Print this Article


නිර්මල බුදු දහමේ හරය ජාත්‍යන්තරයට ගෙන ගියා

නිර්මල බුදු දහමේ හරය ජාත්‍යන්තරයට ගෙන ගියා

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක සයිප්‍රස් ශ්‍රී ලංකාරාමය හා කැලණිය වේවැල්දූව ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය යන උභය විහාරාධිපති කාව්‍ය විභූෂණ ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍ය මොරවක සෝරත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

පාරිවේණික අධ්‍යාපනය නිමාකරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ශික්ෂාකාමී බහුශ්‍රැත භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් ක්‍රියා කිරීමට පසුබිම සකස් වුණ ආකාරය පැහැදිලි කරන්න අපේ හාමුදුරුවනේ,

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරලයට අයිති මොරවක කොස්ටිල්ගොඩ නමින් හඳුන්වන බොහොම සුන්දර ග්‍රාමීය පරිසරයක ජන්මෝත්පත්තිය ලැබීමට තරම් මම වාසනාවන්ත වුණා. ආගමට, දහමට ළැදිව, තුනුරුවන් කෙරෙහි බොහොම ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීමේ සංසාර පුරුද්ද පුංචි කාලයේ සිටම මා තුළ පැවතුණ ගුණාංගයක්.

ඒ වගේම සෑම පොහොය දිනකට ම අත්තම්මත් සමඟ සිල් සමාදන් වුණා. සසරේ පුරණ පාරමිතා බලය නිසා වෙන්නැති පුංචි කාලයේ සිටම පැවිදි වීමට ලොකු ආසාවක් තිබුණා. පාසලේ විදුහල්පති හාමුදුරුවන්ගේ මඟ පෙන්වීමත්, පැවිදි වන ලෙස උන්වහන්සේ කළ ඉල්ලීමත් නිසා ආදරණීය දෙමව්පියන්ගේ ආශිර්වාදය ඇතිව ගණේගොඩ පුරාණ විහාරස්ථානයට යාමට අවස්ථාව උදා වුණා.

අනතුරුව නායක හාමුදුරුවන් වහන්සේගේ සෙවණේ රැකවරණය ලබමින් උතුම් පැවිදි දිවියකට ඇවැසි මූලික බණ දහම් වත් පිළිවෙත් ඉතාම හොඳින් පුරුදු වුණා. සැදැහැති මව්පියන්ගෙන් ලැබුණු ශාසනික උරුමයත්, සංසාරයේ පුරණ පාරමිතා බලයත්, පූර්වෝකෘත පුණ්‍ය මහිමයත් අනුව 1981 වර්ෂයේ දී මොරවක සෝරත යන ශාසනික නාමයෙන් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ උත්තරීතර ප්‍රව්‍රජ්‍යාභාවය ලැබීමේ පින්බර මොහොත උදාවුණා.

අනතුරුව පුංචි සාමණේර ස්වාමින් වහන්සේ නමක් වශයෙන් වසර 2ක් පුරා ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේ සෙවණේ බණ දහම් වත්පිළිවෙත් පූරණය කළා.

පන්සල් සංස්කෘතියේ එහෙම අධ්‍යාපන ක්‍රමයක් තිබෙනවා. පසුව ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගැනීම සඳහා 1983 වර්ෂයේ දී ගාල්ල ශ්‍රී රේවත විද්‍යායතන පිරිවෙනට ඇතුළත් වුණා. පරිවේණාධිපති ගෞරවණීය අහංගම මංගල නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු සුපේශල ශික්ෂාකාමී ශාස්ත්‍රඥයන් වහන්සේලා යටතේ ශාස්ත්‍රෝන්නතිකාමීත්වයෙන් යුතුව සාර්ථක භික්ෂු අධ්‍යාපනයක් ලබාගෙන 1987 වර්ෂයේ දී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගත්තා. ඒත් 1988,1989 වර්ෂවල රටේ පැවැති කලබලකාරී වාතාවරණය නිසා 1990 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තා.

ඒ වගේම මාගේ පැවිදි පින්කමේදීත්, උපසම්පදා පුණ්‍යෙීත්සවයේදීත් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ වශයෙන් කටයුතු කළ පූජ්‍ය දෙල්ලව සුසීල නායක හිමිපාණන් වහන්සේ, සාහිත්‍යසූරී නිවන්දම ශී‍්‍ර ධර්මකීර්ති නායක හිමිපාණන් වහන්සේ, පුණ්‍යානුමෝදනා පූර්වකව ගෞරවයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි. ඒ නිවැරැදි ශාසනික ප්‍රතිපදාව අනුගමනය කළ සුපේශල ශික්ෂාකාමී අර්ථචර්යාවෙහි පිළිපත් සංඝසෝභන ගුණාංගයන්ගෙන් සම්භාවනාවට පාත්‍ර වූ සංඝ නේතෘන් වහන්සේලාගේ සෙවණේ කටයුතු කිරීම නිසාම භික්ෂු ආකල්පයන්ගෙන් සෝභමාන භික්ෂු ජීවිතයක් ගොඩනැඟීමේ මූලික පසුබිම සකස් වුණා.

සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක ධුරය හොබවමින් දෙස් විදෙස් කීර්තිධර ස්වාමීන් වහන්සේ නමක් ලෙස වැඩ සිටින ඔබ වහන්සේ ජාතික, ආගමික, ශාසනික, ධර්ම දූතමය වශයෙන් සිදුකරන සේවය මොන වගේද, නායක හාමුදුරුවනේ.

මම පුංචි කාලයේ සිටම කලාවට තිබුණ ළැදියාව පැවිදි බිමට පත් වුණාට පසුවත් එලෙසම පැවතුණා, එනිසාම කාව්‍යමය ධර්ම දේශකයන් වහන්සේ නමක් හැටියට මා රට පුරාම ප්‍රසිද්ධ වුණේ. ඒ කාල පරිච්ඡේදයේ දී ම ධර්මදූත ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ආසියාතික රටවල් ගණනාවකටත් වැඩම කළා.

යුරෝපයේ වැඩ සිටින වල්පොළ කල්‍යාණතිස්ස නායක හාමුදුරුවන්ගේ ආරාධනාව අනුව මම ස්විට්සර්ලන්තයට වැඩම කරමින් උන්වහන්සේගේ ආශිර්වාදය මත බොහෝ කාලයක් එම විහාරස්ථානවල ආගමික කටයුතු සිදු කළා. ඒ කාල පරිච්ඡේදයේ දී ම ලැබුණු ආරාධනාවකට අනුව සයිප්‍රසයට වැඩම කිරීමට සිදු වුණා. ශ්‍රී ලාංකිකයන් 18000ක් පමණ සයිප්‍රස්වල සේවය කරනවා. ඔවුන්ගේ ආගමික කටයුතු සිදු කරන ගමන් නිර්මල ථෙරවාදී බුදුදහම ජාත්‍යන්තර ජනතාව වෙත සමීප කරවීමට කටයුතු කළා.

ඒ වගේම මගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලාංකිකයන් එක්ව ශ්‍රී ලංකා බෞද්ධ සංගමයක් පිහිටුවා ගනු ලැබුවා.

එම ශ්‍රී ලංකා බෞද්ධ සංගමය විසින් ශ්‍රී ලංකාරාමය නමින් විහාරස්ථානයක් ආරම්භ කරමින් මා වෙත භාරදීමට කටයුතු කළා. සෑම පොහොය දිනකම සීල භාවනා වැඩසටහන් පවත්වනු ලබනවා. සෑම ඉරුදිනකම පවත්වනු ලබන ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගි වෙනවා. ඒ වගේම මානසික පීඩනය දුරුකරලීමට ලබා දෙන උපදේශන සේවයට ඉහළ වටිනාකමක් ලැබිල තිබෙනවා.

වෙසක් පොහොය පින්කම්, කඨින පින්කම් ඉතාම හොඳින් සිදුකරන ගමන් ලංකාවට වැදගත් වන විශේෂිත දින මාතෘභූමියේ ගුණ සුවඳ ඔවුන්ට දැනෙන ආකාරයට සමරනු ලබනවා.

මහගෙදර තිබුණ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත්ව උඩරට, පහතරට, නර්තන සම්ප්‍රදායන්, රබන් සුරල්, ඔන්චිලි වාරම් සමඟ අංග සම්පූර්ණ අවුරුදු ගම්මානයක් පන්සල මූලික කරගෙන පවත්වනු ලබනවා. ඒ වගේම යටත් විජිත යුගයේ නිදහස් අරගල කළ මිනිසුන්ගේ ගුණ සුවඳ නූතන තරුණ පරපුරට දැනෙන ආකාරයට නිදහස් දිනය සමරනු ලබනවා.

ධර්මදූත ස්වාමින් වහන්සේ නමක් වශයෙන් නිර්මල බුදු දහමේ හරය යුරෝපීය ජන ජීවිතයට මුසු කරන ගමන් අපේ සංස්කෘතික හරපද්ධතීන් ආරක්ෂා කරමින් එම සංස්කෘතික වටිනාකම ඔවුන් වෙත ඥානණය වීමට අවස්ථාව ලබා දෙනවා.

ඒ වගේම කැලණිය වේවැල්දූව ශි‍්‍ර නාගරුක්ඛාරාම විහාරස්ථානය සියලු විහාරාරාංගයන්ගෙන් සමලංකෘත දර්ශනීය විහාරස්ථානයක් බවට පත්කරමින් ප්‍රදේශයේ ජනතාවගේ දෙලොව යහපත අභිවෘද්ධිය පිණිස කටයුතු කරනවා.

ජාතික සහ ජාත්‍යන්තරව සිදු කරන ජාතික, ආගමික, ශාසනික සේවය ඇගයීමට ලක් කළ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක මා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබීමට කටයුතු කළ බවත් ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් අධ්‍යාපනික හා සමාජීය ප්‍රශ්න හමුවේ නිවැරැදි නායකත්වයක් සැපයු ඔබවහන්සේ නූතන සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් පිළිබඳ දරන මතවාදය සඳහන් කරමින් අපේ සාකච්ඡාව අවසන් කරමු නායක හාමුදුරුවනේ,

විද්‍යාලංකාර පිරිවෙනින් ආරම්භ කළ විශ්වවිද්‍යාලයක් හැටියට භික්ෂූන් වහන්සේලාගේ සංවිධාන ව්‍යුහයක් අවශ්‍ය කළ නිසා සියලු දෙනාගේම යහපත උදෙසා ශිෂ්‍ය සංගමයක් ආරම්භ කළා. වසර 2ක් සභාපති වශයෙන් කටයුතු කළා වගේම සියලු දෙනාගේම කැමැත්තෙන් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බවටත් පත්වුණා. එහිදී භික්ෂූත්වයේ ගෞරව ආරක්ෂා කර ගෙන නිවැරැදි නායකත්වයක් ලබා දෙමින් ශිෂ්‍ය ප්‍රජාවගේ සාධාරණ අයිතීන් දිනා දීමට යහපත් ලෙස කටයුතු කළා.

ශිෂ්‍යත්ව අහිමි වූවන්ට ශිෂ්‍යත්වය ලබා දීමට කටයුතු කළා. කවි සංසදයක් ආරම්භ කළා වගේම කලා උළෙල පැවැත්වූවා. සිංහල සංගමය බිහිවුණා. සෑම අධ්‍යයන අංශයක ම සඟරා බිහිවුණා. ශිෂ්‍ය සංගමේ සභාපති වශයෙන් "චින්තක" සඟරාව නැවත ආරම්භ කළා. භික්ෂූත්වයේ ගෞරවය ආරක්ෂා කරගෙන සියලු දෙනාගේ ම යහපත වෙනුවෙන් ලබා දුන් ආදර්ශවත් නායකත්වය වෙනුවෙන් විශ්වවිද්‍යාල පරිපාලනය, අධ්‍යයන, අනධ්‍යයන, කර්යමණ්ඩලය වගේම ශිෂ්‍ය ප්‍රජාව ඒකරාශීව මම වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත් වූවා. ශිෂ්‍යයෙක් ලෙස උපහාර ලබන්න ඇත්තේ මම විතරක් වෙන්නැති කියලත් මට හිතෙනවා. අපි ආදර්ශවත් නායකත්වයක් ලබා දුන්න නිසා අදටත් අපට සතුටු වෙන්න පුළුවන්.

ඉතින් අපි කුමන ස්ථානයක හිටියත් භික්ෂුවක් කියන අවබෝධය අප තුළ තිබෙන්න ඕනේ. අපි විශාල සංඝ සංස්ථාවක් නියෝජනය කරන නිසා, පුද්ගලික චරිතයක් ලෙස හැසිරෙන්න අයිතියක් නැහැ. ජාතියේ මුරදේවතාවුන් වහන්සේ ලෙස හාමුදුරුවරු හඳුන්වනු ලැබුවේත් හැම අභියෝගක දී ම ජාතියට, දේශයට, පුරෝගාමීව රටේ නිදහස වෙනුවෙන් නායකත්වය සැපයූ නිසයි. ඒක අවශ්‍ය වුණත්, ඒ කාරණයට යොමු වීමේ දී බෞද්ධ භික්ෂුවක් ලෙස අපට භික්ෂූත්වය අමතක කරන්න බැහැ. භික්ෂූත්වය අමතක කරල සාමාන්‍ය ශිෂ්‍ය ප්‍රජාව ලෙස කටයුතු කරන්න ගියොත් සිවුරටත් මුළු සංඝ සංස්ථාවටත්, අගෞරවයක් ඇති වන නිසා අපි දිනා ගන්නා ප්‍රතිලාභයට වඩා අපිට අහිමිවන දෙය විශාලයි. සිදුවන හානිය බරපතළයි.බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා දර්ශන මාත්‍රයෙන් ම නොපහන් සිත් පහන්වන ආකාරයටත් පහන් වූ සිත් සුපහන් වන ආකාරයටත් කටයුතු කිරීම වැදගත්.