වප් පුර අටවක 2022-10-03
ළමා ලෝකය ආලෝකවත් කිරීමට...
අද කළ යුතු දෙය අදට මිස හෙටට කල් නොදැමිය යුතු බව ජන වහරේ එන ප්‍රකට කියමනකි.
එහෙයින් උදාවන හැම දිනයක් ම මඟහැර නොගත යුතු ය. එහි දී යුතුකම්, වගකීම් ප්‍රධාන ය.
පළමුව තමන්ට ප්‍රමුඛත්වය දී පවුලට, ගමට, රටට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඒ
ආකාරයෙන් ම ඉටුවූයේ නම් පමණි, තමන්ගේ ස්ථාවරත්වයත්, තමන් මුල් වූ සමීපතමයන් හා
සමාජයේත් ස්ථාවරත්වය සිදුවනුයේ.
අඹු – සැමි, මව්පිය– දූ දරු ආදි ලෙස සමාජය කණ්ඩායම් සයකට බෙදා දක්වමින් බුදුරජාණන්
වහන්සේ අවධාරණය කොට වදාළේ ඔවුනොවුන් අතර ඉටුවිය යුතු යුතුකම් ඉටු කළ යුතු බව ය. එයට
දිනයක්, කාලයක් ඇවැසි නොවේ. අවශ්‍ය ඕනෑම විටෙක ඔවුනොවුන් අතර ඒ සම්බන්ධතාව
නිවැරැදිව ක්‍රියාත්මක විය යුතු ය.
එහෙත් සමාජය සංකීර්ණ වීමත් සමඟ, මිනිසා කාර්ය බහුල වීමත් සමඟ මතකයෙන් ගිලිහෙන ඒ
වටිනාකම් නැවත සිහි ගන්වන්නට වසරේ ඒ ඒ දින වෙන් කරන්නට සිදුව ඇත.
මව්වරුන්ට එක දිනයකි. පියවරුන්ට තවත් දිනයකි. දරුවන්ට ද දිනයකි. මෙලෙස ඒ ඒ දින වෙන්
කොට ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරවීමට මිනිසා මිනිසාට ම බල කරමින් ඇත.
යුතුකම් සිහි කැඳවන්නට දිනයක් වෙන් කිරීමේ වරදක් නොවුණ ද බෞද්ධයන් ලෙස මව්පිය,
ගුරුවරු ගැන, අපේ දරුවන් ගැන ආදි ලෙස විශේෂ දිනයක් වෙන් කිරීම අත්‍යවශ්‍ය නැත.
යුතුකම් වගකීම් දැරීම බෞද්ධ සමාජයට ම ආගන්තුක නොවිය යුතු ය. අපගේ ළමා පරපුර ගැන
එසේත් නැතිනම් දරුවන් ගැන මේ සටහන තබන්නේ එය අවධාරණය කරමිනි.
ලෝක ළමා දිනය යෙදී තිබුණේ මෙම පළමුවැනිදාට ය (ඔක්.01). එදින ලොව පුරාම දරුවන් ගැන
විශේෂ අවධානයක් යොමු වූ අතර ළමයින් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කෙරිණි. එය
ළමා පරපුරේ භාග්‍යයක් කොට සැලකිය හැකි වුව ද අභාග්‍යය වන්නේ ටික දිනෙකින් බොහෝ
වැඩිහිටියන්ට ළමයා අමතක වීම ය. ළමා ලෝකය අමතක වීම ය. ඔවුන්ගේ සිතුම් පැතුම්, ආකල්ප,
ඕනෑ එපාකම් අමතක වීම ය.
බොහෝ මවුපියන් උත්සාහ කරනුයේ තමන්ට පැමිණීමට නොහැකි වූ ඉලක්කයට දරුවා ගෙන යන්නට ය.
කෙතරම් කඨෝර වුව ද, මොන තරම් දුෂ්කර වුව ද, දරුවා ඒ තැනට ඇදගෙන යන්නට බොහෝ දෙනෙක්
වෙර දරන්නේ දරුවා වැඩිහිටියාගේ තැනට තල්ලු කරමිනි. ඉලක්කයකට යොමු කර දරුවාගේ අනාගතය
සැපවත් කරවීමට කටයුතු කිරීම කිසිසේත් වැරැදි නැත. එහෙත් එය කළ යුතු ළමයාට දිය හැකි
දෙතිස් වධයම පමුණුවමින් නොවේ. ළමා මනසට පීඩාවක් ගෙන දෙමින් නොවේ.
විශේෂයෙන් දරුවා උස් මහත් කළ යුතු නැණ ලබා දීමෙන් පමණක් නොවේ. ගුණයෙන් ද පොහොසත්
කරවමිනි. එහෙත් අද බොහෝ දෙනකුට මතකයේ ඇත්තේ නැණ පමණි. ගුණ මඟ හැරීම තුළ අනාගතයට
දායාද වන්නේ අසංවේදී, හිස් පුරවැසියෙකි. මව්පිය ගුරුවරු නොහඳුනන, අනුන්ගේ දුකට
පිහිට නොවන පුද්ගලයෙකි.
පස්පවින් වළකින්නට, එකිනෙකාට ගරු කරන්නට ළමයාට හුරු කළ යුතු ය. ජීවිතයේ දියුණුව හෝ
පරිහානිය, සතුට හෝ දුක, අවුල් වියවුල් හෝ සාමය තීරණය වන්නේ තමන්ගේ හැසිරීම අනුව බව
දරුවාට කියා දිය යුතු ය. දරුවා අනුකරණය කරන්නේ වැඩිහිටියන් බැවින් ඔවුන් ද තමන්ගේ
හැසිරීම මනාව හසුරුවා ගත යුතු ය. ළමා ලෝකය ආලෝකවත් වන්නේ එවිට ය. |