[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආගමික ප්‍රබෝධය උදෙසා කැපවන ආදර්ශවත් නායකත්වය ආචාර්ය පරවාහැර චන්දරතන නා හිමි

ආගමික ප්‍රබෝධය උදෙසා කැපවන ආදර්ශවත් නායකත්වය

ආචාර්ය පරවාහැර චන්දරතන නා හිමි

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක, විශ්වීය බෞද්ධ මහා සංඝ සම්මේලනයේ සභාපති, ප්‍රංශ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජනීය ආචාර්ය පරවාහැර චන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලංකාවේ පමණක් නොව, ලෝක බෞද්ධ ජනතාව අතරද සම්භාවනාවට පාත්‍රවුණු බහුශ්‍රැත පඬිරුවනකි. 1954 වර්ෂයේ සැප්තැම්බර් මස 10 වැනි දින ජන්මෝත්පත්තිය ලැබූ උන්වහන්සේ මාතර දිස්ත්‍රික්කයේ පරවාහැර නමින් හඳුන්වන සුන්දර ග්‍රාමයේ සොඳුරු ළමාවිය ගත කළහ.

ජෝන් කර්නේලිස් සේදර පියාණන් හා වගාච්චිගේ හින්නිහාමිනේ මෑණියන් යන සදාදරණීය මව්පියන්ගෙන් ලැබුණු ශාසනික උරුමය හා ධර්මධර විනයධර ශ්‍රද්ධා සම්පන්න ආදර්ශවත් සංඝ නේතෘන් වහන්සේගෙන් ලැබුණු ආභාසය මත ගොඩනැගුණු උතුම් පැවිදි ජීවිතය ශික්ෂාකාමී භික්ෂු ආකල්පයන්ගෙන් සෝබමාන වූහ. කඳුරුපොකුණේ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පරවාහැර චන්දරතන යන උතුම් ශාසනික නාමයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ උත්තරීතර පැවිදි බව ලබා, ලංකා ශාසනාම්බරය ආලෝකවත් කළ විද්‍යාස්ථානයන්හි ශාස්ත්‍රෝන්නතිකාමිත්වයෙන් යුක්තව ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලබා ගත්හ. කඳුරුපොකුණේ ධම්මරතන හිමි, මාවැල්ලේ සෝරත හිමි, වැයිහේනේ සුමන හිමි, යටලවත්තේ වංගීස හිමි, වේපතඉර සෝමාලෝක හිමි, ගෝණදෙණියේ හේමාලෝක හිමි ආදී සුපේශල ශික්ෂාකාමී අර්ථචර්යාවෙහි පිළිපන් සාර්වභෞම පාණ්ඩිත්‍යයෙන්, සංඝ සෝබන ගුණයන්ගෙන් පිරිපුන් පඬිවරුන්ගේ ඇසුර උන්වහන්සේගේ පැවිදි දිවිය වඩාත් ප්‍රභාශ්වරවීමට හේතු වූහ. බහුශ්‍රැතභාවයෙන්, අත්දැකීම්වලින්, විචක්ෂණ බුද්ධියෙන් පරිණත ශාසනානුලෝමී හැඟීමෙන්, නිවැරැදි ශාසනික ප්‍රතිපදාව අනුගමනය කළ ශාස්ත්‍රඥයන් වහන්සේ වෙතින් පැවිදි දිවියට ඇවැසි මූලික බණ දහම් හදාරා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධිය ලබා 1991 වර්ෂයේ දී ප්‍රංශයට වැඩම කළ උන්වහන්සේ පැරිස් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් ලබා ගත්හ.

පූර්වෝපචිත කුසලශ්‍රීයෙන් විරාජමාන වෙමින් ලැබූ භික්ෂු ජීවිතය ලෝක බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිස ම දායාද කරමින් සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේගේ දහම් පණිවිඩය විශ්වය පුරා පතුරුවාලන්නට ජාත්‍යන්තර ධර්මදූත ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් උන්වහන්සේ ශක්තිමත් වූහ. නිර්මල බුදුදහමේ පෝෂණය ලබමින් ප්‍රායෝගික ආධ්‍යාත්මික සුවතාවය සොයමින් දහම් පිපාසාවෙන් පෙළෙන යුරෝපීය ජාතිකයන් වෙනුවෙන් බෞද්ධ ග්‍රන්ථ 35 - 40 ක ප්‍රමාණයක් මුද්‍රණය කිරීම ද, බෞද්ධ ග්‍රන්ථ ප්‍රංශ භාෂාවට පරිවර්තනය කිරීම ද උන්වහන්සේගෙන් සිදු වූ විශිෂ්ට ධර්ම ශාස්ත්‍රීය සේවාවකි. 1994 වර්ෂයේ දී ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ ව ආරම්භ කරන ලද ‘සෙක්සා පදනම' හරහා ලංකාවේ දරු දැරියන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට විශාල දායකත්වයක් ලබා දී ඇත. ‘අපි වෙනුවෙන් අපි‘ සංකල්පය යටතේ රණවිරුවන් වෙනුවෙන් විශාල සහයෝගයක් ලබා දී ඇති අතර 'විරු දරු අත්වැල' හරහා රණවිරු සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩ පිළිවෙළක් ද උන්වහන්සේගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූහ. ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිතව උන්වහන්සේ ආරම්භ කරන ලද මිනුවන්ගොඩ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සමාජ සේවා කටයුතුවල මූලස්ථානය වශයෙන් ක්‍රියාත්මක වේ. බෞද්ධ භික්ෂූන් වහන්සේ, හා බෞද්ධ විහාරස්ථානවල අභිවෘද්ධිය පිණිස ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කළ නාහිමිපාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසම සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් සඳහන් කළ හැකි ය. උන්වහන්සේගේ මඟපෙන්වීම තුළ 2600 වර්ෂයේ සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් ප්‍රංශයට වැඩම කිරීම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට හේතුවක් විය.

ධර්මයට ආශක්ත වූ නිසඟ දේශනා කෞශල්‍යයෙන් පොහොසත් උන්වහන්සේ ධර්ම විවරණයන් මනාව හසුරුවමින් අටුවාටීකා සන්නස් ගැටපද විවරණයන්ගෙන් පරිපූර්ණ පෙළ දහමෙන් සුපෝෂිත වූ රසාලිප්ත ධර්ම ඖෂධයක් වුණු දේශනා ලෝක බෞද්ධ ජනතාව අතර ගෞරවාදරයට පාත්‍ර විය.

පර්යාප්ති, ප්‍රතිපත්ති සහ ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසන පිළිබඳ නිවැරැදි අවබෝධය සහ ශාසනානුලෝමික පැවතුම්වලින් පිරිපුන් භික්ෂූන් වහන්සේ අතරින් ධර්මදූත සේවයේ මනා පරිචයක් ලබා සිටින අග්‍රගණ්‍ය පඬිරුවනක් වන ආචාර්ය පරවාහැර චන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදූත සේවයේ නියැළීමට බලාපොරොත්තුවෙන් පසුවන ස්වාමීන් වහන්සේට මහත් පූර්වාදර්ශයක් වනු නොඅනුමානය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් ක්‍රියාකාරී අධ්‍යාපනය පමණක් නොව, සමිති සමාගම්වලට ලබාදුන් ක්‍රියාකාරී නායකත්වය, උන්වහන්සේ ලබා තිබූ අත්දැකීම් සමුදායත් මත යුරෝපීය ධර්ම ප්‍රචාරක කටයුතු වගේම විශ්වීය බෞද්ධ මහා සංඝ සම්මේලනයේ සභාපති ආදී වගකීම් දැරීමට ද ශක්තියක් විය. අල්පේච්ඡතාදී ගුණයෙන් යුතු තෙර නමක් වශයෙන්, ආගමික ප්‍රබෝධය වර්ධනය කිරීම සඳහා කැපවීම ම ආදර්ශවත් ය.

පූර්වෝක්ත උතුම් ගුණයෙන් සමූපලක්ෂිත යතිරුවනක් වශයෙන් වැඩ සිටිමින් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා අභිවෘද්ධිය පිණිස සිදුකරන මහානීය සේවාව ඇගයීමට පාත්‍ර කරමින් මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නය වෙතින් ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීමට කටයුතු කළහ.

උන්වහන්සේට තවදුරටත් ලෝක ආගමික ශාසනික සේවයෙහි නියැළීමට ශක්තිය ධෛර්යය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.

බිනර අමාවක පෝය

 සැප්තැම්බර් 25 ඉරිදා පූර්වභාග 03.13 අමාවක ලබා 26 සඳුදා පූර්වභාග 03.25 ගෙවේ.
25 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]