[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ද්වේශය සිත තුළ ඉපදී සිත ම දවාලන ගින්නකි

ද්වේශය සිත තුළ ඉපදී සිත ම දවාලන ගින්නකි

ඕනෑම මනුෂ්‍යයකු තුළ රාග, ද්වේශ, මෝහ කෙලෙස් පවතී. එබැවින් තරහ යාමට ස්ත්‍රී, පුරුෂ භේදයක් නැත. ආගම් ජාති භේද නැත. ලොකු කුඩා තරුණ මහලු වයස් භේදයක් ද නැත. ඉහත කී කෙලෙස් මුල් තුන උපතින්ම උරුම වන දේ ය. මෙම කෙලෙස් මුල් සිත තුළ නිදා සිටින සතුරන් තිදෙනකු වැනි ය. කෙලෙස් ඇවිස්සුන විට පාප කර්ම සිදුවන අවස්ථා වැඩි ය. සියලු දෙනා තුළම කෙලෙස් මුල් අඩු වැඩි වශයෙන් පවතී.

සිත පාලනය කරගත නොහැකිවීම කෙලෙස් වර්ධනයට හේතු වේ. බාහිර ලෝකයෙන් ලබා ගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අනුව කෙලෙස් ධර්ම ඉස්මතුවීමට පටන් ගනී. මෙම කාර්යයේ දී සිත ප්‍රධාන තැනක් ගනී. සිත කැමති නම් පංචකාම වස්තුවලට සතුටු වේ. පංචකාම වස්තූන්ට අකමැති වේ නම්, තරහව හෙවත් ද්වේශය හට නොගනී. සිත පාලනය නොවීම නිසා ද්වේශය දුර දිග යනු ඇත.

ද්වේශයට පත්වීමේ දී චරිතය ද බලපාන කරුණකි. සියලුම මිනිසුන් චරිත හයකට අයත් වේ. එනම් රාග, ද්වේෂ, මෝහ, ශ්‍රද්ධා, බුද්ධි විතර්ක වශයෙනි.

රාග චරිතය තෘෂ්ණාවෙන් යුක්ත ය. මෙම චරිතය තුළ රාගය වැඩියෙන් ද, ද්වේශය සහ මෝහය අඩුවෙන් ද පවතී. රාග චරිතයා ද්වේශ චරිතය මෙන් ඉක්මණින් කිපෙන්නේ නැත. එබැවින් තරහ යාමේ දී පළිගැනීම ප්‍රමාද වේ.

ද්වේශ චරිතය තුළ තරහව වැඩිපුර පවතී. ඉතා සුළු කරුණක දී පවා කිපෙන ගතියෙන් යුක්ත ය. ද්වේශ සහගත සුළු කරුණක් වුව ද සිතේ රඳවාගෙන ක්‍රෝධයෙන් පසුවන ගතියක් ද ද්වේශ චරිතය තුළ ඇත. පිටතට පෙන්වන ගතිගුණ අභ්‍යන්තරයේ නො පවතී. තරහ යාමේ දී ඉක්මණින් ම කෝපයට පත්වීම ද්වේශ චරිතයාගේ දුර්ගුණයකි. එසේම පළිගැනීම ද වහාම සිදු කිරීම සිරිතකි. තරහ යාමේ දී ඉවසීමේ ගුණය අඩුම පුද්ගලයා ද්වේශ චරිතය ය.

මෝහ චරිතය ඒ නමින් ම හඳුන්වා තිබෙන්නේ නුවණ අඩුකම නිසා ය. යමක් සිතා මතා තීරණය ගැනීමේ ශක්තිය නැත. නුවණ සහ දැනුම අතින් දුර්වල චරිතයකි. යම් කිසිවකු පවසන දෙයක් ඒ ආකාරයෙන් ම පිළිගැනීම මෝහ චරිතයේ් ලක්ෂණයකි. මිථ්‍යා අදහස් වැඩිපුර දක්නට ලැබේ. ධර්මය වටහා ගැනීම ද අපහසු ය. දුරදිග නොබලා ඉක්මන්වීම නිසා පාඩු සිදුකර ගනී. ද්වේශයට පත්වීමේ දී සොයා නොබලා කෝපයට පත්ව විනාශකාරී දේ ද සිදු කළ හැකි ය.

ශ්‍රද්ධා, බුද්ධි, විතර්ක චරිතයන් තුළ ද රාග, ද්වේශ, මෝහ පවතී. එහෙත් සෙසු චරිතයන්ගේ මෙන් නොව යම් ප්‍රමාණයකට කෙලෙස් පාලනය කර ගත හැකි තත්ත්වයක් පවතී.

තනතුරු, තාන්න මාන්න, ලාභ සත්කාර, අහිමිවීම තුළ ද්වේශය හටගනී. බුද්ධ කාලීන සමාජය තුළ බ්‍රාහ්මණ ආගම ප්‍රධාන තැනක පැවතුණි. බමුණන්ට විශේෂ වරප්‍රසාද ලැබුණි. එසේම බ්‍රාහ්මණ වංශය ප්‍රධාන කුලය බවට පිළිගැනුණි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සමානාත්මතාව සහ නිවන විශේෂ තැනක් ගනී. සමාජයේ වැඩි පිරිසක් බුදුදහම නිවැරැදි ධර්ම බවට පිළිගනී. මේ නිසා බමුණන්ගේ මිථ්‍යා විශ්වාස සහ ඉගැන්වීම්වලට තැනක් නො වීය.

විශේෂ වරප්‍රසාද සහ රාජ්‍ය අනුග්‍රහය ආදිය නො ලැබී යාමත්, බ්‍රාහ්මණ වංශය දෙවැනි තැනට පත්වීමත් නිසා බුදුරජාණන් වහන්සේට සහ භික්ෂූන් වහන්සේට විවිධ නින්දා අපහාස කළහ. කෝපයට පත් බමුණෝ චිංචිමානවිකාව, සුන්දරී පරිබ්‍රාජිකාව මේ සඳහා යොදා ගනී. බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවක පිරිසගේ මනා ඉවසීමේ ගුණය නිසා නින්දා අපහාස සියල්ලම පරාජය විය.

ගුණ ධර්ම අතින් පිරිහීම නිසා ද මිනිසා ද්වේශයට පත් වේ. මිනිසුන්ට තරහ යන්නේ සිත දියුණු නොකිරීම නිසා ය. භෞතික දියුණුව යනු ගෙවල්, දොරවල්, යාන වාහන, මිල මුදල් පරිවාර සම්පත් භුක්ති විඳිමින් සුඛෝපභෝගී ව ජීවත් වීමකි. දෙලොව යහපත සඳහා ධර්මානුකූලව මනස දියුණු කිරීම ආධ්‍යාත්මික දියුණුවට හේතු වේ. භෞතික දියුණුව තුළ ගුණධර්ම දියුණුව අල්ප විය හැකි ය. කරුණාව, මෛත්‍රිය, පරෝපකාරය, පරිත්‍යාගය, කළගුණ සැලකීම, වැඩිහිටි අයට ගරු කිරීම, මවුපිය උපස්ථානය, අවිහිංසාව, යහපත් වචන කතා කිරීම, පන්සිල් රැකීම ආදී ගුණ ධර්මවල යෙදෙන අය තුළ ද්වේශය අඩුවෙන් පවතී. ද්වේශය හට ගැනීමේ දී එය පාලනය කර ගැනීමේ ශක්තිය පවතී.

ගුණධර්ම පිරිහුණ අය තුළ ද්වේශය වැඩියෙන් පවතී. ද්වේශය අධික අය ඉතා සුළු දෙයකින් පවා කෝපයට පත්වෙති. එවැනි අය තුළ ලජ්ජාව සහ භය යන දෙකම නැත. අන්‍යයන් තරහ ගැන්වීමත්, කෝප ගැන්වීමත්, අපරාධවලට ඇද දැමීමත් සිදු කරති. සිත අසංවර නම් ද්වේශය ද වැඩි වේ. මිනිසුන් ද්වේශයට පත්වන කරුණු කියා හෝ ලියා නිම කළ නොහැකි ය. රහත් නොවූ සියලු දෙනා තුළම ද්වේශ නම් වූ කෙලෙස් මූල පවතී. ද්වේශය සිත තුළ පවතින නිසා අකැමැති ඕනෑම කරුණක දී ද්වේශය ඉස්මතු වේ. එවැනි උදාහරණ කීපයක් සඳහන් කිරීම වැදගත් වේ.

අවිශ්වාසය නිසා ද්වේෂය හටගනී. සැකය නිසා විශ්වාසය පළුදු වේ. බොරු කීම, කේලම්, කපටිකම, හොරකම, පොරොන්දු කඩකිරීම, සැක සහිත හැසිරීම ආදිය නිසා විශ්වාසය නැති වේ. සත්‍ය කරුණ සැඟවීමට බොරු කීපයක් ම පැවසීමට සිදුවේ. අවිශ්වාසය විවාහ ජීවිතයට විශාල බලපෑමක් කරයි. අඹුසැමි දෙදෙනා අතර සැකය නිසා තරහවත්, කෝපයත් ඇතිවේ. එවිට දෙදෙනා අතර ගැටුම් හටගනී.

ඊර්ෂ්‍යාව, ද්වේශය ඇති කරවන තවත් සතුරෙකි. ඊර්ෂ්‍යාව යනු යම් අයෙකුගේ සැප සම්පත් සහ දියුණුව ඉවසා සිටීමට නොහැකි තත්ත්වයකි. ඉඩ කඩම්, ගෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල්, උසස් රැකියා තිබෙන පුද්ගලයාට එසේ නැති අය ඊර්ෂ්‍යා කරමින් ද්වේශයෙන් පසුවෙති. එවැනි අය කෙනකුගේ දියුණුව වළකාලීමට විවිධ උපක්‍රම යොදති. සිත තුළ ද්වේශය දරා ගත නොහැකිව පළිගැනීම්වල යෙදෙන අය වැඩි ය. ඊර්ෂ්‍යාව නිසා හටගන්නා ද්වේශය ද භයානක ය.

මත්වතුර බීම නිසා ද ද්වේශය හට ගනී. සතුරාගෙන් පළිගැනීම සඳහා අපරාධයක් කිරීමට පෙර මත් වතුර පානය කරන අය සිටිති. මේ නිසා පරුෂ වචනයෙන් බැණ වැදීම, අවි ආයුධ පාවිච්චිය දක්නට ලැබේ. මත්වතුර බීම නිසා සිත අවුල් සහගත වීම අනිවාර්යයෙන් සිදුවේ. එවැනි අයට තමන් කළ දේවල් ද කරමින් සිටින දේ හෝ කිරීමට බලාපොරොත්තු වන දේ පිළිබඳ මතක නැත.

මත්වතුර බොන ඇතැම් පියවරු නිසා පවුල් අවුල් සහගත වේ. බේබදු පියා නිතරම දරුවන්ට, බිරිඳට බැණ වදින විට ඇතැම් දරුවෝ ද්වේශයටත්, කෝපයටත් පත්වෙති. මේ නිසා පියාට පහර දෙති.

කාම තණ්හාව ද ද්වේශයට හේතු වේ. තණ්හාව විවිධ ස්වරූපයෙන් යුක්ත ය. ඉඩකඩම් දේපළවලට පවතින තෘෂ්ණාව වස්තු තණ්හාව ය. වස්තු තණ්හාව නිසා අනුන්ගේ දේපළ අයිති කර ගැනීමට යාමේ දී ද්වේශය හටගැනීමෙන් විවිධ අපරාධ සිදුකරන බව දැනගත හැකි ය.

පරුෂ වචන කීම ද්වේශය දල්වාලන තවත් කරුණකි. කනට අමිහිරි, ද්වේශයට හේතුවන වචන පරුෂ වචන ගනයට අයත් වේ. කෙනකුට දොස් කීමට පරුෂ වචන භාවිතයට ගනී. පරුෂ වචන තෙපළන පුද්ගලයා පළමුව ද්වේශයට පත්ව සිටී. පරුෂ වචන අසන තැනැත්තා පරුෂ වචනයෙන් බැණ වදී නම් ඔහු ද ද්වේශයට පත්ව ඇත. දෙදෙනාගේ ද්වේශය අවසන් නොවේ නම්, කලකෝලාහල දක්වා වර්ධනය වේ.

කෙනකුට අපහාස කිරීමේ දී පරුෂ වචන මෙන් ම සතුන්ගේ නම් සහ අසභ්‍ය චරිතවල නම් ගම් ද යොදා ගනී. එවැනි වචන ඇසීමෙන් ද්වේශය හටගනී. ණය නොගෙවීම නිසා ද ද්වේශය හටගනී. ණය ආපසු නොගෙවීම හේතුවෙන් ණය දුන් අය සහ ණය ලබාගත් අය අතර ආරවුල් හටගනී.

ණය ලබා ගැනීම ප්‍රමාද වීම නිසා හෝ නො ලැබීයාම නිසා වැඩියෙන් ම ද්වේශයට පත්වන පුද්ගලයා ණය හිමියා ය.

විහිළු තහළු කිරීම නිසා ද ද්වේශය හටගනී. තැන නොතැන නොබලා හෝ තරාතිරම නොබලා විහිළු කිරීමෙන් ද්වේශය ඇති වේ. විහිළුවට අකමැතිවීම තුළ එය දුරදිග යාමට පුළුවන. විහිළුවෙන් ඇස් රතුවනවා ය යන කියමන ඒ නිසා ගොඩනැඟී ඇත.

සතුට සඳහා යැයි සිතා කරන විහිළුව දුකෙන් කෙළවර කර ගත යුතු නැත. මිනිසුන් තරහ ගන්නා කරුණු අනන්ත ය. අප්‍රමාණ ය. සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන කරුණු කීපයක් පමණක් සඳහන් කර ඇත.

උඳුවප් පුර අටවක පෝය

 නොවැම්බර් 30 බදාදා පූ.භා. 09.02 පුර අටවක ලබා දෙසැම්බර් 01 බ්‍රහස් පූ.භා. 07.24 ගෙවේ.
නොවැම්බර් 30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]