[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාර්ථකත්වයේ රහස නිරවුල් සිතයි

සාර්ථකත්වයේ රහස නිරවුල් සිතයි


අජාන් බ්‍රහ්මවංසෝ හිමි

මා මහණ වූ අලුත වාසය කළේ තායිලන්තයේ වන සෙනසුන්වල යි. මේ වන සෙනසුන් පිහිටා තිබුණේ තායිලන්තයේ ඝන වනාන්තරවලයි.

මේ ඝන වනාන්තරවල දරුණු කැලෑ සතුන් වාසය කළා. ඒ හැර විෂ සහිත ගෝනුස්සන්, පත්තෑයන්, දිවි මකුළුවන් වගේ සතුන් ද සිටියා. මේ සර්පයන්, ගෝනුස්සන්, පත්තෑයන් වැනි සතුන් අප වසන කුටි අවට නිතර දකින්න ලැබුණා. මොවුන් බොහෝවිට අනතුරුදායක සතුන්. සමහර සතුන් දෂ්ට කළොත් මරණය අත්වන්න ඉඩ තිබුණ අතර සෑම සතකුම දෂ්ට කිරීමෙන් දරුණු වේදනාවක් අත්විඳින්න සිදුවෙනවා.

තමන්ගේ කුටිවල වසන හාමුදුරුවන්ට දාන ශාලාවට අනතුරක් නැතිව වඩින්න, කැලෑවේ එහා මෙහා යන්න ගම්වැසියන් කැලෑව එළිකර අඩිපාරවල් වගේ කුඩා මංමාවත් තනා දී තිබුණා. මේ මංපෙත් අතුගා පිරිසුදු කර තැබීම හාමුදුරුවන් වූ අපේ වගකීම වී තිබුණා. මේවා පිරිසුදුවට තබා ගත්තම පාර හරහා යන සර්පයන්, පත්තෑයන් වැනි විසකුරු සත්තු දැක ගෙන ප්‍රවේශමෙන් එහා මෙහා යන්නට අපට හැකිවුණා. තායිලන්තයේ මේ කියන ප්‍රදේශවල පොළව සුදුවැලිවලින් ගහණයි. මේ නිසා කැලෑව කපා පාරවල් සෑදුවාම මේවායේ සුදුවැලි තලාව මතු වී තිබෙනවා. පාර අතුගෑවාම සුදු පීත්ත පටියක් වගේ පාර පිරිසුදුවට පෙනුණා.

අජාන් චා හාමුදුරුවන්ගේ උපමාව මෙහෙමයි

ඔබට ගසක කොළයක් ගැන මෙනෙහි කරන්න ඕන වුණාම, ඒ කියන්නේ කොළයේ වර්ග, රටාව පැහැපත් බව ආදී කරුණු ගැන හොඳින් සිත අවධානය යොමුකොට මෙනෙහි කරන්න අවශ්‍ය වුණාම, කැලෑවේ සුදු වැලි පාරේ වැටුණු කොළයක් මෙනෙහි කිරීම පහසුයි. වන ලැහැබක කටු අකුළක පටලැවී තිබෙන ගසක අත්තක තිබෙන කොළයක් ඒ විදිහට මෙනෙහි කරන්න අමාරුයි. එවැනි කොළයක් බොහෝ කොළ, අතු, ඉති, අතර තිබෙන නිසා සුදු වැල්ලෙ අතුල කොළයක් වගේ මෙනෙහි කිරීම අපහසුයි. එවැනි කොළයක යථා ස්වභාවය හඳුනාගැනීම අපහසුයි. මක්නිසාද යත් ඒ කොළය, කොළ ගහනයක තිබෙන තවත් කොළයක් නිසයි.

එහෙත් සුදුවැලි අතුල පාරක, කොළයක් පතිත වුණාම විශේෂයෙන් හොඳින් අතු ගා පිරිසුදු කළ, සුදු වැලි අතුල පාරක කොළයක් පතිත වුණාම, සුදු වැලි පසුබිමේ තිබෙන කොළයේ නාරටි, රේඛා, පැහැය, නැම්ම හඳුනා ගැනීම පහසුයි. එසේ වන්නේ එවැනි පසුබිමක තිබෙන කොළයක් මෙනෙහි කිරීම පහසු නිසයි. කොළයේ හැඩහුරුකම, වර්ණය ගැන හොඳ වැටහීමක් මෙනෙහි කිරීමෙන් ලබා ගන්න පුළුවන් නිසා එය වටහා ගැනීම පහසුයි.

අපේ ජීවිතයේ සිදුවන සිදුවීම් ද මේ වගේම යි. ජීවිතයේ සිදුවීම් බහුලයි. බොහෝ සංකීර්ණයි. ඒ සංකීර්ණ බව නිසාම අවුල් සහගතවීම, පැටලැවිලි සහගතවීම නිසා අපට කිසිවක් තේරුම් ගන්න බැරි වෙනවා. එවිට ජීවිතය බොහෝ අතු පතරින් සෑදුණු, පටළැවිලිවලින් ගහන කටු අකුලක් වගෙයි. වන ලැහැබක් වගෙයි. මේ නිසා කිසිවක් තේරුම් බේරුම් කර ගන්න බැරි වෙනවා.

මේ නිසා අජාන් චා හාමුදුරුවන්ගේ උපමා කතාවේ වගේ අපට කිසිවක් ගැන මෙනෙහි කරන්න පෙර අපේ සිත, අපේ මනස සරල කර ගැනීම අවශ්‍ය වෙනවා. සැබැවින් ම සිදුවන්නේ කුමක්දැයි මෙනෙහි කර බැලීමට හැකිවන්නේ එවැනි අවුලෙන් තොර, සරල සිතක් ඇතිවිටයි. භාවනාවේ දී අප කරන්නේ සිතේ මේ අවුල නැති කර සිත සංසුන් කර ගැනීමයි. සිත සරල කර ගැනීමයි. සිතේ වේගය අඩුකර ගැනීමයි. මේ සඳහා බොහෝ දේ කෙරෙහි අවධානය යොමු නොකොට කිසියම් කාරණයක්, හෝ දෙකක් පිළිබඳ අවධානය යොමු කිරීම සුදුසුයි.

අපට හුඟාක් දේ ගැන සිතන්න තිබෙනවා යැයි සමහරු මැසිවිලි කියනවා. ඔවුන් බොහෝ සංකීර්ණ නිසා, අවුල් සහගත නිසා කිසිවක් ගැන නිරවුල්ව සිතන්න බැහැ. මෙනෙහි කරන්න බැහැ. මෙසේ වන්නේ එකම වේලාවක බොහෝ දේ කරන්න යෑමෙනුයි. අප බුදුදහම භාවිත කරන විට අපට අපේ සිත සංසුන් කර ගන්න හැටි, සිතට විවේකයක් දෙන හැටි ඉගෙන ගන්න ලැබෙනවා.

සිත නිරවුල් වූ විට වැඩ කටයුතු සාර්ථක වෙනවා

සිත එකවර නොයෙකුත් දේ සඳහා යෙදවීම අවශ්‍ය වන්නේ නැහැ. එක්වරකට එක දෙයක් ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් සිත සන්සුන් කර ගන්න පුළුවන්.

මෑතකදී මට ඇඩිලේඩ් නුවරදී හමු වූ ලොකු ව්‍යාපාරිකයෙක් තමන්ට භාවනා කරන්න විවේකයක් නැති බව කීවා. ඒ තරම් කාර්යබහුල බවත් කිව්වා.

“ඔබ වැනි කාර්යබහුල පුද්ගලයකුට භාවනාව ඉතා අත්‍යවශ්‍ය බව“ මා කිව්වා. එසේ වූ විට ඔබ තුළ නිරවුල්වීමක් ඇති වෙනවා. එසේ වූ විට ඔබට ඔබේ ව්‍යාපාර කටයුතු පිළිබඳව ද අවධානයෙන් සිටීම, මෙනෙහි කිරීමට හැකිවන බවත් මා ඔහුට කීවා.

මනස පුහුණු කළ විට මනස තියුණු වෙනවා. එවිට අනෙක් පුද්ගලයන් ගැඹුරින් දකින්න පුළුවන්. වඩාත් ඵලදායී ලෙස මෙනෙහි කරන්න පුළුවන්. ඒ තුළ සිතේ සංවේදී බව, විචක්ෂණශීලී බව ඇතිවෙනවා. එය ජීවිතය සාර්ථක කර ගැනීමේලා වඩාත් වැදගත් වනවා.

උඳුවප් පුර අටවක පෝය

 නොවැම්බර් 30 බදාදා පූ.භා. 09.02 පුර අටවක ලබා දෙසැම්බර් 01 බ්‍රහස් පූ.භා. 07.24 ගෙවේ.
නොවැම්බර් 30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]