Print this Article


සාමයෙන් ජීවත් වන්න තමන් උපමාවට ගෙන අනුන් ගැන සිතන්න

සාමයෙන් ජීවත් වන්න තමන් උපමාවට ගෙන අනුන් ගැන සිතන්න

අතිපූජ්‍ය අත්තුඩාවේ සිරි රාහුල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

ආර්ය සංස්කෘතිය, නැති නම් බ්‍රාහ්මණ සංස්කෘතිය භාරතයේ පැතිරයත්ම බ්‍රාහ්මණ ප්‍රභූත්ත්වය ද දියුණු වී ගියේ ය. එහෙයින් සියලු කාර්යයෙහි ප්‍රමුඛත්වය බ්‍රාහ්මණයාට ම හිමි විය. බ්‍රාහ්මණ ඉගැන්වීම් ඔස්සේ ඔවුන් අතර චතුර් වර්ණයක් හෙවත් කුල හතරක් දැක්ක හැකි ය. මේ කුල භේදයේ ආරම්භය ආර්ය, අනාර්ය භේදය පදනම් කොට ඇත්තෙකි.

උපනිවෙෂීන් හැටියට ඉන්දියාවට පැමිණි ආර්යයෝ එහි ස්වදේශිකයන් යටපත් කොට තමන්ගේ බලය තහවුරු කර ගත්හ. ආර්යයන් බලයට පත් වූ අතර, යටත් වූ ස්වදේශිකයන් දාසියන් හැටියට සලකා ඔවුන් “දස්‍යු” නාමයෙන් හැඳින්වූහ. මේ තත්ත්වය පිළිබඳ මහාචාර්ය රැප්සන් මහත්මා මෙසේ සඳහන් කරයි.

ජය ගත් මිනිසාත් පැරැදුණු මිනිසාත්, අතර ප්‍රාථමික භේදය ප්‍රකට ව පෙනෙන්නට වූයේ වර්ණයෙනි. එහෙයින් සංස්කෘත වර්ණ ශබ්දය කුලය හා පාට යන දෙකට ම සාධාරණ ව යොදා ඇත. මෙසේ භාරතීය සමාජයේ මුලින් ම දක්නට ඇත්තේ වර්ණ භේදය යි.

මුල් යුගයේ ආර්යයන් අතර යම් යම් ගෝත්‍ර භේදාදියක් තිබුණ ද, නැත ද ඔවුන් අතර මහත් සමගියක් තිබිණ. එක ම සංවිධානයක සාමාජිකයන් වශයෙන් ඔවුහු ජීවත් වූහ. සමාජයේ දියුණුවත්, ආර්යයන් ගේ ව්‍යාප්තියත් සමඟ ම සාමාජික අවශ්‍යතාවයන් ඔස්සේ ඔවුනොවුන්ගේ ජීවනෝපායනට අනුරූපව කොටස් වන්නට විය. එහෙයින් පූජකයා බ්‍රාහ්මණයා වූ අතර, පාලකයා ක්ෂත්‍රියයා විය. කෘෂි වණිග් ආදී කර්මාන්තයන්හි යෙදුණෝ වෛශ්‍යයෝ වූහ. මුල් යුගයෙහි දී දස්‍යුන් හැටියට සැලකූවන් ශුද්‍ර නාමයෙන් හඳුන්වන්නට විය.

මෙසේ එදා සමාජයේ වුවමනාවන් අනුව හැඩ ගැසුණු සමාජයීය ආයතනයක් වූ කුල භේදය බුද්ධකාලීන සමාජයේ දී අමුතුම මුහුණුවරකින් දක්නට ලැබේ.

සමාජය දියුණුවත් ම කුල භේදය ද දියුණු තියුණු විය. සමාජයේ ඒ ඒ කර්තව්‍යයන්හි යෙදුනවුන් ද උස් පහත් වශයෙන් සලකන්නට ඇතැයි සිතීමට තුඩු දෙන්නකි. “හීනසිප්ප” යන වචනය, එදා සමාජයේ ඇතැම් දේ පිළිබඳ යම් යම් සම්මතයන් තිබූ අතර, ඒවායින් පහත් සේ සම්මත ක්‍රියාවන්හි යෙදුණු අයවලුන් පහත් කොට සලකන්නට ඇත.

බුද්ධ කාලීන සමාජයේ කුලභේදය මිනිසාගේ පීඩනයට කරුණෙක් විය. සෙසු කුලවල අය බ්‍රාහ්මණ ආධිපත්‍යයෙන් මිරිකී සිටි බැව් පෙනේ. එහෙයින් ම බුදුන් වහන්සේ උත්පත්තියෙන් ම බ්‍රාහ්මණයෙක් නො වන්නේ යැයි දක්වමින් බ්‍රාහ්මණ වාදයට පහර ගැසූහ.

එහෙයින් කවර වංශයක වුව ද රහතන් වහන්සේ ම ශ්‍රේෂ්ඨ බව දැක්වූහ. ගුණ ධර්මයට, සදාචාරයට මුල් තැන දුන් හ. සමාජයේ බලපැවැත් වූ චතුර් වර්ණය වෙනුවට උන් වහන්සේ අලුත් සිව් පිරිසක් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා නමින් ඉදිරිපත් කළහ. එහෙයින් ශාසනය තුළ කුල වාදයට ඉඩක් නො වී ය. ඵසූකාරී සූත්‍රයෙහි දී,

“ඛත්තිය කුලාචෙපි අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච තථාගතප්පවෙදිතං ධම්ම විනයං ආගම්ම පාණාතිපාතා පටිවිරතො හොති, පෙ ධම්මං කුසලං බ්‍රාහ්මණ කුලාචෙපි. පෙ, වෙස්ස කුලාචෙපි සුද්ද කුලාචෙපි ධම්මං කුසලං”

යන්නෙන් සදාචාරාත්මක වශයෙන් උන්වහන්සේ සැලකූහ.

මධුර සූත්‍රයෙහි දී ද කුලය අභ්‍යන්තර දියුණුව සඳහා කිසිවක් නො කරන දෙයක් සේ සඳහන් කොට ඇත. ගංගා, යමුනා. අචිරවතී ආදි ගංගාවන්ගේ ජලය සියල්ල මහ මුහුදෙහි දී එක් වන්නා සේ නොයෙක් කුලයෙන් පැවිදි වූවෝ ශාසනයෙහි එක සමාන බවට පත් වෙතියි වදාළහ.

භික්ෂුන් වහන්සේගේ පොදු බව භික්ෂු ජීවිතයේ කැපී පෙනෙනම ලක්ෂණයකි. භික්ෂාවෙහි හැසිරුණු බුදුන් වහන්සේ මෙන් ම ශ්‍රාවකයෝ ද සපදාන චාරිකාවෙහි හැසිරුණහ. ගෙපිළිවෙළින් වඩින විට රජ ගෙදරත්, දුගී පැලත්, සැඬොල් නිවෙසත් එක් පරිදි විය. මෙයිනුදු භික්ෂු ජීවිතයේ සමානාත්මතාවපැහැදිලි වෙයි.

භික්ෂූන්ගේ සමගිතාව වර්ණනය කරන්නේ සම්මොදමානා අවිවදමානා ඛිරෝදකීභූතා යන පදවලිනි. මෙසේ සමගිව, පී‍්‍රතිව මහත් බැඳීමකින් යුතුව වසන්නට පදනම වූයේ ද සමානාත්මතාවයි.

ධර්ම දේශනයෙහි දී උපකාර කැරැ ගත් උපමාවන් අතර වූ ආත්මොපමාව ද සමානාත්මතාව ද මතු කැරැ පෙන්වන්නකි. තමා ම උපමාවට ගෙන, අනුන් ද තමා මෙන් ම සලකන්නට හිතන්නට සලස්වන විට සැමදෙනා කෙරෙහිම එකාකාර හැඟීමක් මෙන් ම එකාකාර පැවැත්මක් ද ඇති වෙයි. තෙමේ දුකට අකමැති වන්නාක් මෙන්, සැපට කැමැති වන්නාක් මෙන් අන්‍යයන් ද එසේ යැයි සිතන්නට හුරුපුරුදු වත් ම අන්‍යෝන්‍ය අවබෝධයත්, සහයෝගයත් නිසා සමානාත්මතාව ද දියුණු වෙයි.

සිව් සඟරාවතෙහි දී සිව්වැනි කරුණ වශයෙන් සමානාත්මතාව දැක්වූහ. දානය එහි පළමුවැන්නයි. දානයෙන් අදහස් කැරෙන්නේ අනුන්ගේ හිත සුව පිණිස ස්වකීය ධනය යෙදවීමයි. තමා මෙන්ම අනික් තැනැත්තේ ද සුවයට පැමිණවීම එහි පරමාර්ථයයි.

ලෝකයේ විවිධත්වයට, අසමානත්වයට හේතුව වශයෙන් බුදුදහම දක්වන්නේ ලෝභ, ද්වේෂ, මෝහයන් ය.

ලෝකයේ ඇති ධන සම්පත් සෑම දෙනාහට ම පොදු ය. සාධාරණ ය. තමන්ගේ ප්‍රමාණයට වඩා, අයිතියට වඩා, යම් කිසිවෙක් ගනී නම් අනෙක් අයගේ කොටස් අඩු වීම නො වැළැක්විය හැකි ය. එහෙයින් පිරිසකට වුවමනාවට වඩා ඇති අතර, සෙස්සන්ට වුවමනා ප්‍රමාණයවත් නො ලැබීයයි. එවිට ඊට හේතු වූයේ කුමක්දැයි විමසන විට පැහැදිලි වන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැනීමට පුද්ගලයා පෙලඹවූයේ කුමක්ද යන්නයි. එවිට ලැබෙන පිළිතුර කුමක්ද ආශාව යන්නයි.

මෙසේ සියලුම සාමාජික අරගලයනට. අසහනයනට මෙන් ම සමාජයේ විෂමත්වයට ද මේ ලෝභ, ද්වේෂ, මෝහයන් තුඩු දී ඇති සැටි විමසා දත හැකි ය.

බුදු දහම මේ තුනම බලවත් අකුසල් හැටියට සැලකීමෙන් සාධාරණ අයිතිය සෑම මිනිසකුට ම හිමි බව පිළි ගනියි. එහෙයින් සෑම තැනැත්තා ම සමාජයේ අවයවයක් වන අතර සෑම දෙනාගේ ම එකතුවෙන් සහයෝගයෙන් සමාජය පැවැත්ත යුතුයැ යි පිළිගනී.

එහෙයින් සැම දෙනාගේ අයිතිවාසිකම් සමාන බවත්, සාධාරණ බවත් දකී. එවැනි ඉගැන්වීම් ඔස්සේ බිහි වන සමාජයක සාධාරණතාව රජයන අතර සමානාත්මතාව තහවුරු වෙයි.

“සබ්බේතසන්ති දණ්ඩස්ස, සබ්බේ භායන්ති මච්චුනො”

සියල්ලෝ ම දඬුවමට බිය වෙතියි දැක්වීමෙන් ජීවත් වීමේ පරමාර්ථය මෙන් ම දුක් නොවිඳීමේ අදහස ද සැම දෙනාගේ පොදු පරමාර්ථය බව පෙන්වා ඇත. සිඟාලෝවාද සූත්‍රයෙහි දී සමාජයේ ඔවුනොවුන්ගේ සම්බන්ධතාව රැක ගත හැක්කේ කෙසේ ද, දියුණු කළ යුත්තේ කෙසේ දැයි විවරණය කොට ඇත. එයද සමාජයේ සමානාත්මතාව දියුණු කිරීමට කළ උත්සාහයකි.

බුදුන් වහන්සේ කුල භේදය තබා සමාජයේ තනතුරු භේදයවත් නොසැලකූහ. ශාක්‍ය කුමාරයන් සමූහයක් සමඟ පැවිදි වූ උපාලි කපුවා මුලින් ම මහණ කිරීමෙන් ආදර්ශයක් දුන්හ.

බින්දුසාර, කෝසල, අජාතසත්ත වැනි රජවරුන් අතර පුණ්ණ දුගියා, එකසාටක බමුණු වැනි දුගියෝ විශේෂ තැනක් ගත් හ.

සෝපාක සුනීත වැනි පහත් යැයි සම්මත කුලවල පැවිදි වූවෝ රහත් බවින් සැනසුණේ වූහ. භික්ෂුණී ශාසනය ඇති කිරීමෙන් පසු කාන්තාවනට ද පැවිදි වීමේ අවස්ථාව සැලසිණි.

“යස්ස ඵතාදිසං යානං
ඉත්ථියා පුරිසස්සවා
සවෙ එතෙන යානෙන
නිප්පාණස්ස සන්තිකෙ”

යන්නෙන් ස්ත්‍රියක හෝ වේවා, පුරුෂයකු හෝ වේවා ගුණගරුක වූයේ, සත්‍යය අවබෝධ කරන්නේ යැයි උන් වහන්සේ වදාළහ.

භික්ෂුණී ශාසනයට ඇතුළත්වූ බොහෝ දෙනා අතර ඉතාමත් දුගී අය වූහ. අම්බපාලී, විමලා ආදි ගණිකාවෝ ද ඒ අය අතර වූහ.

සමාජයේ කවර මිණුම් දණ්ඩෙන් මිණුව ද උන්වහන්සේ සෑම කෙනෙක් ම එක හා සමාන කොට සැලකූහ.