Print this Article


උගත්කම බබළන්නේ ගුණදහම් වැඩි තරමටයි

උගත්කම බබළන්නේ ගුණදහම් වැඩි තරමටයි

පුද්ගලයකුගේ දියුණුව ක්‍රම දෙකකින් මනින්නට පුළුවන්. ඒ තමයි ආධ්‍යාත්මික දියුණුව හා බාහිර දියුණුව. බාහිර දියුණුව කියන්නේ ධන ධාන්‍ය වතුපිටි උපයා සපයාගෙන, හරි හම්බ කරගෙන, යාන වාහන අරගෙනන, සුඛෝපභෝගී ලෙස ජීවත් වීමයි.

ඒත් ආධ්‍යාත්මික දියුණුව මීට වඩා වෙනස්. මනුෂ්‍යයකු තුළ ගුණ ධර්ම වැඩිවෙන තරමට ඔහු තුළ ආධ්‍යාත්මික දියුණුවත් පවතිනවා. මේ දෙයාකාර දියුණුව කෙනෙක් තුළ ඇත්නම් අපට පුළුවන් ඔහු නියම සාර්ථක ජීවිතයක් ගත කරනවා කියන්න. ආධ්‍යාත්මික දියුණුවේ උපරිම අවස්ථාව විමුක්තිය අවබෝධ කර ගැනීමයි. ඉතින් අද අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙලොව මෙන් ම පරලොව ජීවිතයත් දියුණු කර ගන්න පුළුවන් කරුණු ගැන කතා කරමු.

පින්වතුනි,බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ කාලේ එක්තරා බමුණෙක් හිටියා අත්තස් සද්වාර කියලා. ඒ බමුණාට හිටියා එක පුතෙක්. එක දවසක් මේ බමුණු පුතා තම පියාගෙන් ඇහුවා “තාත්තේ, මට දියුණුවන්න ඕනෑ. ඒකට උපදෙස් දෙන්න” කියලා.

මේ වැනි ප්‍රශ්නයක් ඉතා ම කලාතුරකින් විශේෂයෙන් පුතෙක් තාත්තා කෙනෙක්ගෙන් අහන්නේ. ඒ නිසා බමුණා කල්පනා කළා මගේ පුතා අසන ප්‍රශ්නය ඉතා ම වටිනවා. එනිසා මෙයට පිළිතුරු දීමට මට වඩා සුදුසු උත්තමයෙක් සිටිනවා කියලා පුතත් සමඟ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් “ස්වාමීනි, මගේ පුතා දියුණුවීමට කරුණු අහනවා. අපට අනුකම්පා කර කියා දෙන්න” කියා ගෞරවයෙන් ආරාධනා කර සිටියා. ඊට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ දියුණුවීමට අවශ්‍ය කරුණු 6ක් දේශනා කළා.

නිරෝගිකම උතුම් ලාභයයි. සිල්වත් බව, වැඩිහිටියන් ගේ අවවාද පිළිගැනීම, උගත්කම, දැහැමි බව, අනලස් බව, මේ කරුණු කෙනකු තුළ ඇත්නම් ඒ ජීවිතය දියුණු වන බව ප්‍රකාශ කරන්න පුළුවන්.’

කොපමණ සම්පත් තිබුණත් නිරෝගිකම නැත්තම් ඒ ජීවිතය සැපවත්, සැනසිලිදායක හැටියට සලකන්න කොහොමටවත් බැහැ. ඒවගේම කිසිම ධනයක්, වස්තුවක් නැති දුප්පත් කෙනකු ළඟ වුණත් නිරෝගිකම තියෙනවා නම් එය සතුටට කාරණාවක්.

මනුෂ්‍යයකුට ලෙඩ හැදෙන ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි සිත ලෙඩ වීම හා කය ලෙඩවීම කියන්නේ. මේ දෙවිදියට ම හැදෙන ලෙඩ අප සුව කර ගන්න ඕනෑ.

සිතේ ඇතිවන ලෙඩ තමයි රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, පළිගැනීම, අහංකාරකම කියන්නේ. මෙවැනි ලෙඩ තියාගෙන දියුණුවෙන්න අමාරුයි. ඒ වගේම තමයි මෙවැනි දේ තුළින් සිත ලෙඩ වුවහොත් අපට දේශීය විදේශීය, බෙහෙත් පාවිච්චි කරලා සුව කරගන්න බැහැ. අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළා සිත යහපත්ව තියා ගන්න අයුරු. ඒ අනුව දහම් පොත් බලනවා නම්, දහම් අසනවා නම්, පුළුවන් විදිහට භාවනා කරනවා නම් අපට පුළුවනි සිත ද්වේෂය ආදියෙන් ලෙඩ නොවී තියාගන්න.

ඒ නිසා අප කය ලෙඩ වීමෙනුත් මේ විදිහට සිත ලෙඩ වීමෙනුත් වැළැකිලා නිරෝගීමත් වෙමු. එසේ වුණොත් මෙලොව පරලොව ජය ගන්න හැකියාව ලැබෙනවා.

දියුණුවට හේතුවන දෙවැනි කාරණය “සිලං ච” සිල්වත් බවයි. මෙය හැම ජීවිතයකට ම දියුණුවීමට අත්‍යවශ්‍ය දෙයක්. “සුඛං යාව ජරා සීලං” ජරාව හෙවත් ජීවිතාවසානය දක්වා සිල් රැකීම සැපයට හේතුවනවා. සීලයේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. පඤ්ච සීලය, ආජීව අෂ්ටමක සීලය, උපෝසථ අෂ්ඨාංග සීලය, නවාංග සීලය, දස සීලය, සාමණේර සීලය හා උපසපන් සීලය යනාදී විදිහට. ඉතිං අපට මේ සිල්වලින් තමන්ට පහසු සීලයක් සමාදන් වී ආරක්ෂා කිරීමට පුළුවන්. ඒ විශේෂයෙන් ගිහි පින්වතුන් නිත්‍ය පඤ්ච සීලය දිවි හිමියෙන් සුරැකිය යුතුය.

සීලය කියන්නේ සිත, කය, වචනය කියන මේ දොරටු තුනේ ඇති සංවර භාවයයි. හික්මීමයි. ඉතිං යමෙක් මේ තුන් දොරේ හික්මීම තබා ගන්නවා නම් "නතේ ගමිස්සන්ති අපායං" එබඳු අය අපායට යන්නේ නැහැ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒවගේම සිල්වතාට ලැබෙන ආනිශංස පහක් බණ පොතේ සඳහන් වෙනවා. ඒ තමයි සිල්වත් කෙනාට බොහෝ භෝග සම්පත් ලැබෙනවා. පිරිසුදු කීර්තියක් හිමිවනවා. ඒ වගේම කවර, තරාතිරමේ පිරිසක් ළඟට වුවත් බියෙන් තොරව යාමට පුළුවන ආත්ම ශක්තියක් ඔහුට ලැබෙනවා. එසේම සිල්වත් කෙනා සිහිනුවණින් කළුරිය කරනවා. අවසාන ආනිශංසය තමයි. මරණින් පසු දේව ලෝකවල උප්පත්තිය ලබනවා. සිල් රැකීමේ ආනිශංස බලවත්. ඒ නිසා මෙලොව දියුණුව සේ ම පරලොව දියුණුව ද පතන්නෝ සිල් ආරක්ෂා කිරීමට උත්සාහවන්ත විය යුතු ම යි.

මීළඟට දියුණුවීමට හේතු වන තුන්වැනි කරුණ තමයි බුද්ධානු මතං වැඩිහිටියන්ගේ අනුශාසනා පිළිගැනීම කියන්නේ. අප වැඩිහිටියන් හැටියට සලකන්නේ අපේ භික්ෂූන් වහන්සේ මව්පියන්, ගුරුවරුන්, සහ ගුණයෙන් උසස් අයයි.

වැඩිහිටියන් යම් වැරැදි දෙයක් පිළිබඳව නම් අවවාද කරන්නේ, එය කරන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් එහි ඇති බරපතළකම වටහාගෙන යි.

මෙතැනදී අපට අපේ රාහුල පොඩි හාමුදුරුවන්ගේ ආදර්ශය ඉතාම වටිනවා. මොකද? රාහුල පොඩි හාමුදුරුවෝ හැමදා ම උදේ අවදිවෙලා මිදුලට බැහැලා මුලින් කරන්නේ වැලි දෝතක් අරගෙන උඩ දමලා මේ වැලි කැට ගණනට අද දවසේ දී මට අවවාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කිරීමයි. ඒ නිසා දියුණුවන අය රාහුල පොඩි හාමුදුරුවෝ ආදර්ශයට අරගෙන වැඩිහිටි අයගේ අවවාද අරගෙන, තම ජීවිතය දියුණුකර ගන්න උත්සාහ කරන්න ඕනෑ. මේ දියුණුවීමට හේතුවන තුන්වැනි කාරණයයි.

සිව්වැනි කාරණය තමයි ‘සුතංච’ උගත්කම කියන්නේ. මෙය දියුණුවීමට බලාපොරොත්තු වන හැම කෙනකුට ම අත්‍යවශ්‍ය දෙයක්. අද අප ජීවත් වන ලෝකය මොහොතින් මොහොත දියුණුව කරා ගමන් කරනවා.

අනාගතයේ මොන තත්ත්වයක් උදාවේ දැයි කිව නොහැකියි. ඒනිසා දියුණු වන සමාජයත් සමඟ කටයුතු කිරීමට ඉදිරියට යන්න.

ඒ සමඟ අපට උගත්කම අවශ්‍යයි. ඒ නිසා නිසි අවධිවල අධ්‍යාපනය හැදෑරීමත්, දියුණුවට උපයෝගී වනවා. බොහෝ දෙනාගේ ඉගෙනීමේ පරමාර්ථය රැකියාවක් ලබා ගැනීමයි. රැකියාවක් කිරීම වරදක් නොවෙයි. ඒත් ඉගෙනීම එයටට ම සීමා කිරීම හොඳ නැහැ. ඉගෙනීමෙන් බලාපොරොත්තු වන්නේ හොඳ, යහපත්, ගුණ ගරුක, හැදිච්ච කමක් ඇති ජීවිතයක් ගත කරන්න අවශ්‍ය පරිසරයක් ඇති කර ගැනීමයි. හැදිච්චකමක් නැති අධ්‍යාපනයෙන් වැඩක් නැහැ.

අපේ අම්මලා තාත්තලා දැන් පටන් ම මොන විදිහේ අධ්‍යාපනයක් තම දරුවන්ට දුන්නත් කමක් නැහැ හැදිච්චකම ඇතිකරගෙන.එවිටයි නියම උගතුන් බිහිවන්නේ. එවැනි උගතුන්ගෙන් රටට විශාල සේවාවක් ලැබෙනවා.

ධම්මානුවත්තී ච ඒ කියන්නේ දැහැමි ජීවත්වීම යන්නයි. අද සමාජයේ දකින්න ලැබෙන දුර්ලභ කරුණක් තමයි ධාර්මික අය සොයන එක අපේ බුදුහාමුදුරුවෝ බෞද්ධයකුට නොගැළපෙන නොකළයුතු රැකියාවන් පහක් දේශනා කළා. ඒවා තමයි මස් පිණිස සතුන් වෙළඳාම, අවි ආයුධ වෙළඳාම, වස විෂ වෙළඳාම, වහල් වෙළඳාම කියන්නේ. මේවා අධර්මිෂ්ඨ රැකියාවන්. මෙවන් රැකියාවන් කරමින් උපයන ධනය අධර්මිෂ්ඨව උපයන ලද ධනයක්. ඒත් අද සමහරු බහුල වශයෙනන් ධනය උපයන මර්ග හැටියට යොදාගන්නේ එවැනි දේවල්මයි.

ඒත් එවැනි දුෂ්චරිත වැරැදි දේ කරලා ධනය උපයන අයට කොපමණ ධනය තිබ්බත් හිතට එකඟව සතුටු වන්නට බැහැ. අනේ මං මේ ධනය උපයා ගත්තේ කොපමණ නම් පවුල් අවුල් කරලද? ජීවිත කීයක් විනාශ කරල ද? මේ විදිහට හිතෙන මත්පැන් ආදී වෙළඳාම් කරපු අයට ධනය තිබුණාට සතුටක් නැහැ. පින්වතුනි, සල්ලි තිබුණාට සතුට ලැබෙන්නේ නැහැ. සන්තුට්ඨි පරමං ධනං අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ සතුට උතුම්ම ධනය කියලයි. අධාර්මික රැකියාවලින් ඉක්මනට ලාභ ලැබෙන බව ඇත්ත. ඒත් අපි ලාභ ලබනවාට වඩා දුර බලන්න පුරුදු වන්න ඕනෑ. ඒවගේ ම අධාර්මිකයාගේ දියුණුව තාවකාලිකයි. හරියට අත්තිවාරම ශක්තිමත් නැති නිවසක් වගේ. මොකද? එවන් ගෙවල් කොච්චර ලස්සන වුණත් ඉක්මනට කඩාවැටෙනවා. හැබැයි ධාර්මිකයා එහෙම නොවෙයි හැමදාම නොසෙල් වී පවතිනවා.

දියුණුවීමට අවශ්‍ය තවත් කාරණයක් තමයි අලීනතාව කම්මැළි නැති කම. කම්මැළිකම යමකුට තිබේ නම් කවදාවත් ඔහුට දියුණුවීමට පුළුවන් කමක් නැහැ. රැකියාවක් කරන අය, ඉගෙන ගන්න ශිෂ්‍යයන් කියන මේ සමාජයේ කුමන තරාතිරමේ අයකු වුවත් කම්මැළි වුණොත් ඒ හැම දෙනෙක්ම පිරිහීමට පත් වෙනවා.

විශේෂයෙන් ඉගෙන ගන්න අපේ දරුවෙක් අලස වුණොත් කවදාවත් ඉගෙනීමේ උසස් තත්ත්වයකට පත්වීමට හැකියාවක් නැහැ. අනිත් අයත් එහෙමමයි. කරන දේ කුමක් වුවත් අනලස්ව කරන තරමටයි ප්‍රතිඵලය ලැබෙන්නේ. අලසකම පිරිහීමේ ලක්ෂණයක් හැටියටයි. පරාභව සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබෙන්නේ.

ඒ නිසා දියුණුවෙන්න කැමති අය වීර්යය ඇති කරගෙන ක්‍රියා කරන්න ඕනෑ. එවැනි අයට වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න පුළුවනි.

අපේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ලොව්තුරු බුද්ධත්වය ලැබුවේ වීර්යයේ ප්‍රතිඵලයක් ලෙසටයි. සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරීම දෙස බලන කල එය පැහැදිලි වෙනවා.

තමාගේ දියුණුව තමා විසින් ම සලසා ගන්න ඕනෑ. එය වෙන අයකුට කළ හැක්කක් නෙමේ. තමන් හිසට තම අතමය සෙවණැල්ල වෙන්නේ. ඒනිසා මේ දියුණුවීමට බලාපොරොත්තු වන අය කම්මැළිකම නැතිකර ගන්න අධිෂ්ඨාන කර ගන්න ඕනෑ. මේ කරුණු හය අපේ ජීවිත තුළ තිබෙනවා නම් අපට මෙලොව වශයෙන් පමණක් නෙමෙයි පරලොව වශයෙනුත් දියුණුවීමට පුළුවනි.