Print this Article


දහම විවරණය කෙරෙන ධර්ම චක්‍රය

දහම විවරණය කෙරෙන ධර්ම චක්‍රය

ධර්ම චක්‍රය යනු සමස්ත බුදු දහමේ සංකේතය යි. බෞද්ධයාගේ උතුම් සංකේතය ද ධර්ම චක්‍රය යි. එය නිවැරැදිව භාවිත කිරීම ධර්මයට කරන ගෞරවයක් ද වෙනවා.

මෙකල බොහෝ ස්ථානවල ඇති ධර්ම චක්‍රය නිවැරැදි ධර්ම චක්‍රය නොවෙයි. චක්‍රයක් නම් රෝදයක් විය යුතුයි. එහි කොටස් එළියට විහිදෙන ආකාරයට තිබීම නිවැරැදි නොවේ.

නිවැරැදි ධර්ම චක්‍රය ලෙස දකින්නට තිබෙන්නේ ඉන්දියාවේ පිහිටා තිබෙන අශෝකස්ථම්භයන් හි ඇති සිංහ ලාංඤ්චනය සමඟ තිබෙන ධර්ම චක්‍රය යි. එහි ගරාදි විසි හතරකි. චතුරාර්ය සත්‍යයේ කාරණා විසි හතර සංකේතවත් කරයි. ජාති,ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, අප්පියෙහි සම්පයෝග දුක්ඛ, පියේහි විප්පයෝග දුක්ඛ, සම්පච්ඡය න ලභති තම්පි දුක්ඛං, සඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා යන දුක්ඛ සත්‍යයට අයත් දුක් දොළසත්, සමුදය සත්‍යයට අයත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තණ්හා තුනක්, නිරෝධ සත්‍යයට අයත් නිවනත්, මාර්ග සත්‍යයට අයත් ආර්ය අෂ්ඨාංගික මාර්ගවන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගාංග අටත් යන කරුණු විසි හතර ධර්ම චක්‍රයේ ගරාදි විසි හතරෙන් සංකේතවත් වේ.