Print this Article


සම්බුද්ධ අධිටනින් සුපිහිටි සම්බුදු සිරිපා සලකුණ

සම්බුද්ධ අධිටනින් සුපිහිටි සම්බුදු සිරිපා සලකුණ

භක්ති පූර්ව ආගම්හි යැදීම මූලික ආගමික කාර්යයකි. භක්තිය, බිය නිසා ඇති වන්නකි. බුදුදහම භක්ති පූර්වක ආගමක් නොවේ. ශ්‍රද්ධාව මූලික කර ගත්තකි. ශ්‍රද්ධාවෙහි ද මූලිකා ශ්‍රද්ධාව පදනම් ව ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා යන පූජා දෙවර්ගය සිදු වේ.

බුදුදහම තුළ ප්‍රතිපත්ති පූජාව උතුම් කොට සැලකුව ද ආමිස පූජාව බෞද්ධයින් තුළ ජනප්‍රිය වේ. මෙම ජනප්‍රියතාව නිසා බුදුන් වහන්සේ සංකේතවත් කරමින් නොයෙකුත් වස්තූන් පූජනීය වන්දනීය දේ බවට පත් වූයේ බුදුන් වහන්සේ ජීවමාන කාලයෙහි දී ම ය. බෝධි වෘක්ෂය, චෛත්‍ය සිරිපතුල වැනි දෑ බුදුන් වහන්සේ සංකේතවත් කරමින් පූජනීය වන්දනීය දේ බවට පත් වූ ඒවායි.

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩසිටි කාලයෙහි ඇතැම් දිනවල විහාරස්ථානයට පැමිණෙන පිරිස් බුදුන් වහන්සේ නොමැති අවස්ථාවල ආපසු හැරී ගිය බවත්, ඔවුන්ගේ සිත් සතුටු කරනු පිණිස බුදුන් වහන්සේ වෙනුවට යම්කිසි පූජ්‍ය වස්තුවක් තිබේ නම් මැනැවයි ආනන්ද හාමුදුරුවන් බුදුන්වහන්සේට සැලකළ විට උන්වහන්සේගේ අනුදැනීමෙන් ආනන්ද බෝධි රෝපණය සිදු කළ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.

මීට අමතරව බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත් වී පනස් වෙනි දින තපස්සු භල්ලුක යන වෙළෙඳ දෙබෑයන් විසින් බුදු රජාණන් වහන්සේට විළඳ හා මී පැණි පිළිගන්වන ලදී. මෙය බුදු රජාණන් වහන්සේට පිළිගන්වන ලද ප්‍රථම දානයයි. බුදුරජාණන් වහන්සේ දානය පිළිගෙන වැළඳීම ගැන මහත් සතුටට පත් තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් තමන්ට එය සිහිවීම පිණිස බුදුරජාණන් වහන්සේගෙන් යමක් ඉල්ලා සිටින ලදී. එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතූන් ලබා දුන් බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ බුදුන් වහන්සේ ජීවමාන කාලයෙහි දී ම බුදුන් වහන්සේ සංකේතවත් කරමින් විවිධ ශාරීරික, පාරිභෝගික වස්තූන් පූජනීය වන්දනීය බවට පත් වූවාට සාධකයන් ය.

ශ්‍රී පාද ලාංජන වන්දනාව බුද්ධ කාලයේ සිට පැවත එන්නක් බව බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරීක්ෂණයේ දී අපට පැහැදිලි වේ. මේ අනුව බුදුන් වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාවේ දී මහා කාශ්‍යප හිමියන් විසින් බුදුරදුන්ගේ පාද ස්පර්ශය කොට පාදවලට නමස්කාර කළහ. ඉන්පසු චිතකය ගිනි දැල්වුණු බව මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ. මිට අමතරව ගිහි ජනතාව විසින් උන්වහන්සේගේ පාද ලාංඡනවලට ගෞරව නමස්කාර කළ අවස්ථා බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබේ. බුදුන්වහන්සේ පා ගමනින් වඩින විට උන්වහන්සේගේ පා සටහන් පිහිටන්නේ නැත. නොමැත. එවැන්නක් සිදුවනුයේ උන්වහන්සේ අධිෂ්ඨාන කළහොත් පමණක් බව පාලි අටුවාවන්හි පැහැදිලි වේ.

වරක් බුදුන්වහන්සේ උක්කට්ඨා හා සේතව්‍ය අතර මහා මාර්ගයෙහි හුදකලාව වඩින අතරතුර එම මාර්ගයෙහි ම ගමන්ගත් ද්‍රෝණ නම් බ්‍රාහ්මණයාට බුදුරදුන්ගේ පිය සටහනෙහි චක්‍ර ලක්ෂණ හා ඊට අදාළ උපාංග සියල්ලෙන් සම්පූර්ණ පා සටහනක් දර්ශනය වන්නට සැලැස්වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

එසේම තවත් අවස්ථාවක දී බුදුන් වහන්සේ මාගන්දිය බ්‍රාහ්මණයාට පෙනෙන පරිදි හිතාමතාම තම පිය සටහන් තැබු බව සඳහන් වේ. එවැනි විශේෂ ලක්ෂණ පිළිබඳ මනා දැනුමක් ඇති ඔහුගේ බිරිඳ උපාංග සහිත චක්‍ර ලක්ෂණය දැක මෙබඳු පියසටහන් ඇති පුද්ගලයා රාගය ප්‍රහීණ කළ කෙනෙක් විය යුතු බව පවසා ආපසු ගිය බව සඳහන් වේ.

බෞද්ධ ඉතිහාසයට අනුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද සලකුණ සටහන් වන ස්ථාන හතරක් ගැන සඳහන් වේ. ඒ බව පහත පාළි ගාථා පාඨයෙන් තහවුරු වෙන බව විද්වතුන්ගේ පිළිගැනීමයි.

යන්නම්මදාය නදියා පුලිනේච තීරේ
යං සච්චබද්ධගිරිකේ සුමනාචලග්ගේ
යං තත්ථ යෝනක පුරේ
මුනිනෝච පාදං
තං පාද ලාඤ්ඡනමහං සිරසා නමාමි

ඉහත ගාථාවට අනුව එක් සිරිපා සටහනක් නර්මදා නදී තීරයෙහි ද, දෙවැන්න සච්චබද්ධ පර්වතයෙහිද, තුන්වැන්න සමන්තකූට පර්වතයෙහි ද, අනෙක යෝනක පුරයෙහි ද පිහිටා ඇති බව සඳහන් වේ. ඒ හැරුණු විට අනුරාධපුර අභයගිරි චෛත්‍ය පිහිටි ස්ථානයේ ද බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනක් පැවති බව ක්‍රි.ව. 5 වන සියවසට අයත් ෆාහියන් වාර්තාවේ සදහන් වේ.

එහෙත් එවැනි ශ්‍රී පාද ලාංඡනයක් ලංකාවේ බැතිමතුන්ගේ වන්දනාවට භාජනය වී පැවති බවට කිසිදු තොරතුරක් පසුකාලීනව දක්නට නොලැබේ.

තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ තැන පිහිටුවා වදාළ පා සටහන් පාරිභෝගික චෛත්‍යයන්ට අයත් වේ. වර්තමානයෙහි ඒවාට ශ්‍රී පාද යැයි ව්‍යවහාර කෙරෙති.

සම්‍යක් සම්බෝධියෙන් අටවැනි වසරෙහි තථාගතයන් වහන්සේ කැලණිපුර විසූ මණිඅක්ඛික නම් නා රජුගේ ආරාධනාවෙන් පන්සියයක් භික්ෂූන් වහන්සේ හා ලක්දිවට වැඩම කොට වදාළහ. කල්‍යාණි චෛත්‍යස්ථානයේ කළ රත්න මණ්ඩපයේ වැඩසිට, දන් වළඳා අවසානයෙහි සමන්තකූට පර්වතයට වැඩම කොට එහි උන්වහන්සේගේ පා සටහන පිහිටුවා දඹදිවට පෙරළා වැඩි සේක.

සුනාපරන්ත රට වෙළඳ ගමක වෙළෙඳුන් විසින් තථාගතයන් වහන්සේ උදෙසා සඳුන් හරයෙන් කළ ශාලාව පිළිගැනීම සඳහා පුණ්ණ තෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් තථාගතයන් වහන්සේ වෙළඳ ගමට වැඩ ආපසු වඩින ගමනේ දී නර්මදා නදී තීරයට වැඩම කළ කල්හි එහි වූ නාගරාජයා විසින් පූජනීය වස්තුවක් ඉල්ලීමෙන් නර්මදා ගංගා තීරයේ වැලිතලාව මත තථාගතයන් වහන්සේගේ පා සටහන පිහිටුවා වදාළ බව සඳහන් වේ. එය රළ පැමිණි කල්හි ජලයෙන් වැසෙන බවත් රළ පහ වූ කල්හි පෙනෙන බවත් සඳහන් ය. තථාගතයන් වහන්සේ ඉන් නික්ම සච්චබද්ද පර්වතයට වැඩම කර එහි වෙසෙන සච්චබද්ද තෙරුන්ගේ ඉල්ලීමෙන් ගල්තලාවේ පා සටහන් පිහිට වූ බව ද සඳහන් වේ.

මෙරට ශ්‍රී පාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම්වලින් ශ්‍රීපාදස්ථානය හඳුන්වති. බෞද්ධ ජනයා ශ්‍රීපාද යන නාමය ඈත අතීතයේ පටන්ම එනම් බු.ව. 236 පෙර සිටම හඳුන්වති. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි. බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද කඳු මුදුනේ උන් වහන්සේගේ වාම සිරි පතුල සලකුණු කොට ඇත.

දමිළ වැසියන් ශ්‍රීපාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙනකු වන ශිව දෙවියන්ගේ පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙසයි.

නමුත් අනෙකුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බව ය.

ශ්‍රීපාදස්ථානය සමනල කන්ද ලෙස ද හඳුන්වයි. එසේ හඳුන්වන්නේ සමනලයන්ගේ වාර්ෂික සංක්‍රමණයේ දී ශ්‍රී පාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා සමන්ත කූට යන නමින් ද ශ්‍රී පාදස්ථානය හඳුන්වයි. මීට අමතරව රත්නගිරි ස්වර්ගරෝහ යන නම්වලින් ද ශ්‍රී පාදස්ථානය හඳුන්වයි.

නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයන් සතු ය. එය ඔවුන්ගේ වසර 2500 අධික ඉතිහාසය පිරික්සා බැලීමේ දී මනාව පැහැදිලි වේ. එබැවින් වර්තමාන ශ්‍රී පාදස්ථාන නාහිමියන්ගේ මූලිකත්වයෙන් ගෞතම ශ්‍රී පාදස්ථානය යන නමින් ව්‍යවහාර කිරීමට කටයුතු කළ නිසා වර්තමානයෙහි ගෞතම ශ්‍රී පාදස්ථානය යනුවෙන් නාමකරණය වේ. එමගින් බෞද්ධ අනන්‍යතාව තහවුරු වීම බෞද්ධයින්ගේ ඉමහත් ප්‍රීතියට කරුණකි.

ශ්‍රී පාද කඳු මුදුනට නැඟීම ඉතා දුෂ්කර කටයුත්තකි. ඒ සදහා පඩි දහස් ගණනක් නැඟිය යුතු අතර, කඳු මුදුනට නැඟීමට පැය කිහිපයක් ගත වේ. ශ්‍රීපාද වන්දනාව ආරම්භ වන්නේ සෑම වසරක ම උඳුවප් පොහෝ දිනයේ දී ය. වෙසක් පොහෝ දිනයෙන් එය අවසන් වේ.