[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යහපත් ආකල්ප අනුන් නිසා අත්නොහරින්න

යහපත් ආකල්ප අනුන් නිසා අත්නොහරින්න

තමන් ආරක්ෂා කර ගන්නා, ඇත්ත වශයෙන් තමා ම ය. කවර නම් ගැලවුම්කරුවකු එහි සිටිය හැකි ද? බාහිර ගැලවුම්කරුවකු සොයා ගැනීමේ ගැටලුව සඳහා ඇත්තේ තමා හොඳින් පාලනය වී සිටීමයි.

බුදුරදුන් පිරිනිවන් පෑමට ආසන්නවත්ම උන්වහන්සේ වෙත තමන් වහන්සේගේ ශ්‍රාවකයෝ සියලුම දෙසින් පැමිණ ළං වූහ.

සෙසු ශ්‍රාවකයෝ නිරතුරුව උන්වහන්සේ වෙත රැඳී සිටිමින් තම ශාස්තෘවරයා ගේ අපේක්ෂිත වියෝවීම ගැන සිතමින් මහත් දොම්නසින් සිටියහ.

අත්තදත්ත නම් වූ එක්තරා භික්ෂු නමක් තම කුටියට වැදී භාවනානුයෝගී වූහ. සෙසු භික්ෂූන් වහන්සේ එම භික්ෂු නම බුදුරජාණන් වහන්සේගේ තත්වය නොතකන්නෙකැයි සිතමින් විමතියට පත් වූ හ.

ඒ පුවත බුදුරදුනට දන්වා සිටියහ. ඒ භික්ෂූන් වහන්සේ ද ඒ අනුව බුදුරදුන් අමතා මෙසේ පැවසූහ.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තව සුළු කාලයකින් පිරිනිවන් පානා සේක.

උන්වහන්සේට ගෞරව කිරීමේ හොඳම මාර්ගය නම් බුදුරදුන් ජීවමානව සිටියදී රහත් බවට පත් වෙමි'යි මම භාවනා කෙළෙමි. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේගේ ආකල්පය හා හැසිරීම ගැන පැහැදුණු අතර අනුන් නිසා තමාගේ ආධ්‍යාත්මික ශුභ සාධනය අත් නො හැරිය යුතු බැව් වදාළ සේක.

මේ කථා පුවතින් බුදු සමයේ එක්තරා වැදගත් අංශයක් නිරූපණය වෙයි. එනම් සෑම පුද්ගලයකු ම නිරන්තරයෙන් ම තමාගේ සංසාර විමුක්තිය සඳහා සූදානමින් සිටිය යුතු අතර ඔහුගේ ගැලවීම ලබා ගත යුත්තේ ඒ පුද්ගලයා විසින් ම බවයි. නිවන සාක්ෂාත් කර ගැනීමට බාහිර බලවේගයක හෝ නියෝජිතයකු ගේ සහාය පතා සිටිය නො හැකි බව ය. බුදු සමය තේරුම් නො ගත් ජනයා මේ සංකල්පය විවේචනය කරති. බුදු සමය ආත්මලාභී ආගමක් බවත්, එය නිතර ම කතා කරන්නේ දුකෙන් හා වේදනාවෙන් පුද්ගලයකු නිදහස් කර ගැනීමට අදහස් කිරීම පිළිබඳව බවත් බුදු සමය යථාර්ථවාදි ලෙස අවබෝධ කර නො ගත් අය කියනු ලබන්නකි. එහෙත් එය සම්පූර්ණ සත්‍යයක් නො වේ.

බුදුරදුන් දේශනා කර ඇත්තේ සෑම අයකු ම සෑම දෙනා ගේ ම ආධ්‍යාත්මික හා ලෞකික ශුභ සිද්ධිය සඳහා නො නවත්වා ක්‍රියා කළ යුතු බව ය. ඒ සමඟ ම සාක්ෂාත් කර ගැනීමේ නිෂ්ටාව කරා යෑමට හැම කෙනෙකු ම වීර්යවත් විය යුතු ය. මමත්වයෙන් තොර සේවාව බුදුරජාණන් වහන්සේ අගය කළ සේක.

හොඳ මනසකින් යුත් වාසනාවත් පුද්ගලයන්ට තම ප්‍රයත්නය මගින් ම නිවන ලැබීම කළ හැකි වුවත් එසේ මානසික හෝ ශාරීරික හෝ ලෞකික වශයෙන් පසුබට බැවින් යුත් අය කෙසේ නිවන් සාදා ගනිත් ද?

ඔවුහු කෙසේ ස්වයං විශ්වාසයක් ඇතිකර ගනිත් ද? ඔවුන්ට බාහිර බලවේගයක දෙවියකු ගේ ආධාරය අවශ්‍ය නොවන්නේ ද? යනු ප්‍රශ්නයකි.

එයට දිය හැකි පිළිතුර නම් බෞද්ධයන් අවසාන විමුක්තිය එක් ජීවිත කාලයක් තුළදී සිදු විය යුතු යැයි නො සිතන බව ය. සම්බෝධිය අපේක්ෂා කරන පුද්ගලයා විසින් තම ශක්ති ප්‍රමාණයෙන් ස්වයං විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය කර ගත යුතු ය. ඒ නිසා පසුබටවන පුද්ගලයා ද මානසිකව ආධ්‍යාත්මිකව හා භෞතිකව ක්‍රම ක්‍රමයෙන් තම ප්‍රයත්නය ක්‍රියාත්මක කළ යුතු ය. ඉතා සුළු වශයෙන් වුවත් විමුක්තිය මාර්ගයේ ගමන් කිරීමට පටන් ගත යුතු ය. රෝද කැරකීමට සැලැස් වූ කල්හි ඒ තැනැත්තා හෙමින් හෙමින් තෙමේ ම තම ස්වයං විශ්වාසය දියුණු කර ගනු ඇත. කුඩා බීජය යම් දිනෙක වැඩී මහත් දැවැන්ත ගසක් බවට පත්වෙන්නාක් මෙනි. එය සතියක දී දෙහෙක දි සිදු නොවේ.

ඉවසීම මේ භාරදූර ක්‍රියාවලියේ වැදගත් අංගයකි. නිදසුනක් ගනිමු. මවුපියෝ තම දරුවන් තමන්ගේ බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවනට සරිලන සේ හදා වඩා ගැනීමට තමන්ගේ මුළු ශක්තිය යොදා කළ යුතු සියල්ල කරති. එහෙත් එම දරුවන් වැඩෙත් ම ඔවුනට රිසි පරිදි මුත් මව්පියන් අපේක්ෂිත පරිදි සංවර්ධනය නොවන බැව් පෙනේ. බුදු සමයට අනුව අපි විශ්වාස කරන්නේ ද යම් කිසිවකු ගේ ජීවිතය කෙරෙහි අන් අයට බලපෑම් කළ හැකි වුව ද ඒ පුද්ගලයා ගේ අභිමතය අවසානයේ දී ඔහු විසින් ඔහුගේ ම කර්මය උපදවන බවත් ඔහුගේ ක්‍රියාවන් සඳහා ඔහු ම වගකිව යුතු බවත් ය.

අවසාන විමුක්තිය ලබා ගැනීමට මෙහෙයවීම හෝ පාලනය කිරීම කිසිදු දේවතාවකුට හෝ මිනිසකුට බැරි බව අවසන් විග්‍රහයේ දී අපට දක්නට ලැබිණි. ස්වයං විශ්වාසය යන්නෙහි තේරුම එය වේ. යමකුට ආත්මලාභි වීමට බුදු සමය උගන්වති’යි මෙයින් අදහස් නො කෙරෙයි.

බුදු සමයට අනුව යම් කිසි කෙනෙක් තම ප්‍රයත්නයෙන් නිවන සාක්ෂාත් කෙරේ ද? හෙතෙම අධිෂ්ඨාන කරගෙන ඇත්තේ ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරය, මුසාවාදය මත් පැනින් හා ඉන්ද්‍රිය අසංවරතාවෙන් වැළකීමට ය.

මෙසේ තමා විසින්ම පාලනය කරනු ලබද්දී ඔහු නිරායාසයෙන් අනුන්ගේ සුව පහසුවට කිසියම් පරිත්‍යාගයක් කෙරෙයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන විට දී සඳහන් කළ ස්වයං ආරක්ෂණ හැකියාවෙන් අදහස් කළේ මනස උසස් තත්වයෙන් සංවර්ධනය කරගත හැකි ජීව ආකෘතීන් ගැනයි. ඊට පෙර අවධිවල දී පරිනාමන කර්මයන් හා මානසික බලවේගයන් අක්‍රිය තත්වයෙන් තිබු නමුත් අනන්ත සංඛ්‍යාත ඉපදීම හේතු කොට සත්වයා නිදහස්ව සිතීමට හා තර්ක කිරීමට සමත් ජන්ම හැසිරීම් ඉක්මවා ගිය තත්වයකට නඟියි.

එම අවධියේ දී ය සත්වයාට පුනරුත්පත්තියේ අප්‍රමාණ වූ අර්ථ විරහිත වු ඉපදීම් හා ඒහා බැඳුන වේදනා හා දුක පිළිබඳ දැනුමක් ලැබෙනුයේ. ඒ අවස්ථාවේ දී සත්වයා පුනරුත්පත්තිය අවසන් කර සත්‍යාවබෝධය හා නිර්වාණ සුවය සොයා යාමට අවශ්‍ය අධිෂ්ඨානය ලබා ගෙන එකී උසස් බුද්ධිමත් භාවයෙන් පුද්ගලයා ඇත්ත වශයෙන් ම ස්වයං දියුණුව හා ස්වයං සංවර්ධනය සඳහා උද්‍යෝගිමත් වෙයි. එවිට මිනිසා බුද්ධියෙන් හා තර්ක කිරීමේ හැකියාව ඇතිව උපත ලබයි.

සමහරු වාසනාවන්තව උපදිති. එම විහිදීමේ අනිත් කෙළවර අවම බුද්ධියෙන් උපත ලබන අය ද වෙති. එහෙත් සෑම ජීවියකුට ම ජීවත්වීමේ අංශයෙන් බැලුවොත් කිසියම් දෙයක් තෝරා ගන්නා ආකාරය පිළිබඳ හැකියාවක් ඇත. ජීවිතය නිදහස් කර ගැනීමේ හෙවත් ජීවත්ව සිටීමේ සාධකය තිරිසන් ලෝකය තෙක් දීර්ඝ කළ හොත් උසස් ගණයේ හා පහත් ගණයේ සතුන් වෙන් කර ගැනීමට අපට පිළිවන් වේ.

එනම් පණ බේරා ගැනුම් වස් ඔවුන් සතු යම් යම් තේරීම් හැකියාවනට අනුව ය. ඒ නිසා පහත් ගණයේ ජීවියකුට වුව ද කුසල කර්මයන් නිර්මාණය කිරීමේ විභව්‍යතාව ඇත. කුසල කර්මයන් ක්‍රමානුකූලව වර්ධනය කිරීම නිසා සත්වයකුට ඉහළ තත්වයකට පැමිණිය හැකි ය.

මේ කාරණය ම වෙනත් කෝණයකින් බැලුවහොත් මුල් ම යුගයේ කථාවක් වූ බෝධිසත්වයන් පළමුවරට බුද්ධත්වය ලැබීමට පෙරුම් පිරීමට ගත් තීරණය සලකා බැලිය හැකි ය.

සිද්ධාර්ථ කුමරුන් ලෙස ඉපදීමට පෙර බුදුරදුන් ඉතා බොහෝ වාර ගණනක් සාමාන්‍ය මිනිසකු ලෙස පුනරුත්පත්තිය ලබා ඇත. එක් දිනක් බෝධි සත්වයෝ සිය මෑණියන් සමඟ මුහුදු යාත්‍රාවකින් යද්දී චණ්ඩ කුණාටුවකට හසුවී යාත්‍රාව පෙරළී මුහුදු බත් වූහ. තම පෞද්ගලික ගැලවීම නොතකා බෝධිසත්වයෝ සිය මව කර මත තබා ගෙන ගොඩබිම කරා පිහිනමින් රළ සමඟ පොර බැදූහ. ඉමක් කොණක් නො පෙනෙන සාගරයේ ගොඩ බිමට පහසුවෙන් ළඟා විය හැකි මඟක් නො දුටු හෙතෙම විසඳාගත නොහෙන ගැටලුවකට මැදිවිය. ඔහු ගේ නිර්භීත භාවය දුටු එක් දේවතාවෙක් කායික වශයෙන් ආධාරයට පැමිණිය නොහැකි බැවින් බෝසතුනට පහසුවෙන් යා හැකි මාර්ගය වටහා ගැනීමට සැලැස් විය. ඒ අනුව බෝධිසත්වයෝ මව සමඟ බේරී ගත්හ.

එහිදී ද බෝධිසත්වයෝ මතු බුදුවීමෙන් මිස නො නවතිමි’යි තිර ලෙස අදිටන් කර ගත්හ. මේ කතා පුවතින් නිරූපණය වන්නේ බෞද්ධයිනට තම එදිනෙදා ජීවිතයේ දී දේවතාවන්ගේ සහාය පැතීමට හැකි වීම යි. දේවතාවෝ ද සෙසු සත්වයනට උදව් කිරීමේ ශක්තිය ඇති ජීව විශේෂයකි. නමුත් ඒ බලය සීමා වී ඇත්තේ ලෞකික හා භෞතික දේවලට ය. අපේ එදිනෙදා ජීවිතයේ දී අවාසනාවන්ත සිදුවීමක දී, සැනසීමක් අවශ්‍ය වූ විට දී, රෝගයක් බියක් වැනි අවස්ථාවක දි දේවතාවන්ගේ සහාය පැතිය හැකි ය.

දෙවි දේවතාවන්ගේ සහාය පැතීමෙන් අදහස් වන්නේ අප තව දුරටත් භෞතික ලෝකය හා බැඳ තබා ඇති බව ය. අප පිළිගත යුතු සත්‍යයක් නම් අප ඉපදී ඇත්තේ භෞතික ආශාවන් හා අවශ්‍යතාවලට අසුවන සේ ය.

එබැවින් ඒ අවශ්‍යතා සීමිත පරිමාණයක් තුළ තෘප්තිමත් කර ගැනීම වරදක් නොවේ.

බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව පෙන්වා දී ඇත. උන්වහන්සේ එයින් පෙන්නුම් කර ඇත්තේ අප සුඛෝපභෝගී නොවිය යුතු අතර ජීවිතයේ මූලික අවශ්‍යතා මුළුමනින් ම අත් නොහැරිය යුතු බවකි.

කෙසේ වෙතත් අප එතැනින් නො නැවතිය යුතු ය. අප ගේ උත්පත්තිය අප පිළිගන්නා අතර අප ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ යෑමට හැම ප්‍රයත්නයක් ම එක්තරා සංවර්ධන මට්ටමකට පැමිණ එහිදි භෞතික ලෝකය හා බැඳීමෙන් ජනිත කරන්නේ වේදනාව හා දුක බව වටහා ගැනීම ය.

අපමණ ඉපදීම් පිළිබඳ අවබෝධය සංවර්ධනය කරන විට ඉන්ද්‍රියයන් පිනවීම ගැන ඇති තෘෂ්ණාව අධික වෙයි. ඒ අවස්ථාවේ දී අපි සැබැවින් ම ස්වයං විශ්වාසය ඇතිකර ගනිමු. ඒ අවධියේ දී තව දුරටත් අපට සහායට වීමට දෙවියනට හැකි නොවේ. අප භෞතික අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොයන බැවිනි. බෞද්ධයෝ වහා වෙනස් වන ලෝක ස්වභාව යථා පරිදි අවබෝධය ලැබ ඇති නිසා භෞතික දේ්වලින් වෙන්වීම ප්‍රගුණ කරති. අනවශ්‍ය ලෙස ලෞකික දේවලට ඇලුම් නොකරති. එබැවින් තමන් සතු දේ අනුනට බෙදා දී ත්‍යාගශීලිත්වය පුහුණු කරති. මේ ආකාරයෙන් බෞද්ධයෝ අනුන් ගේ ශුභ සිද්ධිය අරභයා පරිත්‍යාග කෙරෙති.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් සම්බෝධියට පැමිණීමෙන් පසු තමන් වහන්සේගේ ආත්මලාභය තකා ඒ අවබෝධ කර ගත් සද්ධර්මය තමන් වහන්සේ වෙත ම තබා නො ගෙන හතළිස් පස් අවුරුද්දකට නො අඩු කාලයක් මිනිසුනට පමණක් නොව දෙවි දේවතාවුනට ද බෙදා දුන් සේක. මෙය බුදු දහමේ උත්තරීතර නිදර්ශනයක් ලෙස දැක්විය හැකි පරාර්ථකාමිත්වය හා සජීවි ලෝක ශුභ සාධනයකි. විපතට පත් බැතිමතුනට බුදු රදුන් උපකාර කළ අවස්ථාවන් ද නිතර කියැවෙයි. එහෙත් ඒ උදව් මළවුනට පණ දීම වැනි හාස්කම් නොවේ. උන්වහන්සේ කළ උදවු ඥානාන්විත කාරුණික ක්‍රියා ය. එක්තරා අවස්ථාවක දී කිසාගෝතමී නමැති කාන්තාවක් තම මිය ගිය පුතුට යළි පණ ලබා දීමේ වස් බුදුරදුන් කරා එළඹියා ය. ඇය කොතරම් දුර්මුඛව සොවින් ඇළලි සිටියා ද යනු සැණින් දැන වදාළ බුදුරජාණන් වහන්සේ ඇයට කරුණු අවබෝධ කිරීම පසෙක තිබිය දී ඇය අමතා කිසිදු පි‍්‍රයයකු නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන ආ යුතු යැයි කී සේක.

සොවින් වියකුණු කාන්තාව ද ගෙයක් ගෙයක් පාසා දුවමින් අබ ඉල්ලා සිටියා ය. අබ දීමට මැලි නො වූව ද කිසිවකු නො මළ ගෙයක් නොවූයෙන් අබ නො ලැබිණි. හෙමින් හෙමින් කිසා ගෝතමියට වැටහී ගියේ මරණය ස්වභාවික සිදුවීමක් බවත්, ඉපදුණූ සෑම සත්වයකුට ම මරණය හිමිවන බවත් ය. එම වැටහීමත් සමඟ ඈ බුදුන් වෙත පැමිණ බුදුරදුනට ප්‍රශංසා කරන ලද්දේ තමා හට මරණය පිළිබඳ සත්‍යය පෙන්වීම ගැන ය.

මෙහි ප්‍රධාන කාරණය නම් බුදුරදුන් වැඩි සැලකීමක් දැක්වූයේ ජීවිත ස්වභාවය පිළිබඳ ඇය ගේ අවබෝධය කෙරෙහි මිස ළදරුවාට පණදීමෙන් ඇයට තාවකාලික සැනසීමක් ලබා දීමට නොවේ.

ළදරුවා වැඩි වියපත්ව යළි මැරෙනු ඇත. කිසාගෝතමී මරණය නමැති කාරණය අවබෝධ කළා පමණක් නොව, බන්ධනයේ විපාක වශයෙන් දුක ඇතිවීම ගැන ද ඉගෙන ගත්තා ය. බන්ධනය හේතු කොට දුක ද, බැඳීම විනාශ කළ කල්හි දුක ද විනාශ වී යන බැව් වටහා ගැනීමට ඕ සමත් වූවා ය. බුදු සමයේ දී පුද්ගලයකුට බාහිර නියෝජනයක එනම් දෙවි දේවතාවකු ගේ ආධාරය සොයා යා හැකි ය. එය ලෞකික සුවයක් පතා විය හැකි ය. එහෙත් අවසාන සංවර්ධන අවධියේ දී ලෞකික කාරණා සඳහා බැඳීම ඒ අවස්ථාවේ විමුක්තියට හා සම්බෝධියට යොමු වන බැවින් හුදෙකලාව ම එයට මුහුණ දිය යුතු ය.

කිසියම් මිනිසෙක් විමුක්තිය සොයයි ද? අප්‍රමාණ ජාති, මරණ චක්‍රයෙන් වෙන් වි යයි ද සත්‍යාවබෝධය හා බුද්ධත්වය ලබා ද, එය සාදාගත හැක්කේ ද ඉමහත් ප්‍රයත්නයකිනි. එකාග්‍රතාවයට පත් අධිෂ්ඨානයෙනි. බුදුසමය මිනිසාට මහත් අභිමානයක් ගෙන දෙයි.

මිනිසාට තමා නිදහස් කර ගැනීමටත්, බලයක් ඇතැයි පවසන එකම ආගම බුද්ධාගමයි. තමාගේ සංවර්ධනය පිළිබඳ අවසන් අවධිවලදීි වන්දනා මාන බලි බිලිවලින් තුටු කළ හැකි බාහිර බලවේග නියෝජන ආදියේ කිසිදු දයාවක් අපේක්ෂා නො කරන්නේ ය.

උඳුවප් පුර අටවක පෝය

 නොවැම්බර් 30 බදාදා පූ.භා. 09.02 පුර අටවක ලබා දෙසැම්බර් 01 බ්‍රහස් පූ.භා. 07.24 ගෙවේ.
නොවැම්බර් 30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]