදුනුවන්ගේ පරිත්‍යාගත් නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් උන්වහන්සේ එම වටිනා මෙහෙවර සසුන වෙනුවෙන් මහත් කැපවීමෙන් ඉටු කළහ. මෙලෙස දිගු කලක් පුරා උන්වහන්සේ විසින් ඉටු කරනු ලබන උතුම් ශාසනික හා අධ්‍යාපනික සේවාව කෙරෙහි පැහැදුණු මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක මහා සංඝ සභාව උන්වහන්සේට නුවර කලාවියේ උප ප්‍රධාන සංඝනායක පදවිය 1995 වර්ෂයේ දී පිරිනැමූ අතර, 1997 වර්ෂයේ දී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ධුරය ද ප්‍රදානය කරමින් උන්වහන්සේගේ ශාසනික සේවාවන්ට ධෛර්යය සැලසූහ.

කරුණාබර හදවතින් කා සමඟත් සුහදශීලිව, ආදර්ශ සම්පන්නව කටයුතු කරන උන්වහන්සේ අටමස්ථානයට පමණක් නොව සම්බුද්ධ ශාසනයට ම මහත් ආලෝකයකි. උන්වහන්සේගේ පුරාකෘත පුණ්‍ය මහිමයත් මෙම ජීවිත කාලය පුරා සිදුකර ගත් මහා පුණ්‍ය සම්පත්තියත්, මහා කැපවීමත් යන සියල්ලේම අග්‍ර ඵලය ලෙස උන්වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහා සෑය ඇතුළු අටමස්ථානයේ ම ආධිපත්‍යය හිමි වී ඇත.

සුදුස්සාට ම සුදුසු තැන ලැබිය යුතු යන අදහස සනාථ කරමින් මෙම උතුම් ශාසනික පදවියට පත් ගෞරවාර්හ පල්ලේගම හේමරතන නායක මාහිමිපාණන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් ලෝ සසුන් වැඩ වැඩීමට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයත් සමදිටු දෙවි රැකවරණත් සැලසේවායි ආශිංසනය කරමි.