[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෙළ කුල කත සම්බුදු සසුන් කෙත ඒකාලෝක කළ වගයි...

හෙළ කුල කත සම්බුදු සසුන් කෙත ඒකාලෝක කළ වගයි...

ක්‍රි.පූර්ව 247 වසරේ උඳුවප් හෙවත් මග්ගසිර මාසයේ දී සංඝමිත්තා රහත් තෙරණියන් වහන්සේ ලක්දිවට වැඩම වූහ.

ඒ රහත් තෙරණිය ලක්දිවට වැඩමවා ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මහානාග යුවරජුගේ බිසොව වූ අනුලා දේවිය ඇතුළු පන්සියයක් ස්ත්‍රීන් පැවිදිභාවය ඉල්ලා සිටීම ය.

මිහිඳු මහ රහතන් වහන්සේගෙන් බාලපණ්ඩිත නම් සුත්‍රාන්ත ධර්ම දේශනාව ශ්‍රවණය කොට සෝවාන් ඵලයට පත් වූ අනුලා දේවිය ඇතුළු ස්ත්‍රීන් පන්සියයක් දෙනා දේවානම්පියතිස්ස රජු විසින් කරන ලද ආරාම පූජාවේ දී මිහිඳු මහ රහතන් වහන්සේට වන්දනා කිරීම පිණිස පැමිණියෝ සකෘදාගාමී ඵලයට පත්වූහ.

තමන් ඇතුළු කාන්තා පිරිස පැවිදිවීමට කැමති බව අනුලා දේවිය දේවානම්පියතිස්ස රජුට පැවසුවා ය. ඒ විස්තරය මහාවංසය සඳහන් කරන්නේ මෙලෙස ය.

“ථෙරානං වන්දනත්ථාය දේවී තු අනුලා ගතා
සද්ධිං පඤ්චසතිත්ථිහි දුතියං ඵලමජ්ඣගා
සා සපඤ්චසතා දේවි අනුලාහ මහීපතිං
පබ්බජිස්සාම දෙවා’ති රාජා ථෙරං අවොච සො”

රජතුමා කාන්තාවන්ගේ පැවිදිවීමේ අවශ්‍යතාව පිළිබඳ මිහිඳු මහරහතන් වහන්සේට පැවසූ විට උන්වහන්සේ කියා සිටියේ,

“න කප්පති මහාරාජ පබ්බාජේතුං තථියො හි නො” යනුවෙන් තමන්ට ස්ත්‍රීන් පැවිදි කරවීමට කැප නැති බවයි.

සංඝමිත්තාගමනයේ කතාන්දරය දිග හැරෙන්නේ මෙතැන් සිට ය. ඒ හා සම්බන්ධ පාලි ගාථා ද, සිංහල අර්ථය ද මහාවංසයෙන් උපුටා පහත දක්වන්නේ පාඨකයාට මේ වැදගත් කර්තව්‍යය මූලාශ්‍රය මඟින් ම මනාව තේරුම් කර ගැනීමේ පහසුව සඳහා ය.

“අත්ථි පාටලිපුත්තස්මිං භික්ඛුණී මෙ කනිට්ඨිකා
සංඝමිත්තාති නාමෙන විස්සුතා සා බහුස්සුතා


නරින්ද සමණින්දස්ස මහාබෝධි දුමින්දතො
දක්ඛිණං සාඛමාදාය තථා භික්ඛුණියො වරා


ආගච්ඡතුති පෙසෙහි රඤ්ඤො නො පිතු සන්තිකං
පබ්බාජෙස්සති සා ථෙරී ආගතා ඉත්ථියො ඉමා”

මේ ගාථාවන්හී සිංහල අර්ථය මෙසේ ය.

“මාගේ නැඟණි වූ සංඝමිත්තා නමින් ප්‍රසිද්ධ වූ බහුශ්‍රැත වූ මෙහෙණින්නක් තොමෝ පැළලුප් නුවර ඇත්තී ය. නරේන්ද්‍රය ඕ තොමෝ ශ්‍රමණෙන්ද්‍ර වූ සර්වඥයන් වහන්සේගේ මහා බෝධි වෘක්ෂ රාජයාගෙන් දක්ෂිණ ශාඛාව ද එසේම උත්තම වූ භික්ෂුණීන් ද ගෙන වඩනා සේක්වා’යි අප පිය මහරජු කරා හසුන් යවව. ඒ ස්ථවිරී තොමෝ මෙහි අවුත් මේ ස්ත්‍රීන් පැවිදි කරන්නීය” යි රජහට වදාළ සේක.”

මිහිඳු මහ රහතන් වහන්සේ සහ රජතුමා අතර මේ සංවාදය සිදුවූයේ පොසොන් මාසයේ දී ය. පොසොන් මාසයේ සිට උඳුවප් මාසය දක්වා කාල සීමාවේ දී ඇතිවන්නේ ඉහත දැක් වූ ඒ වැදගත් කාර්යද්වය සඳහා සූදානම් වීමයි. ස්ත්‍රී පැවිද්ද ලක්දිව ආරම්භ කිරීමට මඟ පෑදුණේ අනුලා දේවිය විසින් භික්ෂුණීත්වය සඳහා රජතුමාට කරන ලද ඉල්ලීම අනුව බව ද මෙහිදී මනාව පැහැදිලි වේ. සඟමිත් රහත් තෙරණිය තවත් භික්ෂුණීන් සමඟ කාන්තාවන් පැවිදි කිරීම සඳහා පැමිණීමේ දී බෝ රදුන්ගේ දක්ඛිණ ශාඛාව ද වඩමවා ගෙන එන ලෙස ධර්මාශෝක රජතුමාට දන්වා යවන මෙන් මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට දන්වා සිටි ආකාරය එය පැවසූ ආකාරය මෙහි දෙවන පරිච්ඡේදයේ සාකච්ඡා කර ඇත.

ලක්දිවට බුදු දහම ගෙන ඒමෙන් පසුව සංඝමිත්තා රහත් තෙරණියන් යටතේ පැවිදි භාවය ලබා ගෙන බුදු සසුනේ මාර්ගඵලාවබෝධය ප්‍රථමයෙන් ම ලබා ගන්නා ලද්දේ කාන්තාවන් විසිනි.

භාරතයේ සිට ඉතා දුෂ්කර ගමනක යෙදෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ දූත මෙහෙවර කරන ලද්දේ ද කාන්තාවක විසිනි. ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ ගෞරවයට ද පූජනීයත්වයට ද පත් වූ ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩමවන ලද්දේ ද කාන්තාවක විසිනි. මේ සියල්ලට ම මුල් වූයේ උඳුවප් මාසයේ සිදු වූ සංඝමිත්තා රහත් තෙරණියන් වහන්සේගේ ලංකා ගමනය යි. එබැවින් ම උඳුවප් මාසය බෞද්ධ ජනතාවට ඉමහත් සේ වැදගත් වේ. උඳුවප් පුන් පොහොය ශ්‍රේෂ්ඨ ආගමික දිනයකි.

සංඝමිත්තා රහත් තෙරණියන් සහ ශ්‍රී මහා බෝධි ශාඛාව ලක්දිවට වැඩම කරවා ගෙන ඒම සඳහා දේවානම්පියතිස්ස රජතුමා දඹදිව පැළලුප් නුවරට දූත පිරිසක් යවන ලද්දේ වප් මාසයෙහි ශුක්ල පක්ෂයෙහි දෙවන දවසේ බව මහ මහාවංසය සඳහන් කර ඇත.

දඹදිව ගිය එම දූත පිරිසෙහි නායකයා වූයේ අරිට්ඨ කුමාරයා ය. පැළලුප් නුවරට පැමිණි අරිට්ඨ කුමරු ප්‍රමුඛ පිරිස රජතුමාගේ එම පණිවිඩය ධර්මාශෝක අධිරාජයාට දන්වා සිටියහ. ඒ පණිවිඩය සමන්තපාසාදිකා විනය අටුවාවෙහි බාහිර නිදානයේ විස්තරාත්මක ව මෙලෙස දැක්වේ.

“පුත්තො තෙ දෙව මහින්දථෙරො ඒවමාහ” සහායස්ස කිර තෙ දේවානම්පිය තිස්සස්ස රඤ්ඤෝ භාතුජාය අනුලා නාම දේවී පබ්බජිතුකාමා, තං පබ්බාජෙතුං අය්‍යං සංඝමිත්තථෙරිං පහිණාථ, අය්‍යායෙව ච සද්ධිං මහාබෝධිංති”

මෙහි සිංහල අර්ථය සමන්තපාසාදිකා විනයට්ඨකතා සිංහල පරිවර්තනයෙහි මෙලෙස දක්වා ඇත.

“දේවයන් වහන්ස, ඔබගේ පුත්‍ර වූ මහා මහින්ද මහා ස්ථවිරයන් වහන්සේ ඔබ වහන්සේගේ යහළු වූ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරුගේ බිරිඳ වූ අනුලා නම් දේවී තොමෝ පැවිදිවනු කැමැත්තී ය. ඇය පැවිදි කරන්නට ආර්ය සංඝමිත්‍රා ස්ථවීරියන් එවනු මැනවි. ඒ ආර්යාව සමඟ ම මහා බෝධියත් එවහු’යි දන්වන්නට මට නියම කළ සේක් යැයි කීයේ ය.”

ධර්මාශෝක අධිරාජයා තම දියණිය වූ සංඝමිත්තා රහත් තෙරණිය ලක්දිවට යැවීමට කැමති නොවුව ද බුදු දහම ලක්දිව පතුරුවාලීමේ පරම උතුම් අදහසින් ම දේවානම්පියතිස්ස රජුගේ ඉල්ලීමට එකඟ විය. ඒ බව සඳහන් කරන සමන්තපාසාදිකාව, සංඝමිත්තා රහත් තෙරණියන්ගේ අදහස මෙලෙසින් දක්වා ඇත.

“මහරජ, මාගේ සොහොයුරුගේ වචනය මට බර ය. අනුලා ක්ෂත්‍රිය තොමෝ ද දහසක් ස්ත්‍රීන්ගෙන් පිරිවරන ලද්දී පැවිද්ද පිණිස උපන් ආශාව පෙරටුකොට ඇත්තී මා එනු බලාපොරොත්තු වේ. මහරජ, එහෙයින් මම එහි යමි’යි සංඝමිත්තා තොමෝ කියා සිටියා ය. ‘එසේ නම් දුව! මහා බෝධියත් ගෙන යව‘ යි අධිරාජ්‍යයා කීයේ ය.”

සමන්තපාසාදිකා විනයට්ඨකථාවේ සඳහන් ඉහත විස්තර මෙහි දැක්වූයේ සංඝමිත්තා රහත් තෙරණියන් ගේ ලංකාගමනයට බලපෑ ප්‍රධාන හේතූන් පැහැදිලි කිරීමට ය. තෙරණියන් වහන්සේ ලක්දිවට වැඩම වූයේ ‘දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරුගේ බිරිඳ වූ අනුලා දේවිය තොමෝ පන්සියයක් කන්‍යාවන් හා පන්සියයක් ඇතුළු පුරවැසි ස්ත්‍රීන් සමඟ පැවිදිවනු කැමැත්තී ය. මාගේ ඊම බලාපොරොත්තු වෙති. මහරජ එහෙයින් මම හෙළදිවට යමි” යන අදහසිනි.

ශ්‍රී මහා බෝධි ශාඛාව ද වඩමවන ලෙස ධර්මාශෝක අධිරාජයා තෙරණියන්ට යෝජනා කළේ ඉන් පසුව ය. මිහිඳු මහ රහතන් වහන්සේගේත්, දේවානම්පියතිස්ස රජතුමාගේත් පණිවිඩය වූයේ “පැළලුප් නුවරට ගොස් මහා බෝධිය සමඟ ආර්ය සංඝමිත්‍රා ස්ථවිරීන් මෙහි (ලක්දිවට) කැඳවාගෙන ඒමයි.”

රජතුමාට මේ සිද්ධිය සිහිපත් ව ඇත්තේ වස්සාන කාලය තුළ දී බව මහාවංසයේ සඳහන් වේ.

දඹදිව සිට ලක්දිවට ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම කිරීම සහ ලක්දිව කාන්තාවන් පැවිදි කිරීම පිළිබඳ කතාන්දරය මෙතැන් සිට මහාවංසයෙන් සහ වංසත්ථප්පකාසිනියෙන් සාකච්ඡා වේ.

සන්දේශය රැගත් අරිට්ඨ කුමරු ඇතුළු පිරිස දඹදිවට යෑමට දඹකොළ පටුනෙන් පිටත් වූයේ අස්සයුජ මාසයේ දී ය. ඉන්දීය චන්ද්‍ර මාස ක්‍රමය අනුව අස්සයුජ මාසය යනු සැප්තැම්බර් මස පුර පොහෝ දින සිට ඔක්තෝබර් මස පුන් පොහෝ දින දක්වා කාලය යි. එය චන්ද්‍රයා වැඩෙන පසළොස්වන දිනය පුරපක්ෂය නමින් හැඳින් වේ. එසේ නම් සංඝමිත්තා තෙරණියන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම පිළිබඳ සන්දේශය දේවානම්පියතිස්ස රජතුමා ධර්මාශෝක අධීරාජයාට යවා ඇත්තේ වප් පුර පසළොස්වක පොහොය දිනයට පසු දෙවන දිනයේ දී ය.

වප් මාසයේ බෞද්ධාගමික වැදගත්කම හා සම්බන්ධ ව රචනා කෙරෙන ග්‍රන්ථයේ මේ කරුණු පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරෙනු ඇත.

මෙලෙස මහා බෝධි ග්‍රහණය හා සම්බන්ධ කටයුතු දඹදිව පැළලුප් නුවර සිදුවන කාල වකවානුවේ දී ලක්දිව අනුලා දේවි ඇතුළු කාන්තාවෝ සඟමිත් රහත් තෙරණියන් වහන්සේ වැඩම කර තමා පැවිදි කරවන තුරු දස සිල් සමාදන් වී උපාසිකා විහාරයේ වාසය කළහ. මෙතැන් සිට මේ ග්‍රන්ථයෙන් සාකච්ඡා කරනු ලබන්නේ ලක්දිව භික්ෂූණී පරම්පරාවක ආරම්භය සහ එහි ව්‍යාප්තිය හා සම්බන්ධ තොරතුරුයි. භික්ෂුණී පරපුර හා සම්බන්ධ ව තොරතුරු විමසීමේ දී වඩාත් ම වැදගත් වූයේ දීපවංශය යි.

ලක්දිවට බුදුදහම ගෙන ඒමෙන් පසු ව මුල් බීජය වටා ගෙතී රෝපණය වූ ඉතිහාසය සම්ප්‍රදායයන් සමූහය එක ම ග්‍රන්ථයකට යොමු කොට සම්පාදනය කිරීමට ගත් මුල් ම ප්‍රයත්නය වූයේ දීපවංසය රචනා කිරීම යි.

ඉතිහාසය පරම්පරාවෙන් දැනට ඉතිරි වී ඇති පැරැණි ම වාර්තාව වශයෙන් දීපවංසය ක්‍රි.පූ. පළමුවන සියවසේ සිට ක්‍රි.ව. හතරවන සියවස දක්වා කාල පරිච්ඡේදය අතරතුර සකස් වූ කෘතියක් ලෙස සැලකේ. එබැවින් දීපවංසය කඩින් කඩ රචනා කර ගෙන එන ලදුව පසුව ක්‍රි.ව. හතරවැනි සහ පස්වැනි ශතවර්ෂ අතර කාලය තුළ දී ග්‍රන්ථයක් වශයෙන් සකස් කරන ලද බව ජී.සී. මැන්දිස් මහතා සඳහන් කර ඇත. දඹදිව මහා ප්‍රජාපතී රහත් තෙරණියන් වහන්සේ ගේ කාලයේ සිට ලක්දිව භාතිකාභය රාජ්‍ය කාලය (ක්‍රි.පූ. 22 ක්‍රි.ව. 7) තෙක් පැවැති භික්ෂුණී ආචාර්ය පරම්පරාව පිළිබඳ විස්තරයක් දීපවංසයේ දැක්වේ. දීපවංසය සලකනු ලබන්නේ භික්ෂුණීන් විසින් රචනා කරන ලද කෘතියක් ලෙසට ය.

පැවිදිභාවය ලබා ගැනීම සඳහා දැඩි අධිෂ්ඨානයකින්, උත්සාහයකින් හා කැපවීමකින් ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් විශාලා මහනුවරට දීර්ඝ ගමනක යෙදුණා සේ ම, ලක්දිව කාන්තාවන් පැවිදි කිරීම සඳහා වැඩම කළ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ඇතුළු භික්ෂුණීන් ද, උත්තර භාරතයේ සිට රාජධානි තුනක් පසුකරමින්, වින්ධ්‍යා කඳුකරය ඔස්සේ ඉතා දුෂ්කර ගමනක යෙදෙමින් මුහුදු වෙරළට පැමිණ ලක්දිවට ගොඩබැසීම සඳහා නැව් නැඟී ආකාරය දීපවංසය මෙසේ සඳහන් කරයි.

“තීනි රජ්ජානි තික්කන්නෝ
විඤ්ඣාටවිං ච ඛත්තියෝ
අතික්කන්තෝ බ්‍රාහාරඤ්ඤං
අනුප්පත්තෝ මහණ්ණාවං
චතුරංගනී මහාසේනා භික්ඛුනි
සංඝ සාවිකා
මහා සමුද්දං පක්කන්තෝ ආදාය
බෝධි මුත්තමං”

සංඝමිත්තා රහත් තෙරණිය සමඟ දිවයිනට වැඩම කළ අනිකුත් භික්ෂුණීන් පිළිබඳ එකිනෙකට තරමක් වෙනස් වූ සම්ප්‍රදායන් තුනක් දීපවංසයේ සඳහන් වේ. මේ මුඛ පරම්පරාගත කතා තුනෙන් කියවෙනුයේ සඟමිත් රහත් තෙරණිය පිරිවරාගෙන පැමිණි භික්ෂුණීන්ගේ නාමාවලීන් තුනක් පිළිබඳ ය.

මෙයින් පළමුවන සම්ප්‍රදායට අනුව රුචිනන්දා, කනකදත්තා සහ සුධම්මා යන භික්ෂුණීන් සඟමිත් තෙරණින් වහන්සේ සමඟ ලක්දිවට පැමිණි බව කියැවෙන අතර, දෙවැනි සම්ප්‍රදායේ සඳහන් වන්නේ තරුණ භික්ෂුණීන් දස දෙනකු සඟමිත් රහත් තෙරණිය පිරිවරා පැමිණි බවයි.

ඔවුහු නම් වශයෙන් උත්තරා, හේමා, මසාරගල්ලා, අග්ගිමිත්තා, දාසිකා, ඵෙග්ගු, පබ්බතා, මත්තාමල්ලා සහ ධම්මදාසියා නම් වූහ.

තුන්වැනි සම්ප්‍රදායට අනුව මහාදේවි, පදුමා, හේමාසා, උන්නලා, අඤ්ජලි සහ සුමා ආදී භික්ෂුණීන් දහසය දහසක් සමඟ සඟමිත් රහත් තෙරණින් වහන්සේ කැටුව පැමිණ ඇත.”

මෙහි ඇතැම් නාමයන් පිළිබඳ පරස්පර විරෝධතාවන් ද දක්නට ලැබේ. බී.සී.ලෝ පඬිවරයා දක්වන ආකාරයට මේ සම්ප්‍රදායයන් තුනෙන් එකඟතාවයක් දැක්විය හැක්කේ “ඉන් පළමුවැන්න බෝධි ශාඛාවේ භාරයට පත් කරන ලද සඟමිත් රහත් තෙරණිය ඇතුළු භික්ෂුණීන් එකොළොස් දෙනා හා අදාළ වන බවත්, දෙවැනි සම්ප්‍රදාය සඟමිත් රහත් තෙරණිය ඇතුළු භික්ෂුණීන් එකොළොස් දෙනා හා අදාළ වන බවත් තුන්වැනි සම්ප්‍රදාය සඟමිත් රහත් තෙරණියගේ බොහෝ වූ පරිවාරිකාවන් අතර වූ නායක තෙරණින් සය දෙනා හා අදාළ වන බවත් සැලකීමෙන් පමණකි.

මෙලෙස කාන්තාවන් දහස් ගණනින් පැවිදිවීම නිසා ලක්දිව භික්ෂුණි පර්ෂදය විශාල ලෙස පැතිරෙන්නට විය. එයට සාධක වංසකතාවලින් ම ලැබේ. ඉතිහාසය පරම්පරාවෙන් දැනට ඉතිරි වී ඇති පැරැණිම වාර්තාව වූ දීපවංසයට අනුව පැරැණි ලක්දිව වැඩ සිටි භික්ෂුණීන් සංඛ්‍යාව විසි දහසකි. මහාවංසය සඳහන් කරන ආකාරයට දුටුගැමුණු රජුගේ (ක්‍රි.පූ. 161 - 137) මිරිසවැටි පූජා උත්සවයට භික්ෂූන් ලක්ෂයක් ද, භික්ෂුණීන් අනුහතර දාහක් ද පැමිණියහ. ‘මහාචූල මහාතිස්ස’ රජුගේ පාලන සමයේ දී (ක්‍රි.පූ. 77 -63) භික්ෂූන් හැටදහසකට ද, භික්ෂුණීන් තිස්දහසකට ද සිවුරු සපයනු ලැබ ඇත. මෙවැනි මනඞකල්පිත සංඛ්‍යාවන් කෙරෙහි එතරම් විශ්වාසයක් තැබිය නොහැකි බව විල්හෙල්ම් ගයිගර්ගේ අදහස වුව ද එම සංඛ්‍යා දත්තවලින් අපට වැදගත් නිගමනයකට එළඹිය හැකි ය.

එනම් එම මනඞකල්පිත සංඛ්‍යාවන් භික්ෂු භික්ෂුණීන් දෙපක්ෂයට ම පොදු වූ බව යි. භික්ෂු භික්ෂුණී අනුපාතය අතිශයෝක්තියක් ලෙස දැක්වීමට හේතු නැත. මිරිසවැටි පූජා උත්සවයේ දී භික්ෂු භික්ෂුණී අනුපාතය සියයට 90කි. මහාචූල මහාතිස්ස රජුගේ පිරිකර පූජාවේ දී එය සියයට 50 කි. ඒ අනුව අපට එළඹිය හැකි නිගමනය වන්නේ මෙම වකවානුව වන විට අවම වශයෙන් භික්ෂුණීන් සංඛ්‍යාව භික්ෂු සංඛ්‍යාව හා සැසඳීමේ දී සියයට 50 ක පමණ අනුපාතයක් වූ බවයි. එදා උඳුවප් පුර පොහොය දිනයේ දී සංඝමිත්තා තෙරණියන් වහන්සේ ලක්දිවට වැඩම කොට භික්ෂුණී පරපුරක් ඇති කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස භික්ෂුණී සංඛ්‍යාව ව්‍යාප්ත විය.

උඳුවප් පුර අටවක පෝය

 නොවැම්බර් 30 බදාදා පූ.භා. 09.02 පුර අටවක ලබා දෙසැම්බර් 01 බ්‍රහස් පූ.භා. 07.24 ගෙවේ.
නොවැම්බර් 30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]