Print this Article


සඳ ඉල්ලා හඬනවා ද?

සඳ ඉල්ලා හඬනවා ද?

"සර්පයා කරන්නේ තමාගේ හැව දිරලා ගිය විට ඒක ශරීරයෙන් අත් හරින එකයි. අන්න ඒ වගේ මේ ශරීරයත් ප්‍රයෝජනයට ගන්න බැරිවෙන කොට අත්හැරල කළුරිය කරනවා. ගින්නෙන් පිච්චෙන ඒ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මියගිය දරුවා සිහි කරලා මම අඬන්නේ නැහැ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා.”

තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන කල්හි එක් උපාසකයකු අරභයා මෙම කතා පුවත දේශනා කොට වදාළහ.

සැවැත්නුවර එක්තරා උපාසකයකුගේ පුතකු හදිසියේ මියගියා. ඔහු පුතාගේ අභාවයෙන් පසුව හඬා වැටෙමින් කාලය ගත කළා. කිසිදු කර්මාන්තයක් නොකර නිවසේ ම කුළෑටිව සිටියා.

ශාස්තෘන් වහන්සේ අලුයම් කාලයේ දී මහා කරුණා සමාපත්තියෙන් නැඟී සිට ලෝකය දෙස බලන්නේ, ඒ උපාසක දැක පෙරවරුවේ පා සිවුරු ගෙන ඔහුගේ ගෙදරට වැඩම කොට දොරකඩ වැඩ සිටියා. උපාසකතුමා උන්වහන්සේ වැඩම වූ බව අසා වහා ගොස් සිවුරු පිළිගෙන ගෞරවයෙන් ආසනයක් පනවා වැඩම වූවා.

බුදුරජාණන් වහන්සේ අහනවා “උපාසකය, ඔබ ශෝකයෙන් පීඩිතව සිටින්නේ ඇයි?”

“ස්වාමීනි, මගේ පි‍්‍රයමනාප වූ පුතා මියගියා. මම ඒ ශෝකයෙන් පීඩිතව සිටිමි.

උන්වහන්සේ ඔහුගේ දුක දුරු කිරීම පිණිස මෙසේ දේශනා කොට වදාළා.

ඈත අතීතයේ කසීරට බරණැස් නුවර ධර්මපාල නම් බමුණු ගමක් වූවා. එහි බ්‍රාහ්මණයා හා බැමිණිය ද, පුතා දියණිය හා බිරිය ද,දාසියක් ද මරණානුස්සති භාවනාව මනාකොට පුරුදු පුහුණු කරමින් සිටියා.

දිනක් බ්‍රාහ්මණයා පුත්‍රයා සමඟ කුඹුරට ගොස් කුඹුර සී සාද්දී, පුත්‍රයා වියළි තණ කොළ ගිනි දල්වමින් සිටියා. එතැන ගසක සිටි නාගයකු දැවිල්ල නිසා ඇති වූ බියෙන් රුක් සිදුරෙන් එළියට ඇවිත් මේ බ්‍රාහ්මණ පුත්‍රයාට දෂ්ට කළා. ඔහු විෂ වේගයෙන් මුසපත්ව එතැනම මැරී වැටුණා. ඔහු දෙව් පුතකු වී දෙව්ලොව උපන්නා.

බ්‍රාහ්මණයා තම පුතා මළ බැව් දැන කුඹුර අසලින් යන මගියෙකුට කතාකොට “මගේ ගෙදරට ගොස් බිරිඳට කියන්න. හොඳින් දිය නා පිරිසුදු ඇඳුම් ඇඳ එක් අයකුට පමණක් බත් ද, මල්මාලා, සුවඳ ආදිය ගෙන එන්න කියා “පණිවිඩයක් යැව්වා. ඒ පුද්ගලයා බැමිණියට එය දැනුම් දුන්නා.

ගෙදර පවුලේ උදවිය ද එසේ කළා. බ්‍රාහ්මණයා ද දිය නා බත් කා පිරිවර ජනයා සමඟ පුතාගේ මළ සිරුර දර සෑයට නංවා ගිනි දල්වා දර කඩක් දවන්නාක් මෙන් ශෝක නැතිව සන්තාපයක් නැතිව අනිත්‍ය යන හැඟීම මෙනෙහි කරමින් සිටියා.

දෙව්පුත තමා විසින් පෙර ජීවිතයේ දී කළ පින් මොනවා දැයි නුවණින් විමසා බලන විට පියාට ද, නෑයන්ට ද අනුකම්පාවෙන් “බමුණකුගේ ස්වරූපයෙන් තම චිතකය දවන තැනට පැමිණියා. ශෝක නොකරන නෑයන් දැක “පින්වත් ඔබලා මුවෙක් ද දවන්නේ? මම ද ඉතා කුසගින්නේ සිටින්නේ. මට ද මස් ටිකක් දෙන්න.” යැයි කියා සිටියා.” බමුණ මේ මුවෙක් නොවේ. මනුෂ්‍යයෙක්.”

“මේ දවන තැනැත්තා ඔබගේ සතුරෙක් ද?”

“නැත. මේ අපගේ එකම පුතා. ඔහු ඉතා ගුණවත් නැණවත් තරුණයෙක්.”

“එබඳු එකම පුතා මියගිය පසු ඔබලා ශෝක නොකිරීමට හේතුව කුමක්ද?

“සර්පයා කරන්නේ තමාගේ හැව දිරලා ගිය විට ඒක ශරීරයෙන් අත් හරින එකයි. අන්න ඒ වගේ මේ ශරීරයත් ප්‍රයෝජනයට ගන්න බැරිවෙන කොට අත්හැරල කළුරිය කරනවා. ගින්නෙන් පිච්චෙන ඒ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මියගිය දරුවා සිහි කරලා මම අඬන්නේ නැහැ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා.”

මෙසේ බමුණා විසින් තමන්ගේ සිහි නුවණ, කල්පනා කිරීමේ දක්ෂතාව ප්‍රකාශ කළ විට බමුණා වෙස්ගත් දෙව්පුතු බැමිණිය වෙත ගොස් අසා සිටිනවා.

“මෑණියනි, මේ මළ තැනැත්තා ඔබගේ කවුද?”

“දස මසක් කුසයෙහි හොවා ප්‍රසූත කොට කිරිපොවා අත්පා හදා ලොකු මහත් කළ මගේ පුතා.”

“මැණිවරුන්ගේ හදවත මෘදු ය.” උණුවෙන සුලුයි. කවරක් නිසා ඔබ නොහඬා සිටින්නී ද?”

මගේ පුතා පරලොවින් මෙලොවට ආවේ අපි අඬගහල නොවේ. ඔහු මෙලොවින් පරලොව ගියෙත් අපගේ අවසරය අරගෙන නොවෙයි. යම් ආකාරයකින් ආවා ද ඒ ආකාරයෙන් ම ගියා. එසේ නම් වැලපීමේ අරුත කුමක්ද? ගින්නෙන් පිච්චෙන ඒ මළ සිරුරට ඥාතීන්ගේ වැලපීම් අවබෝධ වෙන්නේ නැහැ. එනිසා මියගිය දරුවා සිහිකරලා මම අඬන්නේ නැහැ. එයාට යන්නට නිසි ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා.”

එසේ බැමිණියගේ වචනය අසා ඔහුගේ සහෝදරිය වෙත ගියා.

“නැඟණියනි, මේ මළ තැනැත්තා ඔබගේ කවුද?”

“මේ මගේ එකම සොහොයුරා”

“සහෝදරියෝ තම සොහොයුරා කෙරෙහි ආදරය ඇති අයයි. කවර හේතු නිසා නොහඬන්නී ද?”

“මම අඬන්නට ගියොත් වෙන්නේ කෙට්ටු වෙනවා විතරයි. ඇඬීමෙන් මට ඇති ඵලය මොකක්ද? අපේ නෑදැ හිතමිතුරන්ටත් වෙන්නේ නො ඇල්ම පමණයි.

ගින්නෙන් පිච්චෙන ඒ මළ ගිය තැනකට ඥාතීන්ගේ වැලපීම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා එම සහෝදරයා සිහි කරල මම අඬන්නේ නැහැ. එයාට යන්නට යම් ගමනක් තිබෙනවා නම් එයා ඒ ගමන ගියා.”

ඒ නැඟණියගේ වචන අසා ඔහුගේ භාර්යාවගෙන් මෙසේ විමසුවා.

“මියගිය පුද්ගලයා ඔබගේ කවරෙක්ද?”

ඒ මගේ සැමියා.”

“ස්ත්‍රීන් තම ස්වාමියාට ඉතාම සෙනෙහෙවන්තයි. ස්වාමියා මිය ගිය පසු ඕ වැන්දඹු වෙනවා. අනාථ වෙනවා. එසේ තිබියදීත් නො හඬා ඉන්නේ ඇයි?”

“පොඩි දරුවෙක් ඉන්නවා. එයා ආකාසයේ ගමන් කරන සඳ ඉල්ලා අඬනවා. යමෙක් මියගිය උදවිය ගැන හඬනවා නම්, අන්න ඒකත් ඒ වගේ දෙයක් තමා. ගින්නෙන් පිච්චෙන ඒ මළ සිරුරට ඥාතීන්ගේ වැලපීම අවබෝධ වන්නේ නැහැ. ඒ නිසා මියගිය සැමියා සිහිකරලා මම අඬන්නේ නැහැ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා.”

බිරිඳගේ වචන අසා දාසිය ළඟට ගෛාස්,

“නැඟණියනි, මේ මිය ගියේ ඔබගේ කවුද?”

මේ මගේ අයිතිකරුයි” (ස්වාමියා)

“එසේ නම් ඔහුගෙන් දැන් ඔබ නිදහස් වරදට දඬුවම් දීමට කෙනෙක් නැහැ.”

“එසේ නොකියන්න. මගේ ස්වාමියා ඉවසීමෙන් ද මෛතී‍්‍රයෙන් ද දයාවෙන් ද යුත් අයෙක්.”

“එසේ නම් ඔබ නො හඬන්නේ ඇයි?”

“පින්වත් බ්‍රාහ්මණය, මැටි කළයක් බිඳිලා ගිය විට ආයේ පැරැණි විදිහට ඒක පූට්ටු කරන්න බැහැ. යමෙක් මියගිය උදවිය ගැන හඬනවා නම්, අන්න ඒකත් ඒ වගේ දෙයක් තමා. ගින්නෙන් පිච්චෙන ඒ මළ සිරරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මියගිය ස්වාමියා සිහිකර මම අඬන්නේ නැහැ එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම්, එයා ඒ ගමන ගියා.

දෙවුපුතු ඔවුන්ගේ ධර්ම කතා අසා පැහැදී, ඔවුන් මරණානුස්සතිය මැනවින් පුරුදු පුහුණු කර තිබෙනවා. අද පටන් ඔබලා විසින් කෘෂි කර්මාන්තය කළ යුතු නැහැ’යි පවසා ඔවුන්ගේ නිවස සත් රුවනින් පුරවා ප්‍රමාද නොවී දන් දෙමින් සිල් රකින්නැයි අවවාද කොට තමා කවුදැයි හඳුන්වා දි පිටත් වී ගියා.

ශාස්තෘන් වහන්සේ මෙම කතාව ගෙනහැර දක්වමින් උපාසකයාගේ ශෝකය නැමති උල සහමුලින් ම උදුරා දැමුවා. ඒ උපාසකතුමා අවසානයේ දී සෝවාන් ඵලයට පත්වුණා.