Print this Article


පණ සේ රැකිය යුතු වුව සිතු සේ මඟහරින මඟහැරෙන ගුණ ධර්ම ...

පණ සේ රැකිය යුතු වුව සිතු සේ මඟහරින මඟහැරෙන ගුණ ධර්ම ...

සරල දිවි පැවැත්මත්, ගමේ පන්සලෙන් ලැබුණු මඟ පෙන්වීමත් එදා ජීවත් වූ මිනිසුන් පොහොසතුන් කළා. අද ගමට පන්සල ඈත් වී ඇතුවාක් මෙන් ම ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කියන සුන්දර වචන පොතපතට පමණක් සීමා වී තිබෙනවා. ධර්මයේ රැකවරණයෙන් රැක ගත් සොඳුරු ගුණධර්ම නූතන සමාජයට වටින්නේ නැහැ.

අප බෝසතාණන් වහන්සේ ගුරු උපදේශ නැතුව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට දෙව් මිනිසුන්ට දුකෙන් නිදහස්වීමට ධර්මය දේශනා කොට වදාළා. ඒ ධර්මය අවබෝධ කර ගත් බොහෝ ශ්‍රාවකයන් නිකෙලෙස් වුණා.

මේ දුර්ලභ සම්බුදු සසුනේ සැබෑම ශ්‍රාවකයන් අද ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. දියුණුව කරා ඉතා වේගයෙන් දුවන ලෝකයේ ගුªණධර්ම ඊටත් වඩා වේගයෙන් පිරිහී යමින් පවතී. අසන්නට දකින්නට ලැබෙන බොහෝ සිදුවීම්වලින් පෙනී යන්නේ මිනිසුන් මේ වන විට මනුස්සකම පවා අහිමි කරගෙන ඇති බවයි.

අද මිනිසුන් දියුණුයි කියමින් මිනිස් හදවතේ අතිකරගෙන සිටින මිනුම් ඒකකය කුමක් ද? මහා උසට ගොඩනැඟෙන පවුරු ප්‍රාකාර, නැතිනම් මිනිස් සිතට සමාන ව ම දියුණු කර ඇති බව කියන ඇතැම් තාක්ෂණ උපකරණ, ඉර හඳ කරා ගමන් කිරීම ආදී දේ ද? මෙසේ යාන්ත්‍රික වූ මිනිසා තුළින් වේගයෙන් ගිලිහී යන්නේ ගුණ ධර්ම යි.

රාග, ද්වේෂ, මෝහ කෙලෙස් මත්තේ සිටිමින්, ඒවායේ හැපෙමින්, ඒ තුළ යැපෙමින් ජීවත්වන මිනිසුන් ජය ගෙන ඇත්තේ කුහකකම් හා පුහු මානය යි. අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කිරීම යි. මෙලොව, පරලොව ගැන කිසිදු හැඟීමක් අවබෝධයක් නැති මිනිසුන් මැරෙන තුරුම පව් කන්දක් තමා සන්තක කර ගනියි. දුගතියට යාමට පාර හදා ගනියි.

මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව, කාර්යබහුල ජීවිත තුළින් මැකී ගොසින්. මහා සීතලක වුව ද ඒ ජීවිත ගිනි ගනියි. කැකෑරෙයි. දුම් දමමින් ඇරඹෙන දවස ළාමක සිතිවිලිවල පැටලී, සෑහීමකට පත් නොවී ම දවස ගෙවී යයි. තමාත්, තම පවුලත් ගැන පමණක් සිතනවා විනා අන් අයගේ යහපත වෙනුවෙන් උදව්වක්, උපකාරයක් කිරීමට අද බොහෝ දෙනා මැලි වේ.

පරාර්ථකාමී සිතිවිලි ඔවුන්ගෙන් බොහෝ ඈතට විසිවී හමාරයි. අනෙකකුට උදව්වක් කිරීමෙන් ලබන සතුටට වඩා ඒ උදව්ව කිරීම මඟහැර යාමෙන් ලබන පහත් සතුට ලබන්නට ඒ සිත් හුරුවෙලා. අනෙකාගේ දුක දැක තෙත්වන කරුණාබර හදවත් අද සමාජයේ නැති තරම්.

මිනිසුන්ගේ හදවත්වල පිරී තිබුණ ගුණධර්මයන්ගේ සෝදාපාළුවෙන් පසුව ඉතිරි වූයේ ආත්මාර්ථකාමී වංචනික හදවත් ඇති පිරිසක් පමණ යි. අද වන විට නාගරික ජීවිතවල පමණක් නොව ඈත පිටිසර ගම්දනව්වල ජීවත්වන ඇතැම් අයගේ පවා හදවත් කුරුවල් වෙලා. අනෙකාගේ දුක දැක තෙත් වූ ඒ හදවත් රාග, ද්වේෂ, මෝහ ආදියෙන් ගිනියම් වෙලා.

උදා වූ දවසක් නිමාවට යන විට දවස පුරා තමා අත්පත් කරගත් දේ නිසා උදම් වීම නොව, තමා නිසා අන් අයට සිදු වූ යහපත ගැන සිතමින් සතුටු විය හැකි නම් අපට පිනක් රැස්වෙනවා. ඒ වගේම ගුණධර්මවලින් ද දියුණුවට යන්න පුළුවන්.

මීට කලකට පෙර ගමක ජීවත් වූ පවුල් අතර තිබුණු සමඟිය, සහජීවනය, එකමුතුබව අද කොයිබ ද? එදා එක නිවසක විශේෂ කෑමක් පිළියෙළ කළොත් අනෙක් නිවෙස සමඟ තිබෙන ආකාරයට බෙදාහදා ගන්නේ ඉතාම ලෙන්ගතුකමින්. ලෙඩක දී, කරදරයක දී, විපතකදී තම ඥාතීන්ටත් පෙර එන්නේ අසල්වාසීන්. අනෙකාගේ දුක මෙන් ම සැප ද තමන්ගේ කරගෙන ජීවත් වෙන්න අපේ වැඩිහිටියන්ට තිබුණේ කැමැත්තක්. මහා කුණාටුවක් විසින් ඒ සියලු දේ ගසාගෙන ගියාක් මෙන් අද මහා පාළුවකින් සමාජය වෙළාගෙන තිබෙනවා.

සමඟියෙන් බෙදා හදා ගත් මිනිසුන් අද වන විට අනෙකාගේ දෙය පවා කඩා වඩාගෙන තමාගේ මඬිය තරකර ගැනීමේ උත්සහයක යෙදෙනවා. බොරුව, සොරකම, වංචාව පාපී සිතිවිලිවලින් ජීවිත අඳුරට ම ඇදී යනවා. ගුණධර්ම රැකගෙන උඩුගංබලා යාමට වෙර දරන පිරිස ඉතා අතළොස්සක් පමණයි.

ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි සංස්කෘතිය අපෙන් උදුරා ගත්තේ කවුද? අපේ දරුවන්ට ඒ ගුණාංග අහිමි කළේ කවුද?

මේ ගැන අපි තනි තනිවම සිතා බලන්න ඕනෑ.

සරල දිවි පැවැත්මත්, ගමේ පන්සලෙන් ලැබුණු මඟ පෙන්වීමත් එදා ජීවත් වූ මිනිසුන් පොහොසතුන් කළා. අද ගමට පන්සල ඈත් වී ඇතුවාක් මෙන් ම ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කියන සුන්දර වචන පොතපතට පමණක් සීමා වී තිබෙනවා. ධර්මයේ රැකවරණයෙන් රැක ගත් සොඳුරු ගුණධර්ම නූතන සමාජයට වටින්නේ නැහැ. සිල් නොරකින බොහෝ පිරිස් සිල් රකින අයට සිනාසෙනවා. ඔවුන්ගේ සිත් පවට ඇදීයාමත්, රාග, ද්වේෂ, මෝහාදී කෙලෙස්වලින් බර වීමත් නිසා අතීතයේ බොදු ශ්‍රාවකයා දුටු ගුණධර්ම නොවටිනා දෙයක් ලෙස සලකනවා. කෙලෙස්වලින් නිදහස්වීමේ සැබෑ සතුට බොහෝ අය අද දකින්නේ නෑ.

අපගේ බුදුරජාණන් වහන්සේ වදාළේ එළිපිට කළත්, රහසේ කළත් පව පවම බවයි. එය විපාක නොදී අවසන් වීමක් ද නැති බවයි. මේ ජීවිතයේ හෝ මතු ජීවිතයක දී කළ පවට විපාක ලැබෙනවා ම යි. තමා වැපිරු ලෙස අස්වැන්න ලබනවා. පොළොවට පස්වන මේ කුණු කයේ ආරක්ෂාව, රැකවරණය ගැන ම වෙහෙසෙන අප සිතේ රැකවරණයක් ගැන සිතන්නේ කවදා ද?

කිසිදු රක්ෂණ සමාගමක් සිතට වන අනතුරක දී වන්දි ගෙවීමක් සිදු නොකරයි. සිත රැක ගත යුත්තේ තමා ම යි.

කෙලෙස් බහුල සිතට ඊළඟ උපත සැකසෙන්නේ නිරයේ නම්, තිරිසන් ලෝකයේ නම්, ප්‍රේත ලෝකයේ නම් එදාට මහා දුක් කන්දරාවක් ඉසිලිය යුත්තේ තමා ම යි.

උතුම් මිනිස් ජීවිතයක් ලැබිලාත් අත්කර ගන්නේ එවන් දුක්ඛිත ඉරණමක් නම්, මේ මනුස්ස ජීවිතේ ඇති අරුත කුමක් ද? නිරයේ, තිරිසන් ලෝකයේ ගිය විට, ‘කාලා බීලා ජොලියේ ඉමු’ කී පාපී මිතුරන් කවුරුත් තමා අසල නෑ. දුකට, වේදනාවට, කඳුළට මුහුණ දිය යුත්තේ තනිවයි. එවන් ශෝකාන්ත කෙළවරකින් අපගේ ජීවිත අවසන් නොවීමට නම් අද අද ම අප අප්‍රමාදී විය යුතු නොවේ ද?

ජරා මරණයෙන් යට වී යන මේ ජීවිතයට ධර්මයේ හැසිරෙනවා හැර වෙන රැකවරණයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ නැහැ. “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” ධර්මයේ හැසිරෙන්නා ඒකාන්තයෙන් ම ධර්මය විසින් රකිනු ලබන්නේ ය.” ධර්මයේ හැසිරීමකින් තොරව ආරක්ෂාවක් මේ තුන් ලොව කොතැනකවත් නැහැ.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේබුදුරජාණන් වහන්සේ මෙන්ම අරහත් මුනිවරු ද සියලු කෙලෙසුන් නසා නිකෙලෙස් වූයේ උතුම් ගුණධර්ම ඇතිකර ගත් නිසයි. බුද්ධ ශාසනය තුළ වැරැදි කළ අයට එයින් මිදීමට පාරක් කියා දෙයි. සරණයේ පිහිටුව යි.

අංගුලිමාල තෙරුන් වහන්සේ සියලු වරදින් මිදුණේ මේ සම්බුද්ධ ශාසනය නිසයි. උන්වහන්සේ සසර පුරාවට කළ කී පව්වලින් මිදෙමින්, ගැරහුම් කළ ලෝකයාගෙන් පිදුම් ලබමින් වැඩ සිටියේ උතුම් ගුණධර්මවල පිහිටා සිටි නිසයි.

ගුණ ධර්ම දියුණු කර ගැනීමට වෙහෙසෙන අපට ලොව ඒකායන පරමාදර්ශය අපගේ ශාස්තෘන් වහන්සේ යි. ගුණ ධර්මයන්ගේ දියුණුවකින් තොරව දියුණු වූ ධර්මයක් ලොව කොතැනවත් නැහැ. තමන් ළඟ තිබෙන පුංචි ගුණධර්මයන් පවා නැති වීමට ඉඩ නොදී එය වැඩිදියුණු කර ගැනීම තමා සතු දෙයකි. පොඩි ගුණ ධර්මයක් වනසා ගැනීමෙන් පවා මඟ හැරී යන්නේ සුන්දර නිවන් අවබෝධය යි.

ජීවිතයේ හිස් තැන් පිරවීමට අපට නැවත අවස්ථාවක් උදා නොවන්නට ද පුළුවන්. ගුණධර්මවලින් හිස් ජීවිත කිසිදා පරිපූර්ණ ධර්මයකින් පිරවිය නොහැක්කේ ම යි.