Print this Article


ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව දේවාල විහාරස්ථානයේ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව දේවාල විහාරස්ථානයේ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව දේවාල මහා විහාරාධිපති මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සබරගමු පළාතේ කොලොන්න කෝරළයේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී සෝනුත්තර අභිධාන ඉත්තදෙමලියේ ධම්මසිරි නායක ස්වාමින් වහන්සේ ය.

උන්වහන්සේගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහමෙව්නාවේ පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට සමාන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව දේවාල විහාරස්ථානයේ අභිනවයෙන් ස්ථාපිත කර ඇත.

අපවත් වී වදාළ දෙහිවල ශ්‍රී පියරතනාරාමාධිපති සල්පිටි කෝරළයේ උප ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මිද්දෙණියේ පේමානන්ද නාහිමිපාණන් වහන්සේට සහ මියගිය ඥාතීන්ට නිවන් සුව පතා එම පවුලේ සාමාජිකයින් විසින් තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකර ඇත.

බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන වන්දනාමානය සඳහා විවෘත කිරීම කොළඹ නවකෝරළයේ අධිකරණ සංඝනායක, ගල්කිස්ස වටරප්පල පාර ධර්මායතනාධිපති ශාස්ත්‍රවේදි පණ්ඩිත අතිපූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමිපාණන් සහ කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති දක්ෂිණ ලංකාවේ උපප්‍රධාන සංඝනායක මහාචාර්ය අතිපූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි. එම පුණ්‍යෙීත්සවය ඊයේ (06) දින පෙරවරු 9.15ට යෙදුන සුභ මොහොතින් සිදු කිරීමට නියමිතව තිබුණි.

ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව දේවාල මහා විහාරය මීට වසර 47කට ප්‍රථම කුඩා පොල් අතු පැලකින් ආරම්භ කරන ලද්දකි. වර්තමාන විහාරාධිපති ඉත්තදෙමලියේ ධම්මසිරි ස්වාමීන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිපලයක් ලෙස ප්‍රදේශයේ සියලු විහාර අංගයන්ගෙන් සමන්විත අංග සම්පූර්ණ අති නවීන විහාරස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට හැකි වී ඇත.

විශේෂයෙන් ම දෙස් විදෙස් හි උසස් තනතුරුවල සේවය කරන විශාල ගිහි පැවිදි ගුණවත් නැණවත් සිසු පිරිසක් දහම්පාසල් අධ්‍යාපනය තුළින් බිහිකිරීමට මෙන් ම ආගමික, සංස්කෘතික හා සමාජිය වශයෙන් පරිපූර්ණ ජන සමාජයක් ඇතිකිරීමට විහාරාධිපති ස්වාමින් වහන්සේ මහත් මෙහෙවරක් සිදුකරන බව මොනවට පැහැදිලි වේ.

මෙම ඓතිහාසික ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ස්ථාපිත කිරීමත් සමඟ විහාරස්ථානයට නව ආලෝකයක් ලැබී ඇත. එම පින්බිම තවත් ශතවර්ෂ ගණනාවක් බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වන බව නොඅනුමාන ය.

මේ සඳහා දායකත්වය හා අනුග්‍රහය ලබා දුන් සියලු දෙනාට ම විහාරාධිපති ඉත්තදෙමලියේ ධම්මසිරි නායක ස්වාමීන් වහන්සේ පුණ්‍යානුමෝදනා කර සිටිති.