[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ

දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත

පූජ්‍ය පන්නල සුමේධ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය පන්නල, සුමේධ නායක හිමිපාණන් වහන්සේ ලංකා ශාසනාම්භරය ආලෝකවත් කළ ධර්ම විනයධර ශ්‍රද්ධා සම්පන්න ආදර්ශවත් සංඝ නේතෘන් වහන්සේ නමක් වශයෙන් හැඳින්විය හැකි ය.

යො හොති විසාරදොච – බහුස්සුතො ධම්මධරො ච හොති
ධම්මස්ස හොති අනුධම්මචාරි – සතාදිසො වුච්චති සංඝ සොභනො

යමෙක් ව්‍යක්ත ද, විශාරද ද, බහුශ්‍රැත ද, ධර්මයට අනුකූලව හැසිරෙන්නේ වේ ද හෙතෙම සංඝ ශාසනය බබුළුවන්නෙක් වේ.මෙම බුදු වදන වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම භික්ෂූත්වය ශෝභමාන කරණ ගුණාංග රාශියකින් උන්වහන්සේගේ චරිතය සමන්විත වෙයි.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල නමින් හඳුන්වන ස්වභාවික සෞන්දර්යයෙන් අනූන රමණීය ගම් පියසක උන්වහන්සේගේ ජන්මෝත්පත්තිය සිදුවිය. 1947 වර්ෂයේ දෙසැම්බර් මස 04 වැනි දින ජන්මලාභය ලැබූ නාහිමිපාණන් වහන්සේ නුංගමුව මහසෙන් මහා විද්‍යාලයෙන් මූලික අක්ෂර ශික්ෂාව ලබා ගත් කාල පරිච්ඡේදයේ සිටම තුනුරුවන් කෙරෙහි බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නට වූහ.

කුඩා කල සිටම තුනුරුවන් කෙරෙහි අපරිමිත ගෞරවයෙන් කටයුතු කළ පන්නල සුමේධ ස්වාමීන්ද්‍රයන් වහන්සේ මව්පියන්ගෙන් ලැබුණු ශාසනික උරුමයත්, සංසාරේ පුරන ලද පාරමිතා බලයත් මත දඹදෙණිය වේවැල්වල සෝනුත්තරාරාම විහාරාධිපති පූජ්‍ය ගලතරේ ශ්‍රී සරණපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු වශයෙන් උතුම් ප්‍රව්‍රජ්‍යාභාවය ලබා ගත්හ. 1960 වර්ෂයේ ජනවාරි මස 20 වැනි දින පන්නල සුමේධ යන උත්තරීතර ශාසනික නාමයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ සසුන්ගතව පැවිදි දිවියට ඇවැසි වත් පිළිවෙත් මූලික බණ දහම් ගුරු දේවෝත්තමපාදයාණන් වහන්සේ සෙවණේ හොඳින් ප්‍රගුණ කරමින් පිරිවෙන් අධ්‍යාපනය සඳහා පොල්ගහවෙල විද්‍යාර්ථෝදය පිරිවෙනට ඇතුළත් විය. අනතුරුව එවකට දීප්තිමත් පරිවේණාස්ථානයක් වූ කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලබා, රාජකීය පණ්ඩිත උපාධිය ද දිනා ගත්හ. එම පරිවේණාස්ථානයන්හි වැඩ සිටි සුපේශල ශික්ෂාකාමී ශාස්ත්‍රඥයන් වහන්සේ සෙවණේ ශාස්ත්‍රෝන්නතිකාමිත්වයෙන් යුතුව ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ කාල පරිච්ඡේදයේ දී ම නිසි වයස් සම්පූර්ණ වීමත් සමඟ අධිශීල සංඛ්‍යාත උතුම් වූ සුපරිසුද්ධෝපසම්පදාවට පත්වීමට තරම් උන්වහන්සේගේ පූර්වෝපචිත පුණ්‍ය ශක්තිය බලවත් විය. එවකට අස්ගිරිමහා විහාරයේ වැඩ සිටි ශ්‍රීමත් මහානායක මා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා පූජ්‍ය ගලතරේ ශ්‍රී සරණපාල නායක හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උතුම් වූ උපසම්පදා පුණ්‍යෙීත්සවය අස්ගිරි මහා විහාරයේ දී සිදුවිය.

රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පුහුණුව ලැබූ උන්වහන්සේ 1982 වර්ෂයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, 1986 වර්ෂයේ දී කැලණිය විශ්ව විද්‍යලයෙන් ශාස්ත්‍රපති උපාධියද, 1988 වර්ෂයේ දී කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ද දිනා ගත්හ.

අනතුරුව පන්නල සුමේධ නාහිමිපාණන් වහන්සේ කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයෙන් ඉංගී‍්‍රසි ඩිප්ලෝමාව ද සමත්වූහ.

සුපේශල ශික්ෂාකාමී ශාස්ත්‍රඥයන් වහන්සේ නමක් වශයෙන් තමන් වහන්සේ ලබා ගත් ධර්ම ශාස්ත්‍රිය අධ්‍යාපනය ඤාණනය කිරීමේ අභිලාෂය පෙරදැරිව 1975 වර්ෂයේ සිට පොල්ගහවෙල විද්‍යාර්ථෝදය පිරිවෙනින් ගුරු සේවය ආරම්භ කළ උන්වහන්සේ 1979 වර්ෂයේ සිට නුගේගොඩ ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනේ ආචාර්යවරයකු වශයෙන් කටයුතු කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අභිවෘද්ධිය පිණිස ශික්ෂාකාමී සඟ පරපුරක් සම්බුද්ධ ශාසනයට දායාද කරමින් නියෝජ්‍ය පරිවේණාධිපතීන් වහන්සේ නමක වශයෙන් 2004 වර්ෂයේ දී විශ්‍රාම ගත්හ. ධර්මයට ආශක්ත වූ නිසඟ දේශනා කෞශල්‍යයෙන් ධර්ම විවරණයන් මනාව හසුරවමින් අටුවා ටීකා, සන්නස, ගැටපද විවරණ සහිතව පෙළ දහමෙන් සුපෝෂිත වූ රසාලිප්ත ධර්ම දේශනා විලාසයෙන් ගුවන්විදුලි, රූපවාහිනී ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවන්හි නිරත වූ උන්වහන්සේ ධර්ම ග්‍රන්ථ රාශියක් ශාස්ත්‍රීය ලෝකය වෙත දායාද කරන්නට උත්සුක විය.

අනුරාධපුර යුගයේ සාහිත්‍ය නිර්මාණ, බුද්ධ සංකල්පය පිළිබඳ නිබන්ධන, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ විධික්‍රමය, විජයබා අස්න-කුවේණි අස්න ඉංගී‍්‍රසි පරිවර්තනය, මී වැව විත්තිපොත සරල බසට මුද්‍රණය කිරීම, සූත්‍ර පිටකයෙන් දානය 1,2 ග්‍රන්ථ, දඹදෙණි යුගය – ඉතිහාසය, භක්තිගීත හා පද්‍ය කාව්‍ය සංග්‍රහය, දඹදෙණිය – සාහිත්‍ය ග්‍රන්ථය සංස්කරණය – 1992 – දඹදෙණි දළදා පෙරහර – සඟරා සංස්කරණය හා ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් ධම්මපදට්ඨ කථාව, සිංහල පරිවර්තනය, ආදී ග්‍රන්ථ ඒ අතර විය.

ක්‍රි.පූ. හයවැනි සියවසේ සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව සිය ධර්ම දේශනා කිරීම ආරම්භ කළහ. බුදුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කර අවබෝධ කරගත් පිරිස උන්වහන්සේගේ ශ්‍රාවක ගණයා බවට පත්වූහ. දින කිහිපයක් ඇතුළත බුදුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු පිරිස සැටනමක් වූ අතර, උන්වහන්සේලාට බුදුන් වහන්සේ දෙනු ලැබූ පළමු ඔවදන වූයේ

චරිත භික්ඛවේ චාරිතකං බහුජන හිතාය බහුජන සුඛාය ලොකානුකම්පාය

මහණෙනි, බොහෝ දෙනාට හිත සුව පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිත සුව පිණිස චාරිකාවේ හැසිරෙන්න යන බුද්ධ දේශනාවට අනුව චිරාගත සම්ප්‍රදාය අනුගමනය කරමින් සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයකු වශයෙන් ශී‍්‍ර සද්ධර්මය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ භාරදූර කාර්යභාරයක නිරත වූ උන්වහන්සේ යුරෝපය, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, රෝමය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, බුරුමය, ඉන්දුනීසියාව, චීනය ආදි රටවල වැඩම කරමින් උතුම් වූ පිවිතුරු බුදු දහමේ ශාන්තිය ලෝක ජනතාව වෙත දායාද කිරීමට ද ක්‍රියා කළහ.

ස්වකීය ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේ වශයෙන් කටයුතු කළ පූජ්‍ය ගලතරේ ශ්‍රී සරණපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් දඹදෙණියේ වේවැල්වල ශ්‍රී සෝනුත්තරාරාම විහාර ඝණයේ විහාරාධිපතීන් වහන්සේ වශයෙන් කටයුතු කරමින් ජාතික, ආගමික, ශාසනික වශයෙන් සුවිශාල කර්ය භාරයක් සිදුකරනු ලබයි.

ප්‍රථිබල සම්පන්න, ව්‍යක්ත, විශාරද යතීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් දේශීය මෙන්ම විදේශීය බෞද්ධ ජනතාව අතර ද ගෞරවාදරයට පාත්‍ර වූ පන්නල සුමේධ නාහිමිපාණන් වහන්සේගේ 75 වැනි ජන්ම දිනය දෙසැම්බර් මස 04 වැනි දිනට යෙදී තිබීම නිමිත්තෙන් පින්කම් රාශියක් සිදුකිරීමට ශිෂ්‍ය පිරිස සහ දායක සභාව විසින් කටයුතු සංවිධානය කර ඇත.

පූජනීය පන්නල සුමේධ නාහිමිපාණන් වහන්සේට ලෝ සසුන් වැඩ පිණිස නිදුක් නිරෝගි සුවය සමඟ චිරජීවනය බැතිබර පූර්වකව ප්‍රාර්ථනා කරමි.

උඳුවප් පුර අටවක පෝය

 නොවැම්බර් 30 බදාදා පූ.භා. 09.02 පුර අටවක ලබා දෙසැම්බර් 01 බ්‍රහස් පූ.භා. 07.24 ගෙවේ.
නොවැම්බර් 30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]