[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන් විවර කළ දහම කන් ඇත්තෝ අසත්වා

බුදුරදුන් විවර කළ දහම කන් ඇත්තෝ අසත්වා

බුදුදහම තුළ ඇත්තේ විවිධ පහළ මට්ටමේ සිට උපරිම තලය දක්වා වන ඥාන හෝ දැනුම් පද්ධතියකි. වෙනත් විධියකින් කිවහොත් ලෞකික මට්ටමේ දැනුම් සීමාවක සිට අලෞකික ස්තරයක දැනුම් පද්ධතියක් එහි දක්නට ලැබේ.

පෘථග්ජන තත්වයක සිටින අප වැන්නවුන්ට ඒවා ගැන වාද විවාද කිරීම්, අදහස් දැක්වීම් හා මත පළ කිරීම් කළ හැකි වුවත් සත්‍යය ස්පර්ශ වන ආකාරයේ විග්‍රහයක් කළ නො හැකි ය. චිත්ත විසුද්ධියේ සිට ඤාණදස්සන විසුද්ධිය දක්වා පියවර හතක් ඔස්සේ ඤාණය පිරිසුදු කර ගැනීමේ ස්ථර හතක් බුදුදහමේ සප්තවිසුද්ධි විවරණවලින් දැකිය හැකි ය.

ත්‍රිපිටකයේ නම් මජ්ක්‍ධිම නිකායේ රථවිනීත සූත්‍රයෙනුත්, අටුවා විස්තරයකින් නම්, විසුද්ධි මාර්ගයෙනුත් මෙය පැහැදිලි කර ගත හැකි ය. මෙසේ අනුක්‍රමයෙන් දියුණු ම ඥානයක් ලබා ගැනීම අර්හත්වය, සම්බුද්ධත්වය වැනි උතුම් තත්වයන්ට පැමිණීමට හේතු වේ.

සූත්‍ර දේශනාවල දක්වා ඇති පරිදි එම තත්වයන් පසක් කොට ඇත්තේ නිර්වාණයට හේතුවන විශිෂ්ට ඥානයෙනි. එය නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස (නිරෝධාය) කෙලෙස් දාහයෙන් මිදීම පිණිස (උපසමාය), විශිෂ්ට අවබෝධය පිණිස (අභිඤ්ඤාය), සම්බෝධිය පිණිස (සම්බෝධාය) හා නිර්වාණය පිණිස (සම්බෝධාය) පවතින බව බුදුන් වහන්සේ වදාරා ඇත.

අප ජීවත්වන ව්‍යවහාරික ලෝකයේ අප සතුව පවතින දැනුම හා අවබෝධය බෞද්ධ සූත්‍රවල දක්වා ඇත්තේ වොහාරික පඤ්ඤා (ව්‍යවහාරික ප්‍රඥාව) යනුවෙනි. එයින් කළ හැකි දේ සීමිත ය. තව ද ප්‍රඥාවේ පියවර තුනක් සඤ්ඤා, විඤ්ඤාණ, පඤ්ඤා යනුවෙන් දක්වා ඇත. එය උපමාවක් මඟින් පැහැදිලි කොට දී තිබේ.

පයේ ගැටෙන, බිම වැටී තිබෙන මැණික් ගලක් දකින කුඩා ළදරුවකුට එය දැනෙනුයේ කිසියම් ගල් කැටයක් ය යන හැඟීම පමණකි. එම අවබෝධය හඳුන්වා ඇත්තේ සඤ්ඤා යනුවෙනි. එම මැණික් ගල ම ඔහුගේ මව්පියන් දුටුවිට එය වටිනා මැණිකක් ය යන දැනුම නුවණින් ලබා ගනී. එය විඤ්ඤාණ නම් වේ.

මැණික්කරුවකු එම ගල කපා කොටා මැනවින් තක්සේරු කිරීමට සමත් වේ. එය පඤ්ඤා හෙවත් ප්‍රඥාව නම් වේ. බුදුදහමෙහි විවරණය කරනු ලබන්නේ ලෝකයේ සැබෑ තතු ස්පර්ශය කිරීමට සමත් එකී ප්‍රඥාව ලබා දීමයි. එය විදර්ශනා ප්‍රඥාව නම් වේ.

එය සෙවීමට ලෝකය සිසාරා යා යුතු නැත. තමා වෙසෙන පසුබිමේ සිට තම සිරුර විනිවිද දැකීම ලෝකයක් අවබෝධ කර ගැනීමේ ක්‍රමවේදයකි.

දැනුම හා බැඳෙන අනෙක් කාරණය වන්නේ අභ්‍යාසය යි. ව්‍යායාම කරන තැනැත්තා නිතර නිතර තම අභ්‍යාසය කළ යුතු ය. එමෙන්ම පාසල් දරුවකුට තම නිර්දිෂ්ට ග්‍රන්ථය නිතර නිතර කියැවීම නිසා දැනුම තහවුරු වේ. එසේම භාවනාදිය කරන යෝගාවචරයකුට එහි ප්‍රගමනය සඳහා අභ්‍යාසය හෙවත් නැවත නැවතත් පුරුදු පුහුණු කිරීම අත්‍යවශ්‍ය ය.

යමෙක් අලස බව ආදී කරුණු හේතුවෙන් අභ්‍යාසය අත්හළහොත් කාර්යය නිරර්ථක වේ.

" බුදුන් වහන්සේ අසජ්ඣාය මලා මන්තා යනුවෙන් වදාළ සේක. නිතර නිතර සජ්ඣායනා නොකළහොත් මළ බැඳෙන බව හෙවත් මතකයෙන් ගිලිහෙන බව වදාළහ.

එබැවින් අධ්‍යාපනය ලබන, ප්‍රායෝගික ක්‍රියාකාරකම්හි යෙදෙන, වෘත්තීය කටයුතුවල යෙදෙන හා බණ භාවනාදිය පුරුදු පුහුණු කරන සියලු දෙනාහට සබුද්ධික අභ්‍යාසය මහෝපකාරි වේ.

බුදුන් වහන්සේ සර්වප්‍රකාරයෙන් ම නිරවුල් හා පිරිසුදු සර්වඥතා ඥානය පසක් කරන ලද්දේ එම මාර්ගයෙනි. අනභ්‍යාසයෙන් කෙලෙස් මල සහිතව චින්තකයන් විසින් ගොඩනඟන ලද දැනුම මලකඩ සහිත දැනුමකි. බුදුබව පසක් කළ තථාගතයන් වහන්සේ කළ ප්‍රකාශයක් මෙසේ සඳහන් කරමු.

“පෙර දඹදිව කෙලෙස් මල සහිත වූවන් විසින් සිතන ලද අපිරිසුදු දහමක් විය. මවිසින් ඔවුනට අමා දොර විවර කරන ලදී. බුදුරදුන් විසින් අවබෝධ කරන ලද එම දහම කන් ඇත්තෝ අසත්වා.“

බිනර අමාවක පෝය

 සැප්තැම්බර් 25 ඉරිදා පූර්වභාග 03.13 අමාවක ලබා 26 සඳුදා පූර්වභාග 03.25 ගෙවේ.
25 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]