Print this Article


පහන් සිතක කවි

සසරින් එතෙරට

මධුර මනෝහර
මුනි බණ පදයක්
ඇසුමට දෙව්රම
වැඳ වැටිලා
අවසර නැතිවෙද
මතු ලොව බුදුවන
අප මහ සම්බුදු
මෙත් මුනි සමිඳේ

සතර දෙසින්
ඇවිලෙන දුක් ගිනි දැල්
දවමින් මා පසුපස එන්නේ
බිහිසුණු ගිනි දැල්
කෙලෙස නිවන්න ද
නැත මා හට නම්
වැටහෙන්නේ
නිම් නැති මේ සසරේ
අප මහ සම්බුදු
මෙත් මුනි සමිඳේ........

දුක් ගිනි නිවනා
බුදු බණ අසනට
මා පැමිණෙන දා
දෙව්රම සොයලා
සසරින් එතෙරව
යන්නට සිතකට
පින් සිත් වැඩිලද
දෙසනු මැනවි මට
සමා වෙලා
අප මහ සම්බුදු
මෙත් මුනි සමිඳේ

බුදු බණ අසලා
සිත මගෙ නිවිලා
අනන්ත ගුණයෙන් සැනසීලා
නිවන් පුරේ සුව විඳිනට අවසර
සසරින් එතෙරට පිය මැනලා
අප මහ සම්බුදු
මෙත් මුනි සමිඳේ


මිහිඳු සමිඳු වැඩිය නිසා

එදා පටන් බුදු සුවඳයි මගෙ මව්බිම හතර වටේ
උදා වුණා සැප සම්පත් සමඟිය සාමය ද රටේ
බෙදා ගන්න අඬදබරව ගියෙ නැහැ ඉන්නකට වැටේ
නිදා නොගෙන මුර දෙවිවරු රැක ගත්තා ගොදුරු ගමේ

සිත සතුටින් මත් වතුර ද දඩ මස් ඉවතට ලෑවා
කැත කුණු කිසිවක් නැති ඇළ, දොළ, ගංගාවල නෑවා
අත රැඳි ලී නඟුල්වලින් මුළු වෙල් යායක් හෑවා
බත බුලතින් රට සරුවී තුන් වේල ම බත් කෑවා

පැලේ පාරුවෙ ද කවියට නැඟුවෙ එදා බුදු ගුණ ම ය
වෙලේ ගොයම් නෙලූ ළඳුන් කවි කීවෙත් බුදු ගුණ ම ය
පිලේ ඉඳත් බට නලාවෙ හඬ නැඟුවෙත් බුදු ගුණ ම ය
මලේ නඟේ සිහි කරන්න මිහිඳු යුගයෙ බලමහි ම ය

ගස් වැල් පරිසරය සුරැක කරුණා යහගුණ කැන්දා
ලස්සන බුදු පිළිම නෙළන්නට මහ ගල්කුළු බින්දා
විස්කම් වැඩ වගෙයි එදා සාගර වැනි වැව් බැන්දා
උස් මහ දාගැබ් තැනුණේ මිහිඳු සමිඳු වැඩි හින්දා


මගෙ ආදර අම්මේ ...

දස මස කුස දරා මෙලොවට බිහිකරලා
ඇති දැඩි කළා ඇඟ ලේ කිරි කර පොවලා
දහ දුක් විඳල දිවියට ජීවිය පණ දීලා
ජීවන ගමන් මඟ මාගේ එළිය කළා

හිරුට හොරෙන් මුළුතැන් ගෙට පියමනිනා අම්මේ
දර ළිප ළඟ කඳුළු සලා සුසුම් හෙළුව අම්මේ
බත් කිස තනා පුද පූජා තැබූ මගේ අම්මේ
කිරි ටික දොවා ගෙමිදුල ඇමදූ අම්මේ

වෙල් ඉපනැලි මුතු පිනි කැට වියැළෙන හිමිදිරියේ
නිල් ගොයමට හිරු සෙවණැලි වැටෙනා කඩිමුඩියේ
ගිනි අව්වේ දහඩිය වැල් ඕවිට මත වැටුණේ
දරු පැටවුන් රැක ගන්නට හැපුනා මහ පොළොවේ

අව්ව වැස්ස තනි රැක්කා සඳ සාක්කි අම්මේ
කුසට අහර පිරුවේ ඔබ වෙහෙසවෙලා අම්මේ
ඝන කළුවර වැටුණත් මහ පොළොව පුරා අම්මේ
ගෙදරට එන පාර කිව්වෙ සඳ එළියයි අම්මේ

කුප්පි ලාම්පුවෙ එළියෙන් පැදුරු රටා මැව්වේ
නිදි වැරුවා තුන් තිස් පැය මදුරු නදින් අම්මේ
දරුවන්ගේ දුක් කඳුළැලි හිත යට ගුලි කෙරුණේ
රෑ මැදියම නිදා ගත්තෙ කඳුළු ගොඩක අම්මේ

නිවන් යන්න මං පෙත් ඔබ විවර කළා අම්මේ
ඔබේ පුතා බුදු සසුනට පුද දුන්නා අම්මේ
පවුලේ සියලු දෙන දහමට නැඹුරු වුණා අම්මේ
මෙ පින් බලෙන් නිවන් යන්න මගෙ ආදර අම්මේ

පෑල දොරින් පිටමං වී හිමිදිරියෙම අම්මේ
දොළොස් මහට සිල් ගත්තා සැදැහැ සිතින් අම්මේ
විශාකා සිටු දියණි ලෙසින් පින් කෙරුවා අම්මේ
දන් දී භාවනා කෙරුව නිරතුරු මගෙ අම්මේ

අම්මා යන අකුරු තුනේ අරුත දුන්න අම්මේ
ඔබ ඉන්නව වාගෙයි මට මගේ ගෙදර අම්මේ
දුන් ඔවදන් සිහිවෙනවා නිරතුරු මගෙ අම්මේ
හදවත දවනා දුක් ගිනි වාවනු බැහැ අම්මේ


ජීවිත මඟ

ඉපදුම සමඟ මරණෙට නැහැ වෙලාවක්
ජීවිත ගමන හරියට වැහි වළාවක්
ඉපදුම ලොවේ පවතින වේදනාවක්
බවයෙන් බවය හුරුවුණ කල්පනාවක්

සසරම අහස කළු කරනා අමාවක්
මිනිහා අතර ගැටුණේ ලොව පමාවක්
දකිනා තුරුම ආසාවේ නිමාවක්
කොතැනද? තිබෙන්නේ නොලැබෙන සමාවක්

ලස්සන කියන හැඩවෙන මුළු දසාවක්
බැලුවම හිතේ පවතින මග මුසාවක්
සුව කරනට නොහැකි හදවත නියාමක්
මුළු දිවි මඟට එය නරකම දසාවක්


මිහිරි මතකය ...

ගලා යයි ගඟ තවම එලෙස ම
මතක් කර දී යටගියාව ම
කඳු ගැටය මත විදු පියස වෙත
නඟා පියවර අකුරු කරනට
ගලන නිල් දියවර සිසිල විඳ
ගිය අයුරු නැඟ ඒය මතකෙට
දිවි මඟට ආ නොයෙක් බාධක
නොතකමින් ඉදිරියට යන්නට
පන්නරය ගෙන දුන්න මා හට
ගලා යන මේ මහා දියකඳ
විදුබිමේ දී ලැබුව දැනුමට
එකතු විය දුන් සවිය අපමණ
නැඟුව පෙණ කැටි මන්දහාසය
මැවී පෙනෙනව මේ දැනුදු මට
සරු කරන් මඟ දෑල කෙත්වතු
ගලයි ගිං ගඟ පුරුදු විලසම
අවැසි සවිබල දෙන්න සැමදා
නොතෙත් කරමින් අපේ දෙනුවන
නොනිසි දෙයකින් කිසිම කිසිවිට


වැටහීම

යොවුන් වියේදීම බුදුරදුන්ගේ අපරිමිත ගුණ වැටහුණා
මටත් නොදැනිම මගේ බොදු හිත දහම් සෙවණේ සැනහුණා
දැනට පිරිපුන් ලෙස රුවතිය ද කය දිරන බව තේරුණා
මුලාවේ ගිලි තුරුණු සිත් දැක මහා දුකකුත් ඇතිවුණා

තාවකාලික සතුට සොයනා ලෝකයත් තුළ ඉපදුණා
කුඩා කාලයෙ සිටම අප ජීවන තරගයට හුරුවුණා
නමුදු කාලයාගේ ඇවෑමෙන් අස්ථිර බව වැටහුණා
සදාකාලික සුවය කැඳවන නිවන සොයනට පෙළඹුණා