Print this Article


ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යය මළුව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යය මළුව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

 

 

විහාරාධිපති
කොබවක ධම්මින්ද නාහිමි

කතරගම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යය මළුව සැදැහැවතුන්ගේ පහසුව පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධික්ෂණය මත ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ බව කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියෝ ප්‍රකාශ කරති.

බුදුන් වහන්සේගේ පා පහස ලද ඓතිහාසික කිරිවෙහෙර සෑ මළුව වසර 2800 කට වඩා පැරැණි ප්‍රෞඬ ඉතිහාසයක් ඇති පූජනීය සිද්ධස්ථානයකි. රජ සමයෙන් පසුව බොහෝ කාලයක් ඝන කැලෑවෙන් වැසී තිබී මීට වසර 60කට පමණ පෙර නැවත කිරිවෙහෙර චෛත්‍යය හා එහි මළුව ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇති බව විහාර ඉතිහාසයේ සඳහන් වන්නේ යැයි ධම්මින්ද නාහිමියෝ කියති.

දහස් සංඛ්‍යාත බැතිමතුන් සෑම පොහෝ දිනකම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යය මළුවේ පෙහෙවස් සමාදන් වේ. චෛත්‍යය මළුවේ ප්‍රධාන වාහල්කඩ ඇති ප්‍රදේශයේ විවිධ හැඩැති පැතලි ගල් අතුරා ඇතත් බටහිර දෙසින් චෛත්‍යය මළුව සිමෙන්ති බදාම යොදා සකස් කර තිබී ඇති අතර ඒවා දිරාපත් වී කුහර සෑදි, පොළොවේ මතුපිට වළවල් සෑදි වර්ෂා දිනවලට වතුර පිරෙන තත්ත්වයක් පවතී. එයින් සැදැහැවතුන්ට කරදර බව විහාරාධිපති නාහිමියන් පෙන්වා දීමෙන් පසු මෙම සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

කිරිවෙහෙර චෛත්‍යය මළුවේ පැරැණි බව ආරක්ෂා වන අයුරින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මෙම සංවර්ධන කටයුතු සිදු කරන බව ද කොබවක ධම්මින්ද හිමියෝ වැඩි දුරටත් ප්‍රකාශ කරති. මේ වන විට විහාරස්ථානයේ ඉතිහාසය සහිත පුවරුව කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාව ඝන්ඨාර කුලුන ඇතුළු විහාරාංග ස්ථාපිත කර ඇති මලුව ප්‍රතිසංස්කරණය කරන බවත් මළුවෙන් ඉවත් කරන ලද සියලුම ගල් කැබලි කොටස් ඉවත් නොකරන බවත් ඒවා ආරක්ෂිතව විහාරභූමියේ තැන්පත් කරන බවත් නාහිමියෝ ප්‍රකාශ කරති. නමුත් ඇතැම් පිරිස් එම කටයුතුවලට බාධා වන පරිදි අසත්‍ය, පහත් ප්‍රචාර කිරීම ද සිදුකරන බවත් ඒවා සියල්ලම විඳ දරාගෙන සැදැහැවතුන්ගේ පහසුව සඳහා තමන් කිරි වෙහෙර චෛත්‍යය හා මළුව ඉදිරි අනාගත පරපුරට සංරක්ෂිත පූජනීය සිද්ධස්ථානයක් බවට පත් කිරීමේ කටයුතු තමන් සිදු කරන බවත් උන් වහන්සේ ප්‍රකාශ කරති.

මේ සම්බන්ධයෙන් පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් අනුර මනතුංග මහතාගෙන් කල විමසීමක දී මෙසේ කීය.

කතරගම පූජනීය සිද්ධස්ථානයේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා වන පරිදි පරණ බදාම ස්ථරය ඉවත් කොට බදාම අතුරා ඇති චෛත්‍යය මළුවේ කොටස් ඔප දැමීම සිදු කරනවා. පැතලි කලුගල් ඇල්ලීම මේ වන විට සිදුකරනවා. මේ සම්බන්ධයෙන් විවිධ අය කරන අසත්‍යය ප්‍රචාර සියල්ලම ප්‍රතික්ෂේප කරන බවත් පුරා විද්‍යා අධික්ෂණ කටයුතු අනුව චෛත්‍ය මළුවේ සංවර්ධන කටයුතු සිදු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.