පන්සැත්තෑ වසක්
සසුන් කෙත පොබ කළ
සුසමාදර්ශී පඬිරුවන
ආචාර්ය පූජනීය
දිවියාගහ යසස්සි
නාහිමිපාණන් වහන්සේ
“සම්බුදු දහම අපට මඟ පෙන්වන්නේ සත්පුරුෂයකු වන්නටයි. ඒ වචනයේ ගැබ් වෙලා තිබෙන්නේ
ගැඹුරු අර්ථයක්. අපි මෙහෙම හිතමු. ගිනිගහන අව්වක ගත දැවෙන මොහොතක ගසක සෙවණක් යට මොන
තරම් සිසිලසක් දැනෙනවාද? ඒ සිසිලස මොන තරම් සුවයක්, සැනසීමක් ගෙන දෙනවා ද? පුංචිම
දරුවකුට වුණත් ඒ වෙනස වටහා ගන්නට පුළුවන්. ගසක් ලෝකයට ම සෙවණ දුන්නත්, ගසට සෙවණ
දෙන්නේ කවුද? කිසිවෙක් ම නෑ. ගිනිගහන දහවලේත් හිරු රැසින් දැවි දැවී, දුක දරාගෙන
ලෝකයට සතුට දෙනවා. ඒ විතරක් ද? නෑ. ජීවිතයට හුස්ම දෙනවා. කුස ගින්දර නිවන්නට ඵලය ද
දායාද කරනවා.
සත්පුරුෂයාත් ඒ වගෙයි. ඕනෑම දුෂ්කර තැනෙකදීත් අනුන් වෙනුවෙන් තමන්ගේ දෑත් දිගු
කරනවා. තමන් දෙපයින් නැඟී සිටිමින් අනුන්ට ද නැඟිටින්නට උපකාර වෙනවා. තමන් ගැන
විතරක් ම හිතන්නේ නෑ. අනුන් ගැනත් හිතනවා
ඒ වගේ සත්පුරුෂයෙක් නිර්මාණය කිරීමේ නිර්මාතෘවරයා වන්නේ ගුරුවරයායි. ඒ විෂය ඥානය
පමණක් දරු පරපුරට දායාද කිරීමෙන් නොවෙයි. ඒ දැනුමත් ඇසුරු කරගෙන ගුණධර්ම
ඉගැන්වීමෙනුයි. නැණ වගේ ම ගුණ ද පොහොසත් තරමට ලෝකය ධනවත් වෙනවා. ලස්සන වෙනවා. ඒ
ලස්සන ලෝකය ගොඩනැඟෙන්නේ ගුරුවරයාගේ දෑතින්. ගුරු මවුපියවරු ඒ තරමට බලවත්.”
වසර ගණනාවක ගුරු භූමිකාව තුළ සිසු දරුවන් අපමණකගේ හැදියාවන් ඔපමට්ටම් කරමින්
ජීවිතයට වටිනාකම් ගෙන දුන් අපූර්ව ගුරු පියකුගේ අදහස් පෙළකි මේ. අපේ, පූජ්‍යපාද
දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මධර, විනයධර, භික්ෂු ආකල්පයන්ගෙන්
සුපෝෂිත සංඝ ශෝභන ගුණයෙන් පිරිපුන් ආදර්ශවත් යතිවරයාණන් වහන්සේ නමක ලෙස උන්වහන්සේ
ශෝභාවත් වෙති.
හෙළදිව නන් දෙස නම් දැරූ උන්වහන්සේ ලොකු කුඩා කා අතරත් ගෞරව බහුමානයට පාත්‍ර වී
ඇත්තේ ශාසන හිතකාමී මහතෙර නමක් ලෙසිනි. මීට වසර ගණනාවකට පෙර, 1947 වසරේ දී දොළොස්
වැනි වියට පා තබමින් සම්බුදු සසුන් කෙතට ඇතුළු වූ උන්වහන්සේ ගිහි පැවිදි උගතුන්
වියතුන් අතර සේ ම සාමාන්‍ය දනන් අතර ද ආදරයට, ගෞරවයට පාත්‍ර වූයේ යහපත් ඇවතුම්,
පැවතුම් සේ ම ඉගෙනීමට දැක් වූ අපමණ දස්කම් නිසා ය.
ගැඹුරු දහම් කරුණක් වුව සරල - සුගම ලෙස හසුරුවමින් හදවතට දැනෙන ලෙස, සිතට ගෝචර වන
ලෙස දේශනා කරන්නට සමත් අප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දම් දෙසුම් නොපැවැත් වූ ධර්ම
ශාලාවක්, ඈත දුර බැහැර පෙදෙසකින් පවා සොයා ගැනීමට අපහසු තරම් ය.
ගුවන්විදුලියෙන් උන්වහන්සේගේ සුපසන් දම් දෙසුම් නො ඇසූ, රූපවාහිනියෙන් උන්වහන්සේගේ
ධර්ම දේශනා විලාශය නොදුටු හෙළ බොදුනුවෙක් වන්නේ නම් ඒ, ඉතා කලාතුරකින් ය.
උන්වහන්සේගේ දෙසුම් දහමට ම අනුකූල ය. අවැදගත් යැයි බැහැර කරන්නට එකම වදනකුදු
නොවන්නේ ය. 1994 වසරේ වෙසක් පුන් පෝදා ඉන්දියාවේ සාරානාත්හි සිට රූපවාහිනියෙන්
සජීවීව විසුරුවා හළ බුද්ධ පූර්ණිමා වැඩසටහනේ එකම දහම් දෙසුම පැවැත්වීමට තරම් අප
නාහිමිපාණන්ට ඉඩහසර වෙන් වූයේ ඒ නිසාම ය.
ආධ්‍යාත්මික ගුණ පුරුදු පුහුණු කිරීමෙහි මෙන් ම ධර්ම ඥානය ප්‍රගුණ කිරීමෙහිලා
නිරන්තරයෙන් ඇප කැප වීම උන්වහන්සේගේ දින චර්යාවෙහි ම කොටසකි. අලුයම පහේ සිට මැදියම්
රැය ළඟා වන තුරුත් උන්වහන්සේගේ කාලය වෙන් වන්නේ ධර්ම ඥානය වර්ධනය කිරීමෙහි ලා ආගමික
ග්‍රන්ථ පරිශීලනයට ය. ධර්ම දානයෙහිලා දහම් පොතපත ලිවීමට ය. පුවත්පතකට හෝ සඟරාවකට
ලිපියක් ලිවීමට ය. බුදුසරණ පුවත්පතට ද ඉතා දීර්ඝ කාලයක සිට සාරගර්භ ලිපි ඉදිරිපත්
කරන උන්වහන්සේගෙන් ඕනෑම හදිසි අවස්ථාවක වුවද ලිපියක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළේ
නම්, ඊට නොපසුබට වන්නේ කාරුණිකව ය.
ධර්ම දානයම උතුම් දානය කොටගත් අප නායක හිමිපාණන් වහන්සේ එයින් ධාර්මික සතුටක් ම
අත්විඳිති. “පරෝපවාද රහිත, නොකැළැල් වන්දනීය උතුම් පැවිදි ජීවිතයක් ගත කරමින්
සසුනඹර ආලෝකවත් කරන, පුන්සඳක් මෙන් බැබළෙමින් වැඩ වසන උන්වහන්සේගේ ගමන බිමන මෙන්ම
කතාව ද ආදර්ශ සම්පන්න ය. නිහතමානී අල්පේච්ඡ ගුණයෙන් හා මෘදු මොළොක් කරුණාවන්ත
ගුණයෙන් ශෝභාවත් වූ උදාර බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වීම ශාසනයට රටට ආඩම්බරයකි.”
මේ, උන්වහන්සේගේ අසූ වසරක පුනරාවලෝකනය ඉදිරිපත් කළ ‘සම්පස්සනා’ හි සඳහන් වූ පාඨයකි.
නැණ, ගුණ දම් අනූන මෙවන් යතිවරයාණන් වහන්සේ සැබැවින් ම සසුන් කෙත ඒකාලෝක කරන මිණි
පහන්ම ය.”
තමන් උගත් දෙය නොමසුරුව සිසු පරපුරට දායාද කරන්නේ ගුරු දෙවිවරුම ය. අප නා හිමිපාණන්
වහන්සේ තමන් වහන්සේ අධ්‍යාපනය ලැබූ මාතර ශ්‍රී සුදර්ශී පිරිවෙනට කෘතගුණ සලකනු වස්
එහි උසස් පන්තිවල සිසු දරුවන්ට වැටුපකින් තොරව අධ්‍යාපනය ලබා දෙන්නට තරම් නිර්ලෝභී
වූහ. 1964 වසරේ දී මාතර ශ්‍රී පුෂ්පාරාම පිරිවෙන ආරම්භ කොට කෙටි කලකින් එය දියුණුවට
පත් කිරීමේ ගෞරවය සේ ම 1984 දී ගල්කිස්ස බෞද්ධායතනය ආරම්භ කිරීමේ ගෞරවය හිමි වන්නේ
ද උන්වහන්සේට ය. අද එම බෞද්ධ මධ්‍යස්ථානය මහත් ආගමික සේවාවක් සිදු කෙරෙන දෙස්
විදෙස් සුපතළ ධර්මායතනයකි. එහි වෙසෙස් අංගයක් වන්නේ සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන්
පැවැත්වෙන ධර්ම විද්‍යාලයයි.
එදා මෙදා තුර එහි අධ්‍යාපනය ලැබුවෝ නැණ ගුණදමින් පොහොසත් වූවෝ ම ය.
ශාස්ත්‍රීය ලේඛනයෙහි ද හසළ දැනුමකින්, අපූර්වතම හැකියාවකින් යුතු අප නා හිමිපාණන්
වහන්සේ විසින් 1966දී රචිත ‘ලංකාව හා ආසන්න රාජ්‍යයෝ’ නම් ඉතිහාස ග්‍රන්ථය මහත්
ජනපි‍්‍රය විය. බෞද්ධ සංස්කෘති ලේඛන සංග්‍රහය විභාගාපේක්ෂකයින්ට වටිනා පරිශීලකයකි.
උන්වහන්සේ ලියූ ධර්ම ග්‍රන්ථ ප්‍රමාණය සේ ම දහම් ලිපි ද ගණනය කළ නොහැකි ය.
ආගමික, ශාස්ත්‍රීය සේවයෙහි පමණක් නොව සමාජයීය සේවයෙහි ද උන්වහන්සේ අනලස් වෙති.
අන්‍යයන් වෙනුවෙන් දෑත දිගු කරන්නට උන්වහන්සේ ඇප කැප වූයේ සාමණේර අවධියේ සිටම ය.
විදුදය මහ පිරිවෙන්හි ඉගෙනුම ලැබූ කාලයේ තමන් වහන්සේට ලැබෙන දාන වේල නේවාසික අන්
හිමිවරුන් සමඟ එක්ව බෙදා හදා වැළඳීමට පුරුදු වීම ම අපූර්ව ආදර්ශයකි.
1972 වසරේ ආනන්ද විද්‍යාලයේ බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසකත්වයට පත්වීමත් සමඟ රෝගී
ළමුන්ට ප්‍රතිකාර ලබා දීම ආර්ථික අපහසුතා ඇති ළමයින්ට පොත්පත් ලබා දීම ආදී පින්
කටයුතු සිදු කළහ. අවශ්‍ය දරුවන්ට ආහාරපානවලින් පවා සංග්‍රහ කළහ. තතු දන්නෝ අදත්
උන්වහන්සේගේ එම මෙහෙවර අගයති.
ගල්කිස්ස බෞද්ධායතනය ඇරඹීමත් සමඟ සිදුවූ සමාජයීය සේවයෙහි ද වටිනාකම මේ යැයි ප්‍රමාණ
කළ නොහැකි තරම් ය. දහම් පාසල් සංවර්ධන සංගමය, සීල සංවිධානය, ප්‍රජා සේවා පදනම, පොදු
සහන සේවා සමිතිය සහ ප්‍රබුද්ධ ශිෂ්‍ය සංගමය වැනි සංවිධාන පිහිටුවීමේ ඵලය වූයේ
පරිත්‍යාගශීලින්ගේ සහායෙන් ඈත දුර බැහැර පෙදෙස්වල බොදුනුවන්ට වන්දනාමාන කරන්නට,
ආගමික වතාවත්හි නිරත වන්නට විහාරාරාම ඉදිකිරීම ය. අනුරාධපුර වේවැල්දිගිලිය, මාතර
අපරැක්ක, හක්මන බෙරුවෙල, ගාල්ල මාගාල්ල, පොළොන්නරුව වැලිකන්ද, සේරුවාවිල නීලපොල ආදී
ප්‍රදේශ ඒ අතර වේ.
මීට අමතරව උන්වහන්සේගේ පිහිටෙන් දෙපයින් නැඟී සිටි අසරණ පවුල් බොහෝ ය.
විශ්වවිද්‍යාල සිසු දරුවන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන් ද අප නාහිමිපාණන් වහන්සේගේ
අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක ය. මේ උන්වහන්සේගේ සමාජ සේවයෙන් බිඳක් පමණි.
ගුරු පියාණන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේගෙන් අධ්‍යාපනය ලැබූ පිරිස් බොහෝ ය. ඒ අතර
ආදි ආනන්දීයයෝ ද වෙසෙස් ය. එක් අවස්ථාවක ආනන්ද විද්‍යාලය උන්වහන්සේ අගයා තිබුණේ
මෙලෙස ය.
“.... යෞවනයන් විලස විදුහල් භූමියේ සැරි සැරූ අප පිළිවෙත් සරු මඟක අත්වැල් ගෙන
අඳුරට ආලෝකය ගැන්වූ උපශාන්ත සුපේෂල ශික්ෂාකාමී මහ සඟරුවන් අතර පූජ්‍ය යසස්සි
නාහිමියන්ගේ ශ්‍රමණ සාරුප්‍ය සහ රූපකාය සදානුස්මරණීය සිහිවටනයක්. මඟ හොඳට පෙන්වූ
බැවින් බැදිවල නොගොස්, වළවල නොවැටී අකාලයේ ජීවිත විනාශ කරගත් තරුණ ලොවට ඇද නොවැටුණ
අපි අපේ ජීවන ගමන අර්ථවත් කර ගන්නා ඕජෝ සම්පන්න ප්‍රාණ නාලිය නා හිමියන්ගෙන් ලබා
ගතිමු.”
සිසු දරුවන්ගෙන් මෙවන් පැසසුමක් ලබන්නට නම් ගුරුවරයෙක් ගුරු දෙවියෙක් විය යුතුම ය.
අප නාහිමිපාණන් වහන්සේ ඒ ගුණ සපුරාලූයේ උන්වහන්සේගේ ම වදනින් කී ලෙස හිසට සෙවණ දෙන,
ගතට සුවය දෙන විසල් රුකක් වන් සත් පුරුෂයන් බිහි කිරීමේ උතුම් අරමුණ වෙනුවෙන් ඇප
කැප වූ නිසා ම ය.
****
ශාසන බ්‍රහ්මචර්යාව සුපෝෂණය කරගත් විචිත්‍ර ධර්මකථිකයන්
වහන්සේ නමකි
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ
ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමි
ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටා ව්‍යක්ත, විනීත, විශාරදභාවය ආදී කොටගත් සංඝශෝභන
ගුණයන්ගෙන් ස්වකීය ශාසන බ්‍රහ්මචර්යාව සුපෝෂණය කරගත් විචිත්‍ර ධර්මකථික
සද්ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ආචාර්ය දිවියාගහ යසස්සි අභිධාන කොළඹ නව කෝරළේ
ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහනසේ ගිහි – පැවිදි උභය පාර්ශ්වයේ ම
අතිසම්භාවනාවට පාත්‍ර වන යතීන්ද්‍රයන් වහන්සේ නමකි.
කල්‍යාණ වක්කරණයෙන් හා අර්ථානර්ථ විනිශ්චයෙහිලා ප්‍රතිබල සම්පන්න ඤාණයෙන් යුක්තව
උදාර ලෝක ශාසනික සේවයක ව්‍යාවෘත වන උන්වහන්සේගේ ප්‍රව්‍රජ්‍යා ජීවිතයේ පන්සැත්තෑ
වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ආශිර්වාද පළ කිරීමේ අවස්ථාවට ශුභාශිංසන පණිවුඩයක්
නිකුත් කරනුයේ ඉමහත් සංතෝෂයෙනි.
1948 දී උතුම් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත්ව 1955 වර්ෂයේ දී අප මල්වතු මහා විහාරීය
රාජකීය උපෝෂථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පත්තියෙහි පිහිටි ආචාර්ය දිවියාගහ
යසස්සි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන්හි දීප්තිමත් ආදි
ශිෂ්‍යවරයාණන් වහන්සේ නමකි. 1959 වර්ෂයේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව සිය
උසස් අධ්‍යාපනය නිම කොට ධර්මශාස්ත්‍රීය සේවාභිලාෂිව 1962 වර්ෂයේ සිට
පරිවේණාචාර්යවරයකු, පාඨශාලාචාර්යවරයකු මෙන් ම විද්‍යාලයාධිපතීන් වහන්සේ නමක් ලෙස
කටයුතු කළ උන්වහන්සේ රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ විද්‍යාලයාධිපතීන්
වහන්සේ ලෙස ද කටයුතු කළහ. සරල සුගම බස්වහරකින් බෞද්ධ දාර්ශනික ප්‍රස්තූතයන් පාඨකයා
වෙත සන්නිවේදනය කිරීමේ කුසලතාවෙන් පිරිපුන් ආචාර්ය දිවියාගහ යසස්සි මහා
ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රශස්ත ග්‍රන්ථ කතුවරයකු ලෙස ද ඉමහත් කීර්තියක් උසුලයි.
“ලංකාව හා ආසන්න රාජ්‍යයෝ “ නම් ග්‍රන්ථය රචනා කරමින් ග්‍රන්ථකරණයට පිවිසි
උන්වහන්සේ විසින් සිංහල හා ඉංගී‍්‍රසි භාෂාවන්ගෙන් රචනා කරන ලද ග්‍රන්ථ හා
ශාස්ත්‍රීය ලිපි ප්‍රමාණය විශාල ය. ජන ජීවිතය ධර්මාලෝකයෙන් ප්‍රභාවිත කිරීමට කටයුතු
කළ උන්වහන්සේගේ ධර්මශාස්ත්‍රීය සේවාව සැමට සුසමාදර්ශයකි.
ආචාර්ය දිවියාගහ යස්සසි නාහිමියෝ ශාසන චිරස්තිථිය උදෙසා ශාසන මාමක ප්‍රතිබල සම්පන්න
ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ කිහිපනමක් ද සසුනට දායාද කොට ඇත. අප මල්වතු මහා විහාරීය
ශාසනික සම්ප්‍රදායන් මනාව ආරක්ෂා කරමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගෞරව බහුමානයට
පාත්‍රව සුසමාදර්ශී භික්ෂු ජීවිතයක් ගත කරන ස්වකීය ප්‍රව්‍රජ්‍යාවෙන් පන්සත්තෑ වසර
සපුරන විචිත්‍ර ධර්මකථික සද්ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ආචාර්ය දිවියාගහ
යසස්සීඅභිධාන කොළඹ නව කෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උදාර
ලෝක ශාසනික චර්යාවෙහි තව තවත් ව්‍යාවෘත වන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්
ආයුරාරෝග්‍ය සම්පත්තිය උදාවේවා’යි ආශිංසනය කරම්හ.
****
ලෝ දනන් හිත වැඩ සැදූ සංඝ පීතෘවරයෙකි
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ආචාර්ය අති පූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නාහිමි
උතුම් වූ ප්‍රවෘජ්‍යා භූමියට පත්ව පන් සැත්තෑවියක් සපිරීම යනු භික්ෂූන් වහන්සේ නමක්
ලබන මහත් වූ භාග්‍යයකි. එවන් පින් මහිමයකට උරුමකම් කියනු ලබන දිවියාගහ යසස්සි නායක
හිමිපාණන් වහන්සේ සීලයෙන් ගුණයෙන් අනූන වූ වත්තානුවත්ත පටිපන්න ආදර්ශවත් භික්ෂු
ජීවිතයක් ගත කරන වියත් තෙරනමක් බව ප්‍රසිද්ධ කාරණයකි. ගිහි පැවිදි සැමගේ ගෞරවාදරයට
පාත්‍ර වූ උන්වහන්සේ තමන් හට පැවරෙන ඕනෑම වගකීමක් මනාව හඳුනාගනිමින් එය ඉටු කිරීමේ
සහජ හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ හිමිනමක් බව කාගේත් පිළිගැනීමයි.
මූලික පිරිවෙන් අධ්‍යාපනය මාතර ශ්‍රී සුදර්ශී පිරිවෙනෙන් ද, උසස් අධ්‍යාපනය
විද්‍යෝදය පිරිවෙනෙන් මෙන්ම විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් හා කොළඹ විශ්වවිද්‍යාලයෙන්
ද හැදෑරූ උන්වහන්සේ පරිවේණාචාර්යවරයකු ලෙසත්, රජයේ පාඨශාලා ආචාර්යවරයකු මෙන්ම සහකාර
විදුහල්පතිවරයකු ලෙසත් අප රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට කරන ලද විශිෂ්ට සේවය මෙන්ම රජයේ
සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ද පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා සිදුකරන ලද
සේවය මහත් පැසසුම් කටයුතු ය.
උසස් අධ්‍යාපනයෙන් මෙන්ම පොත පත පරිශීලනයෙන් තමන් වහන්සේ ලද ධර්මාවබෝධය ගිහි පැවිදි
සැමට බෙදා දීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මහා විහාර සම්ප්‍රදායට ගරු කරමින් විචිත්‍ර
ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ සිදු කරන සේවාව ද අති විශිෂ්ට ය. පුවත්පත්
සඳහා හරවත් ලිපි මෙන්ම සිංහල හා ඉංගී‍්‍රසි බසින් ග්‍රන්ථ රැසක් රචනා කර ඇති
උන්වහන්සේ තමන් ලද භාෂාන්තර දැනුම ලෝ වැසි දනන්ගේ හිත සුව පිණිසම යෙදවූ සංඝ
පීතෘවරයෙකි. ආගමික සේවාවන්ට පරිබාහිරව විවිධ සමාජයීය සේවාවන් රාශියකට දායකත්වය සපයා
ඇති උන්වහන්සේගේ සේවාවන් අතර ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන දරුවන් වෙනුවෙන්
ශිෂ්‍යත්ව පිරිනැමීම ප්‍රමුඛත්වයේලා සැලකිය හැකි ය.
මෙවන් ශාසනික හා සමාජයීය සේවාවන් රාශියකට දායකත්වය සපයනු ලබන කොළඹ නව කෝරලයේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ආචාර්ය දිවියාගහ
යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් හා ශ්‍රී දළදා
සමිඳුන්ගේ ආශීර්වාදයෙන් තවත් චිරාත් කාලයක් ශාසනික සහ සමාජයීය සේවාවන් සිදු කරගෙන
යෑමට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය සහ චිර ජීවනය ලැබේවා’යි සුභාශිංසනය කරම්හ.
****
සම්බුද්ධ ශාසනයෙහි චිරස්තිථියට ඇප කැප වූ
යතිවරයන් වහන්සේ නමකි
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නාහිමි
ගල්කිස්ස, වටරප්පල පාරේ බෞද්ධායතනය ඇතුළු විහාරගණයේ අධිපති, මහා විහාරවංශික
ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ නවකෝරලයේ ප්‍රධාන අධිකරණ
සංඝනායක, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, ත්‍රිපිටකාචාර්ය
අතිපූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මවිනයධර, ශික්ෂාකාමී,
පි‍්‍රයශීලී යතිවරයාණන් වහන්සේ නමකි.
1953 ජනවාරි 02 වැනි දින දක්ෂිණ ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ දී ජන්මලාභය ලැබූ
උන්වහන්සේ 1947 දී ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් වූ අතර, 1955 වර්ෂයේ දී මහනුවර මල්වතු
මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී උතුම් උපසම්පදා ශීලයෙහි පිහිටියහ.
උන්වහන්සේ ස්වකීය මූලික අධ්‍යයන කටයුතු මාතර සුදර්ශී පිරිවෙනින් ලද අතර උසස්
අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව එහිදී පණ්ඩිත
ශිරෝමනී බද්දේගම පියරතන, වැලිවිටියේ සෝරත, පලන්නොරුවේ විමලධම්ම, දෙහිගස්පේ
පඤ්ඤාසාර, වේරගොඩ අමරමෝලි ආදී විද්වත් නායක ස්වාමීන් වහන්සේලා වෙතින් ධර්මවිනය,
ශබ්ද ශාස්ත්‍ර හදාළහ.
අනතුරුව විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නියමිත පාඨමාලා සම්පූර්ණකර උපාධිලාභී වූ
උන්වහන්සේ මාතර සුදර්ශී පිරිවෙන, කෝංගල මහා විද්‍යාලය, පාලටුව ගුණරතන විද්‍යාලය සහ
බෝමිරිය මහ විද්‍යාලයන්හි දීර්ඝ කාලයක් සේවය කර 1970 ජුලි 28 දින කොළඹ ආනන්ද
විද්‍යාලයේ ධර්මාචාර්යයන් වහන්සේ නමක ලෙස සේවයට එක් වී එහි සහකාර විදුහල්පතිධුරය
හොබවමින් සිටියදී විශ්‍රාම ලැබූහ.
ලෝක බෞද්ධ මහා සම්මේලනය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, බුද්ධ ශාසන කාර්ය සමිතිය,
විද්‍යෝදය ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු විවිධ සංවිධානවල නිලතල දරමින් සම්මා සම්බුද්ධ
ශාසනයෙහි චිරස්තිථිය උදෙසා ඉමහත් කැපවීමෙන් යුතුව ක්‍රියා කරන අතිපූජ්‍ය දිවියාගහ
යසස්සි නායක ස්වාමීන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් ලෝසසුන් වැඩ වඩන්නට උතුම්
තුණුරුවනේ ආශීර්වාදයෙන් ශක්තිය සැලසේවා’යි ප්‍රාර්ථනා කරම්හ.
****
ධර්ම ශාස්ත්‍රීය සේවය මිල කළ නොහැකියි
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක
අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල මහා නාහිමි
කොළඹ නව කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
ආචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රවෘජ්‍යා දිවියට වර්ෂ
හැත්තෑ පහක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන උපහාර උත්සවයට සමගාමීව පළ කරනු ලබන
බුදුසරණ විශේෂ අතිරේකය වෙනුවෙන් ආශිර්වාද පණිවිඩයක් නිකුත් කරනු ලබන්නේ බලවත්
සන්තෝෂයෙනි.
1962 වර්ෂයේ දී මාතර ශ්‍රී සුදර්ශි පිරිවෙනෙන් තම අධ්‍යාපන සේවය ආරම්භ කළ පූජ්‍යපාද
දිවියාගහ යසස්සි නායක ස්වාමින් වහන්සේ රජයේ ගුරු සේවයට එක්වී හක්මණ කෝංගල
විද්‍යාලය, මාතර, පාලටුව ගුණරතන විද්‍යාලය, කඩුවෙල බෝමිරිය මහා විද්‍යාලය ආදි
දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි දුවාදරුවන්ගේ නැණස පාදන්නට කටයුතු කළහ.
අනතුරුව 1970 වර්ෂයේදී අප රටේ කීර්තිමත් විද්‍යාලයක් වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ
ධර්මාචාර්යවරයෙකු වශයෙන් බැඳුණු උන්වහන්සේ වසර විසි එකක් වූ තත් විද්‍යාලයීය ගුරු
දිවිය අවසන් කරනු ලබන්නේ සහකාර විදුහල්පතිවරයකු වශයෙන් සදා අනුස්මරණීය සේවයක්
සිදුකරමිනි.
අප නායක ස්වාමීන් වහන්සේ ලංකාව හා ආසන්න රාජ්‍යයෝ, බෞද්ධ සංස්කෘත ලේඛන සංග්‍රහය,
දිවි මගට එළිය දෙන දම් දෙසුම්, බුදුන් වදාළ දිවි මඟට උපදෙස්, ජනදිවියට දහම් මඟ ආදි
ග්‍රන්ථ රචනා කිරීම මෙන්ම පුවත්පත් හා සඟරා සඳහා කාලීන හා ශාස්තී‍්‍රය ලිපි
සැපයීමෙන් සිදුකරනු ලබන ශාස්ත්‍රීය සේවය ඉතාමත් ප්‍රශංසනීය වේ.
එසේම විවිධ සමාජ සුබසාධන සංවිධාන ආරම්භ කරමින් සමාජ ක්‍රියාකාරකම් රැසකට දායක වූ
උන්වහන්සේ පෙර අපර දෙදිග රටවල් රාශියක සංචාරය කරමින් ජාත්‍යන්තර සම්බන්ධතා
ගොඩනඟාගත් සංඝ නේතෘවරයාණන් වහන්සේ නමකි.
තම පැවිදි දිවියේ හැත්තෑපස් වන සංවත්සරය අනුස්මරණය කරන දිවියාගහ යසස්සි නායක
ස්වාමීපාදයන් වහන්සේට තෙරුවන සූවිසි මහා ගුණානුභාවයෙන් නිදුක්ව නීරෝගිව තව බොහෝ
කලක් සසුන් කෙත සරු කිරීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා’යි අප මේ අවස්ථාවේ ඉත
සිතින් ආශිර්වාද කරම්හ.
රමණි සුබසිංහ |