Print this Article


ගෞරවය රැකෙන ලෙස දරුවන් හසුරුවන්න

ගෞරවය රැකෙන ලෙස දරුවන් හසුරුවන්න

පවුල් සංස්ථාවේ උසස්ම සම්බන්ධය මව්පිය දූදරු සම්බන්ධයයි. එය යුතුකමක්, වගකීමක්, අයිතිවාසිකමක් වශයෙන් එකිනෙකට බැඳී පවතී.

මවුපියන්ට සැලකීම දරුවන්ගේ යුතුකමක්, වගකීමක් වන අතර, එය ලබා ගැනීමට අයිතියක් මවුපියන්ට ඇත.

දරුවන්ට සැලකීම මවුපියන්ගේ යුතුකමක්, වගකීමක් වන අතර, දරුවන්ට එය ලබා ගැනීමට අයිතියක් ඇත.

දරුවන්ගේ අවශ්‍යතා කුඩා කාලයේ සිටම සපුරන්නේ මවුපියන් විසිනි. දරුවන්ට ඒවා දීමට අසල්වාසින් බැඳී නොසිටින බැවින් අසල්වාසීන්ගෙන් ඒවා ඉල්ලීමට ද නොහැකි ය. මව්පියන්ගෙන් ම ඉල්ලන අතර, ඔවුන්ම එය සපුරාලිය යුතු ය. එසේ වන්නේ ඒ සඳහා යුතුකම් අයිතිවාසිකම් හා වගකීම්වලින් ඒ දෙපක්ෂයට පැන යා නොහැකි අන්දමින් ඔවුනොවුන් බැඳී පවතින නිසා ය.

දස මාසයක් කුස දරා, ලේ කිරි කර පොවන අම්මාත්, සියලු දුක සැප සොයා බලමින් අවශ්‍යතා සපුරාලමින් වර්ධනය කරන තාත්තාත් හැර උතුම් වස්තූන් දෙකක් දරුවන්ට ලොව නැත. දරුවන් වෙනුවෙන් මවුපියන් තුළ ඇතිවන ආදර සෙනෙහස තරම් බන්ධනයක් තවත් නැත.

ගත පුරා දිවයන රක්ත වර්ණ රුධිරය සුදුවන් කිරට හැරෙන්නේ ඒ නිසා ය. තමා නොකා නොබී, සියලු සැප පහසුකම් තම දරුවාගේ පා දූවිල්ලක් බවට පත්කොට දිවි නොතකා දරුවන් ආදරයෙන් සොයා බලමින් හදා වඩා ගන්නේ දරු සෙනෙහස නිසාම ය.

ගෞතම බුදුරජාණන් වහන්සේ මුල්වරට බුදු බව පැතුවේ සිය මව නිසා ය. නැඟී ගිය නැව විනාශ වූ තැන ලෑල්ලක් මත නැඟුණු මහ බෝසතාණන් වහන්සේ මව කරපිට තබාගෙන ගොඩබිමක්, තෙරක් නොපෙනෙන මහ සයුරේ දින හතක් නිරාහාරව පිහිනූ බව මාතුපෝසක ජාතක කථාවේ දැක්වේ.

මවු සෙනෙහසේ බලමහිමයෙන්, දෙවියන්ගේ ආධාරයෙන් ගොඩබිමට ආ විගසම ආදරයෙන් උතුරාගිය අම්මා ආසිරි පැතුවේ ලොව්තුරා බුදු බව ම ලැබේවා කියා ය. “පුතේ උඹ බුදුවෙයන්” කියා කී ඒ වචනය බුදු බව පිණිස කළ මුල්ම ප්‍රාර්ථනාව විය. දරුවන් හා මවුපියන් අතර පවත්නා ආදරය, බැඳීම මෙයින් මැනවින් පිළිබිඹු වේ.

දරුවන් ජීවිතයට හුරුකරවීමේ මූලික පාඩම උගන්වන්නේ මවුපියන් ය. කන, බොන, අඳින පළඳින කතා බස් කරන හැටි දරුවන්ට කියා දෙන්නේත්, හොඳ නරක දැනමුතුකම් උගන්වන්නේත්, නෑ හිතමිතුරන්ට හඳුන්වා දී සමාජයට හුරු කරන්නේත් මවුපියන් විසිනි. ඒ නිසා මවුපියන් “පුබ්බාචරිය” නමින් හඳුන්වයි. පූර්වාචර්ය හෙවත් මුල්ම ගුරුවරු යනු එහි අර්ථයයි.

“මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා” යන සතරවිධ මනෝභාවයන් මහ බ්‍රහ්ම ප්‍රජාව දෙස යොමු කරයි. මේවා සිව්බඹ විහරණ නමින් හඳුන්වයි. දරුවන් වෙනුවෙන් මවුපියන් තුළ ද මේ සිව්බඹ විහරණය අඛණ්ඩව පවතින බව සිඟාලෝවාද සූත්‍රයේ දැක්වේ. මේ නිසා මවුපියන් දරුවන්ට බ්‍රහ්මයකු වැනි ය. “බ්‍රහ්මාති මාතා පිතරෝ”

දක්ෂිණාව පිරිනැමීමට නියම සුදුස්සෝ නම් බුදු, පසේබුදු, මහරහත් ආදි කෙලෙස් නැසූ උත්තමයන් ය. දරුවන් දෙන දක්ෂිණාව පිළිගැනීමට මවුපියන් සුදුසු බව දේශනා කරන බුදුරජාණන් වහන්සේ මවුපියන් “දක්ඛිණෙය්‍ය” යන වචනයෙන් හඳුන්වන අතර, ඒ කාර්යයේ දී මවුපියන් බුද්ධාදී උතුමන්ගේ තත්ත්වයට පත් කරයි.

මවුපියන්ගේ ශ්‍රේෂ්ඨ බව තේරුම් ගැනීමට වඩාත් වැදගත් වන කරුණක් තිබේ. සාමාන්‍යයෙන් මනුෂ්‍යයකු මැරීම අකුසල කර්මයකි.

දරුවන් වෙනුවෙන් ලොව ඇති බරපතළ ම අකුසල කර්මය බවට මව්පියන් මැරීම ආනන්තරීය පාපයක් ලෙස දක්වා ඇත. මියගිය මොහොතේම අවීචි නිරයේ උපත ලබන්නට සිදු වෙයි. ආනන්තරීය පාපකර්ම පහක් පෙන්වන බුදුසමය නියත වශයෙන්ම එහි විපාකය ඊළඟ භවයේ දී අපාගතවීම වන අතර, එය වැළැක්වීමට බුදුවරයකුටත් කළ නොහැකි මහත් ගත අකුසල කර්මයකි.

මෙවන් ශ්‍රේෂ්ඨත්වයට පත් මවුපියන්ට දරුවන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් පහක් සිඟාලෝවාද සූත්‍රයේ පෙන්වා දී ඇත. එම යුතුකම් ඉටුකිරීමට දරුවන් බැඳී සිටින අතර, ඒවා ලබා ගැනීමේ අයිතිය මවුපියන්ට ඇත.

වයස්ගත මවුපියන් පෝෂණය කොට රැක ගැනීම, මවුපියන්ගේ සියලු අවශ්‍යතා කටයුතු ඉටුකිරීම, කුල පරපුර පවත්වා ගෙන යාම, දායාද රැක ගැනීම, මවුපියන් මියගිය පසු පින් අනුමෝදන් කිරීම,

මවුපියන්ට මෙම යුතුකම් ඉටුකිරීමට මානව ධර්මයෙන් මෙන්ම නීතියෙන් ද දරුවෝ බැඳී සිටිති. ඒවා දරුවන්ගෙන් ලබා ගැනීමට අයිතියක් මවුපියන්ට ද ඇත. කුඩා කාලයේ සිට කවා පොවා රැකගෙන උගන්වා හොඳ පුරවැසියන් කර ආවාහ විවාහාදිය ද සිදුකර දුන් මවුපියන් වයස්ගත වූ පසු රැකබලා ගැනීමේ විශේෂ අයිතියක් දරුවන්ට ඇත.

දරුවන්ගෙන් සැලකිලි වන්දනාමාන ගෞරව ලබන්නට හැකිවන පරිදි මවුපියෝ සුදුස්සන් විය යුතු ය. මාතෘත්වයේ සහ පීතෘත්වයේ ගෞරවය රැකෙන පරිදි පැවැත්ම සකසා ගත යුතු ය. දරුවන් මෙලොවට බිහිකළ පමණින් කවා පොවා හදාගත් පමණින් එය සම්පූර්ණ නොවේ. මව්පියන් ඊට වඩා වැඩිමනක් දෙයක් කළ යුතුව ඇත.

දරුවන් පාපයෙන් වැළැක්වීම, දරුවන් යහපතෙහි යෙදවීම, දරුවන්ට ඉගැන්වීම, සුදුසුම කාලයේ ආවාහ විවාහ කරදීම හා තමනට අයත් ධනය සම්පත් දායාද නිසි කල නිසි ලෙස පවරා දීම බුදු සමය පෙන්වා දී ඇත.

මවුපියන් කෙරෙහි දරුවන් විසින් පිළිපැදිය යුතු පිළිවෙළ දහමේ දක්වා තිබේ.

මව්පියන්ට දරුවන් නමස්කාර කළ යුතු ය. ආහාරපාන, සයන ආදියෙන් ද ඇඟ ඉලීමෙන්, නෑවීමෙන් පා සේදීමෙන් සත්කාර කළ යුතුය.

මව්පියන් දරුවන්ට කළ උපකාර ලෝකයේ කිසිවකු කර නැති බැවින් දරුවන් මවුපියන්ට ණයකාරයෝ ය. එම ණයින් නිදහස්වීම එතරම් පහසු ද නැත. එම ණයෙන් යම් පමණින් නිදහස් වීමට නම් දරුවන් මවුපියන් ශ්‍රද්ධා සම්පත්තියෙහි සීල සම්පත්තියෙහි, ත්‍යාග සම්පත්තියෙහි, ප්‍රඥා සම්පත්තියෙහි පිහිටුවා ප්‍රත්‍යුපකාර කළ යුතු ම ය. මව්පියන් ළඟ යම්කිසි අඩුපාඩුවක් වරදක් ඇතිනම් දරුවන් ඒවා ඉවසීමෙන් මව්පියන්ට සත්කාර කළ යුතු ය.

යමකු මව, පියා ධර්මයෙන් පෝෂණය කරයි ද, ආහාරපානාදියෙන් පෝෂණය කරයි ද, ඔවුන් විසින් කළ යුත්තක් පැමිණි කල්හි එය තමාම කර දෙයි ද, අසනීපයක දී බෙහෙතින් උපස්ථාන කරයි ද,

හෙතෙම මෙලොව දී ම සමාජයේ ප්‍රශංසා ලබයි. ගෞරවය ලබයි. මරණින් මතු දෙව්ලොව ඉපිද දිව සැපතින් සතුටු වෙයි.

යමකු මවුපියන්ට උපස්ථාන කිරීමට පුළුවන්කම තිබියදීත් උපස්ථාන නොකර සිටී නම්, එම දරුවන් මෙලොව පරලොව පරිහාණිය වැළඳගත්තෝ වෙති. මවුපියන්ට සැලකීම මංගල කරුණු අතරින් එකක් වන අතර, එය සතර අපායට ගමන් කරන මඟ වළක්වන කරුණක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. හොඳ දරුවකු තැනීම දරුවාටත්, මව්පියන්ටත් සෙසු ලෝකයටත් යහපත පිණිසම පවතින්නේ ය.