[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මනරම් බෙන්තර ගඟ මායිමේ පිහිටිබෝධි සමීප භීමතිත්ථ රාජමහා විහාරය

මනරම් බෙන්තර ගඟ මායිමේ පිහිටි බෝධි සමීප භීමතිත්ථ රාජමහා විහාරය

බස්නාහිර පළාත පසුකර බෙන්තර පාලම මතින් දකුණු පළාතට ඇතුළුවන මුවදොරේ මනරම් කඳු ගැටයක් මත සුන්දර මනස්කාන්ත බෙන්තර ගංගාවට සමීපයේ ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයට නුදුරින් මෙම බෝධි සමීප භීමතිත්ථ රාජමහා විහාරය පිහිටා තිබේ.

සද්ධාතිස්ස රජ සමයේ බෙන්තොට අරඹා තිබෙන පංච මහා විහාරයන් අතර ඇති ඉපැරැණි විහාරයකි. මෙම විහාරය පසුකාලීනව විදේශ ආක්‍රමණවලට යටත්ව වල් බිහි වූ අයුරු ඉතිහාසයේ සඳහන් වුවත් බෙන්තර ඉතිහාසයේ ආරම්භ වූ රජ මහා විහාර අතරින් මෙකී විහාරය ඉන් එකක් බව සඳහන් වේ.

පසුකාලීනව මෙම රාජමහා විහාරය ගොඩනැඟීමේ පුරෝගාමීත්වය බෝධිමලුවේ පාරිශුද්ධ මාහිමියන්ගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවෙන් පැවත එන බව ඉතිහාසයේ සඳහන් බව වත්මන් නාහිමියෝ පවසා වදාළහ.

මෙම විහාරය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව ආරම්භ කිරීමේ දී මුලිකත්වය ගෙන කටයුතු කළ මහ තෙරවරුන් අතර වැඩ සිටි අපවත් වී වදාළ බෙන්තර අත්ථදස්සි මාහිමිපාණන් වසර ගණනාවක් විහාරාධිපති ධූරය හෙබ වූ අතර පොතුවිල ඉන්ද්‍රජෝති, යාත්‍රාමුල්ලේ ධම්මාරාම, පයාගල සෝමාලංකාර, කලුතර සෝමාරාම, බෙන්තර මංගල, බෙන්තර සෝමසිරි, ඕපාත විමලසිරි යන යතිවරුන් මෙම නාහිමි ධුරය හොබවා 1834 මුල් භාගයේ සිට ආගමික හා ශාසනික සේවාවන් මෙම විහාරය මුල් කොට සිදු කොට තිබේ.

හෙළ වෙදකමේ කෙළ පැමිණි එවකට විහාරාධිපති ධුරය හෙබ වූ පොතුවිල ඉන්ද්‍රජෝති මාහිමියන් කරන ලද දේශීය හෙළ වෙදකම්වලින් සුවපත් වූ විවිධ පුද්ගලයන් අතරින් පරිත්‍යාගයන් කර ඇති, අද දක්වාම උන්වහන්සේ සිහිවීම පිණිස කර ඇති දඹරන් පිළිම වහන්සේ ඇලබඩ ඉන්ද්‍රජෝත්‍යාරාමයේ ඉපැරැණි වස්තුවක් ලෙස සුරැකිව තිබෙන බව නාහිමි කීහ.

විහාරාධිපති
පූජ්‍ය බෙන්තර ජිනානන්ද හිමි

එසේම භීමතිත්ථ විහාරයේ එකල වැඩ සිටිය යාත්‍රාමුල්ලේ ධම්මාරාම හිමියන්ගෙන් 1930 තෙවන දශකයේ පමණ පාලි භාෂාව පිළිබඳ එකල අධ්‍යයනය ලැබූ ඉංග්‍රීසි ජාතික රිස්ඩේවිඩ් පඬිතුමා පාලි භාෂාව මනාව හදාරා පසුව ඔහුගේ මව්රටට ගොස් පාලි පොත් සමාගම ඇති කොට ලෝකයට පාලි භාෂාව ව්‍යාප්ත කිරීමට මෙම විහාරය මුලික කොට ගත් බව ඉතිහාසයට එක්කර තිබේ.

ඩේවිඩ් පඬිතුමා බෙන්තර පුරවරයේ මෙම විහාරය මුලික කොට ලබා ගත් එකී පාලි භාෂා දැනුම හේතුවෙන් එංගලන්තයේ පාලි පොත් සමාගම ව්‍යාප්ත කර ලෝකයට බුදුදහම හා පාලි භාෂාව ව්‍යාප්ත කළේ කෘතගුණ සැලකීමක් නිසා බව නාහිමියන් පැවසීය.

එමෙන් ම කාලයේ වැලිතලාවෙන් වැසී යමින් පැවති මෙම භීමතිත්ථ රාජ මහා විහාරයේ පුනරාලෝකයක් ඇති කිරීමට වත්මන් නාහිමියන් වන ගාලු කෝරලයේ ප්‍රධාන සංඝනායක, ඔබඩවත්ත සිරිනිවේසාරාමය යන උභය විහාරාධිපති, බෙන්තොට ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ගරු සභාපති, සද්ධර්ම කීර්ති ශ්‍රී, ශාස්ත්‍රපති, පූජ්‍ය බෙන්තර ජිනානන්ද නාහිමියන් හැඳීන්විය හැක.

2000 වසරේ ජනවාරි පළමුවැනි දා සිට මේ දක්වා මෙම රාජමහා විහාරයේ වසර 22 ක කාලයක් විහාරාධිපති ධූරය හොබවන උන්වහන්සේ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේ, විහාර මන්දිරය, ඉපැරැණි දෙතිස් පලරුහ, බෝධීන් වහන්සේ වටා ඉදි කළ බෝධි ප්‍රාකාරය විහාරයට ගෙන දෙන්නේ මහත් ප්‍රෞඪත්වයකි.

ධර්ම ශාලා, දාන ශාලා, ආවාස මන්දිරය, පියගැට පෙළ, ඝණ්ඨාර කුලුණ ආදි විහාරයකට තිබිය යුතු සියලු අංගයන් නාහිමියන් මෙකී විහාරයේ මේ වන විට සපුරා තිබේ. එසේම දකුණු පළාතටත් බෙන්තර පුරවරයටත් මහත් අභිමානයක් වූ බෙන්තර ගංගාවේ පිහිටි ගල්තලාව මත මෑත කාලීනව ඉදිකර තිබෙන රියන් 70 ක් උසැති සම්මා සම්බුද්ධ මුද්‍රාවේ පිළිම වහන්සේ ඉදිකරන ලද්දේ ද ජිනානන්ද නාහිමිගේ අප්‍රතිහත ධෛර්යයෙන් ය. මෙම රාජමහා විහාරයේ තවත් විශේෂත්වයක් වන්නේ සිව්දිගින් වැඩම වන තෛ‍්‍ර නිකායික මහා සංඝරත්නයේ විනය කර්ම සිදු කිරීම සඳහා බෙන්තර ගංගාව මැද උදකුක්කේප පොහොය සීමා මාලකය ද ඉදි කිරීමට පුරෝගාමීව කටයුතු කිරීම ය.

එසේම මෙම බුද්ධ මන්දිරයට ඉදිරිපසින් දකුණු දිසාවට හා ජලයට අධිපති දියසෙන් කුමරා ප්‍රතිමාව ද අප නාහිමියන්ගේ සංකල්පයක් මත ඉදි කර තිබෙන අතර, දෙස් විදෙස් බොහෝ බැතිමතුන් මහත් භක්තියෙන් බෙන්තර බෝධි සමීප භීමතිත්ථ රාජමහා විහාරය වැඳ පුදා ගැනීමට පැමිණෙනු ඇත.

මෙම රාජමහා විහාරයේ ශ්‍රී සෝමාරාම දහම් පාසල නමින් ප්‍රදේශයේ දරු දැරියන්ට දහම් අධ්‍යයනය ලබා දීමට දහම් පාසලක් ද පැවැත්වෙන අතර, සෑම පොහෝ දිනකම බොහෝ දුර බැහැර බැතිමතුන් ගංතීරය සමීප බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස ආගමික ශාසනික සේවාවන් සිදු කිරීමට පැමිණේ.

මෙම ඉල් පුර පසළොස්වක පොහෝ දින විහාරස්ථානයේ ධර්ම දානය සඳහා බුදුසරණ පත්‍රය නොමිලේ බෙදා දීම විහාරස්ථානයේ දායිකාවක් වන බෙන්තොට වෛද්‍ය මාලා කාරියවසම් මහත්මිය විසින් සිදු කරනු ලබයි.

ඉල් අමාවක පෝය

  නොවැම්බර් 23 බදාදා
පූ.භා. 06.54 අමාවක ලබා 24 බ්‍රහස්පතින්දා පූ.භා. 04.28 ගෙවේ.
23 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]