Print this Article


සම්බුදු සසුනේ ශ්‍රේෂ්ඨතම විවරණය

සම්බුදු සසුනේ ශ්‍රේෂ්ඨතම විවරණය

දිනක් බුදුරජාණන් වහන්සේ කොසොල් රට සැරි සරන අතරේ දී භික්ෂූන් වහන්සේ අරමුණු කොට අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනා කළහ. මෙම සූත්‍රය ඇසූ භික්ෂූන් වහන්සේ සැට නමක් රහත් වූහ. සැට නමක් ලේ වමාරන්නට වූහ. තවත් සැට නමක් සිවුරු හැර ගිහි වන්නට විය.

මෙසේ දම් දෙසා නැවත දෙව්රම් වෙහෙරට වැඩම කළ පසු වෙහෙරේ වෙනදා මෙන් භික්ෂූන් නැති බව දුටු බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන්ගෙන් කරුණු විමසී ය.

එවිට අනඳ තෙරණුවෝ මෙසේ පැහැදිලි කළහ. "භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දේශනා කිරීම නිසා භික්ෂූන් වහන්සේ සංවේගයට පත් ව අපට මේ ශාසනයේ පිළිවෙත් පිරීමට නොහැකි බවත්, නොමනා පැවතුම් ඇතිව සැදැහැතියන්ගේ දන් පිළිගැනීම නුසුදුසු බවත් පවසා සිවුරු හැර ගියහ".

මේ පුවත ඇසූ බුදුරජාණන් වහන්සේ ධර්ම සංවේගයට පත්වූහ. ඉක්බිති ව අනඳ තෙරුන්ලවා භික්ෂූන් වහන්සේ රැස්කරවා මෙසේ දේශනා කළහ. ගඟකට බසින්නට බොහෝ තොටුපළවල් ඇත්තාක් මෙන්, මෙම සසුනෙහි සැනසෙන්නට බොහෝ දේ තිබෙන බවයි.

“මහණෙනි, මේ සසුනෙහි යම් භික්ෂුවක් අසුරුසනක් ගසන කෙටි කාලයක් වුව සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩනවා නම්, මහණෙනි, ඒ භික්ෂුව මේ සසුනෙහි ධ්‍යාන ඇත්තෙක් බවට පත් වේ. දායකයින් දෙන දන් වැළඳීමට සුදුස්සකු බවට පත් වේ යැයි දේශනා කළහ.

තවදුරටත් කරුණු ඉදිරිපත් කළ බුදුරජාණන් වහන්සේ සිටගෙන හෝ ඇවිදින හෝ හිඳින හෝ නිදන හෝ යන මේ සෑම අවස්ථාවක ම මෛත්‍රී සහගත සිහියෙන් සිටිනු කැමැත්තේ ද, ඒ තාක් කල් පහ වූ මිද්ධය හා අලස බව ඇතිව අධිෂ්ඨාන කරන්නේ ය.

මෙම මෛත්‍රී විවරණය මේ බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ ම විවරණය වේ. මෙයින් පැහැදිලි වන්නේ සිටින, ඇවිදින, සිටගෙන හා නිදන යන ඉරියව් සතරේ දී ම මෛත්‍රී පූර්වාංගම කුසල සිතින් ක්‍රියා කිරීම යහපත පිණිස, ජීවිතයේ දියුණුව පිණිස හේතු වන බව ය.

මේ කරුණු සියල්ල නුවණින් තේරුම් ගනිමින් ලෝකයේ සියලු සත්ත්වයන් කෙරෙහි ඇතිකර ගත් කාරුණික සිතක් හා හෘදයාංගම දයාවක් සහිත ව මෛත්‍රී සහගත චේතනාවන්ගෙන් ජීවිතය ගවසා ගෙන, මෙලොවත් පරලොවත් සැපය පිණිස ක්‍රෝධය, වෛරය, ද්වේෂය, තරහව නම් වූ අකුසල චිත්ත චෛතසිකයන් දුරින් ම දුරු කිරීමට මෙලෙස ධර්මයෙන් ලැබෙන මඟ පෙන්වීම නිවැරැදිව තේරුම් ගත යුතු ය. ක්‍රෝධයේ ආදීනව මෙලොව පරලොව දුගතිය පිණිස බලපාන අයුරු සිහියෙන් දැකිය යුතු ය. සුවපත් මනසක් සහිත ජීවිතයක් ගත කළ හැක්කේ එවිට ය.

සිතකය වදනින් මෙත් ගුණ මතුවී
සාමය සමඟිය ලෝ තුළ පැතිරී
සැම දෙන එක මවකගෙ දරු කැළ සේ
සොම්නස් වෙත්වා සැනසෙත්වා