[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසර දුක් ගිනි නිවන්න සැදැහැ සිතින් සිල් රකින්න

බොහෝ ධන ධාන්‍ය සම්පත්තියෙන් නොයෙක් අතින් සංවර්ධිත සුරට්ඨ නම් ජනපදයක් විය. එහි සිල්වත් භික්ෂූන් වැඩ වසන විහාරයකි. මහා නිධි පර්වතය අසල ධුතාංගධාරි යෝගාවචර භික්ෂූන් වහන්සේ වැඩ වාසය කරති.

උන්වහන්සේ උදය වරුවෙහි පිණ්ඩපාතය වැඩ, දානය සපයාගෙන විත් තැනක තැබූ සේක. සොරකම ජීවනෝපාය කර ගත් මහා හොරෙක් රැයෙහි සොරකම් කොට පිපාසාවෙන් හා කුසගින්නෙන් පීඩිතව විහාරයට ගියේ ය. හේ යට කී පිණ්ඩපාතය දකියි.

“ෂා පිණ්ඩපාත දානය! හාමුදුරුවෝ මින් කොටසක් නොදී වැළඳුවොත් මම රෑට ඇවිත් මුන් වහන්සේගේ සිවුරු හා පාත්‍ර සොරකම් කරනවා.”

ස්වාමීන් වහන්සේ අත් පා සෝදා ගෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ දානය වැළඳීම සඳහා සූදානම් වූහ. සොරාගේ පැමිණීම උන්වහන්සේ දුටුවහ.

“එන්න, මේ ආහාර අනුභව කරන්න.” සොරා ආහාර අනුභව කළේ ය.

“ ස්වාමීන් වහන්ස මම භයානක සොරෙක්මි. මට ආහාර ස්වල්පයක් දුන්නේ නැත්නම් මම ඔබ වහන්සේට අපරාධයක් කරන්නට සිතුවෙමි. ඔබ වහන්සේ මට ඒ ගැන සමාව දෙනු මැනවි.”

“හොඳයි, මම ඔබට ඒ ගැන සමාව දෙමි. ඉදින් මා කියන දේ කරනවා නම්. පන්සිල් රකින්න.

“ස්වාමීන් වහන්ස පන්සිල් කියන්නෙ” මොනවද?

“පන්සිල් කියන්නෙ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, රහ මෙර පානය යන පහ නොකිරීමයි.” පවසමින් පන්සිල් ගැන විස්තර කර දුන්හ.

“අනේ ස්වාමීනි, මේ පහ බරපතළයි. මට නම් ඔය පහක් රකින්න හරි අමාරු වැඩක් නෙ.

එහෙම නෙමෙයි, ඔබ හතරක් රකින්න.”

“හපෝ බැහැ. ස්වාමීනි.”

“හරි, එහෙනම් තුනක් රකින්න.”

“ඒත් මට නම් බැහැ ඒක කරන්න.”

“හරි, දෙකක් බැරි ද? දෙකක් රකින්න.”

“ස්වාමීන් වහන්ස, දෙකකුත් බැහැ. එකක් නම් මම රකින්නම්.”

“සතුටුයි පින්වත. ඔබ කුමන ශික්ෂා පදය ද රකින්නේ?

ඔය කිව්ව ඒවායින් තුන්වන ශික්ෂාපදය. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම.

“හොඳයි පරදාර සේවනයෙන් වැළකී සිටීමට පොරොන්දු වෙනවා.”

සොරා ස්වාමීන් වහන්සේට වැඳ නික්ම ගියේ ය.

පරදාර සේවනයෙන් වැළකීම තමන් විසින් ආරක්ෂා කිරීමේ තිර අදිටන ඔහු තුළ විය. ඔහු වෙනදා මෙන් සොරකම කරන්නට විය. දිනක් රෑ සොරකමේ යන විට බොහොම වටිනා ගොනුන් තුන් දෙනකු ගෙදරක සිටිනු පෙනිණ. මහ රෑ ගෙට ඇතුළු වූ සොරා ගෙදර කාන්තාව දුටුවා ය. දුටු සැණෙන් ම ඇයට සොරා පිළිබඳ සිත් පහළ විය.

“තරුණයා, ඇයි මේ ගෙට ඇතුළු වුණේ.” “මේ ගෙදර හොඳ ගවයින් තුන් දෙනෙක් ඉන්නවා. උන් අරන් යන්නයි ආවේ.”

“හා හා තරුණය, ඔබ මා කියන දෙයක් කරනවා නම්, ඔය ගොනුන් තුන් දෙනා විතරක් නෙමෙයි ඔබට කැමැති ඕනෑම දෙයක් දෙන්නම්.”

“හොඳයි මොනවද මගෙන් කෙරෙන්න ඕන.?”

වෙන මොනවත් නොවෙයි. මා කාම සැපයෙන් සතුටු කරන්න. කාම රසයෙන් පෙළඹුණ අය යුද්ධයට බැඳීම. ජලයට පිවිසීම, සොරුන් අතරට යාම, මහා වනයට ඇතුළු වීම. පර්වත දුර්ගයකට පිවිසීම ආදිය ගණන් නොගනියි. මා කම් සැපයෙන් සතුටු කරන්න. ඒ විදියට කළොත් ඔබගේ පැමිණීම සාර්ථකයි. ඔබ කැමැති දේවල් ගෙනියන්න පුළුවන්.”

“මොනවද ඔබ මේ කියන්නේ? මට ඔය කතා අහන්නවත් ඕන නෑ. මම ශීලයක් රකිනවා.

ගෘහණියගේ ද සොරාගේ ද මේ සංවාදය ගෙදර හිමියා අසා සිටියි. මුරකරුවන් කැඳවා සොරා අල්ලාගෙන ගැහැනියගේ අත්පා බැඳ දැමීය.

“තරුණය. මම ඔබට අද සිට මගේ සහෝදරයෙක් සේ සලකනවා. මේ ගෙදර ඕනෑම දෙයක් ගෙනියන්න. මේ සටකපට ගැහැනිය මම ගෙදරින් පන්නා දානව.”

හොරා විස්මිතව කල්පනා කරන්නට ය.” “මම හොරෙක්. ගොනුන් ගෙනියන්න ඇතුළු වුණේ. පරදාර සේවනයෙන් වැළකුණු නිසා එක මොහොතින් මහා සම්පත් ලැබුණා. ගොනුන් විතරක් නොවෙයි, හොඳ යාළුවෙකුත් ලැබුණා. මිය යන්න ඕන තැන ජීවිතය ලැබුණා. මේ ඔක්කොම එකම එක සිල්පදයක් රැකලයි. සිල්පද පහ රකින අයට මොනතරම් මහත් ඵල ලැබෙනවා ඇත්ද? කුසගින්නේ පෙළුණු මම ස්වාමීන් වහන්සේ නමකගේ බුද්ධ ශ්‍රාවක කෙනෙකුගෙන් එක් සිල්පදයක් සමාදන් වුණා. ලේ තැවරුණු අත් ඇති නපුරු දුෂ්ට සොරකු විසින් ආරක්ෂා කළ ශීලය මෙලෙස පල ලබා දුන්නා. යමෙක් ශ්‍රද්ධාවෙන් සිල් රකයි නම්, ඒ ශිලයෙහි පිහිටි ඔහු හැම භයින්ම මිදෙනවා. මෙම දැඩි සිතින් සිල් රකිමි.

සොරා නැවත භික්ෂූන් වහන්සේ හමුවීමට ගියා ස්වාමීන් වහන්සේට වැඳ එකත් පස්ව මෙසේ කියන්නට වුණා.

ස්වාමීන් වහන්ස, මට සිල්පද පහම දෙනු මැනවි. ඒ පන්සිල් මගේ ජීවිතාන්තය දක්වාම රකිනවා. ඔබ වහන්සේගෙන් ගත් එක සිල්පදය පරදාර සේවනයෙන් වැළකීම මම රැක්කා. ඒක නිසාම මම මරණ භයින් නිදහස් වුණා. දැන් දුගතියෙහි ඇති මහත් දුක ගැන අසන්න කැමැත්තෙමි. මහා වීරයන් වහන්ස, කැපකරුවූ මා දුගතියෙන් මුදවාලනු මැනවි. කුස ගින්නේ සිටි මට ඔබ වහන්සේ එදා ආහාර දුන්නා. අද සසර දුකෙන් පෙළෙන මට සිල් දෙනු මැනවි. ස්වාමීන් වහන්ස.

හොඳයි සත්පුරුෂය, මම ඔබට තිසරණ සරණයද, සිල් ද දෙමි. ශීලවන්ත මනුෂ්‍යයා, මිනිසුන් ද නොමිනිසුන් ද තිරිසනුන් ද කියන සියලු දෙනා විසින් විශ්වාස කටයුත්තක් වෙයි. ඒවා රැක දුගතියෙන් මිදෙන්න. ඒවා ඔබට දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, ආර්ය සම්පත් ලැබීමට හේතු වෙනවා.”

තරුණයාට මහත් සතුටු ය.

වැඳගෙන තිසරණ සරණය ද, සිල් ද ස්වාමීන් වහන්සේගෙන් ලබා ගත්තා. සිල් රකිමින් පාපි ක්‍රියාවන් මුළුමනින් ම දුරුකොට ධර්ම පී‍්‍රතිය ම පි‍්‍රය කොට උපාසකයෙක් වුණා.

පින්වතුනි,

එක් සිල්පදයක් නිසි ලෙස රැකීමෙන් දුෂ්ට හොරෙක් ලද ප්‍රතිඵල බලනු මැනවි. සිල්පද පහම රැක්කොත් ප්‍රතිඵල කෙසේ වේද? ඒ නිසා නිවන් කැමැත්තන් විසින් ශීලයෙහි අනුහස් දැන ශීලය හරියාකාරව අවබෝධයෙන් යුතුව ආරක්ෂා කර ගැනීම වැදගත් බව සිතට ගන්න.

ඉල් අමාවක පෝය

  නොවැම්බර් 23 බදාදා
පූ.භා. 06.54 අමාවක ලබා 24 බ්‍රහස්පතින්දා පූ.භා. 04.28 ගෙවේ.
23 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]