Print this Article


සැදැහැ සිත් පුබුදනඓතිහාසික කන්දෙ විහාරය

සැදැහැ සිත් පුබුදන ඓතිහාසික කන්දෙ විහාරය

බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ගමන් කරන විට හමුවන අවසන් නගරය වන්නේ අලුත්ගම නගරය යි. ඓතිහාසික කන්දෙ විහාරයට ආසන්න නගරය වන්නේ ද අලුත්ගම නගරය යි.

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කිරීමේ දී කළුවාමෝදර පාලම අසල 59 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ ඇති කළුවාමෝදර කාලවිල මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් ගත් විට පුංචි කඳු ගැටයක පිහිටි රමණීය පුදබිමට පිවිසීමට හැකි ය.


ඓතිහාසික කන්දෙ විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමි

බෙන්තොට ගලපාත රාජමහා විහාරස්ථානය මුලස්ථානය කරගෙන කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ ක්‍රි.ව. 1734 ආරම්භ වී ඇති මෙම විහාරස්ථානයේ මුල් නායක හිමියන් වූයේ වැලිවිට අසරණ සරණ සරණංකර සඝරජ වහන්සේගේ ශිෂ්‍ය නමක් වූ දෙද්දුව ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍ය උඩුගම චන්දසාර නාහිමියෝ ය.

ඓතිහාසික කන්දෙ විහාරයේ දී දිනපතා සිදු කෙරෙන ආගමික වතාවත් අතර ගිලන්පස, බුද්ධ පූජා, දේව පූජා ඇතුළු ආගමික වතාවත් මෙන්ම සෑම පොහෝ දිනකම දාන, සීල, භාවනා ධර්ම දේශනා, කිරිපිඬු හා මුලුතැන් පූජා විහාරස්ථානයේ ආගමික වැඩසටහන් අතර ප්‍රමුඛස්ථානයක් ගනී.

උඩුගම චන්දසාර හිමියන්ගේ අනුශාසනා පරිදි උන්වහන්සේගේ ශිෂ්‍ය කරපාගල දේවමිත්ත හිමියන් කන්දෙ විහාරයේ විහාරාධිපති ධූරය දරමින් එවකට විහාරස්ථානයේ මුලික පසුබිම ගොඩනඟා තිබේ. පසුව බෙන්තර සෝනුත්තර, මහගොඩ ධම්මදස්සි, මාලේවන සුමන, මාලේවන සීලවංශ, පින්නගොඩ අත්ථදස්සි, පොතුවිල සරණතිස්ස, හීනටියංගල ජිනාරාම, බටුවන්හේනේ ශ්‍රී බුද්ධ රක්ඛිත යන විහාරාධිපතීන් වහන්සේ එදා මෙදා තුර කන්දෙ විහාරයේ සංවර්ධන කටයුතුවල නිරතව ශාසනයට සේවය කර තිබෙන යතිවරයාණන් වහන්සේ වූහ.

මහනුවර යුගයේ සම්ප්‍රදායට නෑකම් කියන පැරැණි බිතුසිතුවම්වලින් යුතු ඉපැරැණි ධාතු මන්දිරයේ රිදියෙන් කළ කරඬුවක සර්වඥ ධාතුන්වහන්සේ තැන්පත් කර තිබීම විහාරස්ථානයේ ඇති පූජනීයත්වයට හේතුවකි. විහාරස්ථානයේ අතිපැරැණි සුවිසල් බෝධීන් වහන්සේ කළුතර දිස්ත්‍රික්කයේ තිබෙන ඉපැරැණි ම බෝධීන් වහන්සේ නමක් වන අතර, මෙම පුදබිමේ පෞරාණික බව කියාපාන සංකේතයකි.

එමෙන්ම වසර කීපයකට ඉහතදී අපවත් වී වදාළ පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ විහාරාධිපති ධූරය සමයේ ඉදිකරනු ලැබු 107 රියන් උසැති භූමි ස්පර්ශ මුද්‍රාවෙන් ඉදි කළ හිඳී බුදු පිළිම වහන්සේ බුද්ධාලම්බන ප්‍රීතිය උතුරා යන දසුනකි. මෙම බුදු පිළිම වහන්සේ ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් අපවත් වී වදාළ යටදොල වත්තේ අරියවංශ නාහිමියන් සිදු කළ මෙහෙය අදත් මහා සංඝරත්නය මෙන්ම සැදැහැවතුන් ද ගෞරවයෙන් සිහිපත් කරයි. මෙම 107 රියන් උසැති බුදු පිළිම වහන්සේ වත්මන් විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් නොබෝ දිනකින් නැවතත් තීන්ත ආලේප කිරීමේ මහඟු පින්කම සිදු කෙරෙනු ඇත. ප්‍රතිමා සිතුවම් සහිත විහාර ගෙයක් ද නිර්මාණය කර තිබේ.

බුදු මැදුර ඉදිරිපිට ඇති සුවිසල් තෙමහල් තොරණ දුර්ලභ ඝනයේ නිර්මාණයක් වේ. ආරුක්කු හා සිමෙන්ති බදාමයෙන් කළ දොරවලින් යුත් මෙහි කඟවේනා හා සිංහයා ලාංඡනය දක්නට තිබේ. මෙම තොරණ 1886 වර්ෂයේ නිමවා තිබෙන අතර ඉංග්‍රීසී ආණ්ඩුකාර කාලයේ ඉදි කරන ලද්දක් ලෙස කුරුස ලාංඡනය ද සලකුණක් සේ දක්නට තිබේ. තොරණ මුදුනේ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කළ කුඩා දාගැබකි. ඕලන්ද ගෘහ නිර්මාණ කලාවට මෙය නෑකම් කියයි.

බුදු මැදුර ප්‍රතිමා සහ බිතු සිතුවම්වලින් යුක්ත වේ. ඓතිහාසික කන්දෙ විහාරයේ ඉපැරැණි බුදු මැදුරේ වම්පස ඇති ශ්‍රී විෂ්ණු දේවාලයේ රන්මිණි මුවා ඔටුන්නක් සහිත ආභරණවලින් සැරසූ ජීවමාන ස්වරූපයක් ගන්නා විෂ්ණු දේව හිඳී පිළිමයක් තිබේ.

කන්දේ විහාරය සුප්‍රසිද්ධියට පත්වීමට බලපෑවේ මහානුභාව සම්පන්න බලය ඇතැයි සැලකෙන මෙම ශ්‍රී විෂ්ණු දේවාලය යි. ඓතිහාසික කන්දෙ විහාරයේ සීවලී ධාතූන් වහන්සේ හා සර්වඥ ධාතූන් වහන්සේ වැඩසිටින බව අප නාහිමියන් පැවසීය.

වර්තමාන ඓතිහාසික කන්දේ විහාරාධිපති සහ අමෙරිකාවේ ෆ්ලෝරීඩා බෞද්ධ විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමියන් වර්තමාන විහාරාධිපති ධුරය හොබවමින් විහාරස්ථානයේ අභිනව සංවර්ධන කටයුතු දිනෙන් දිනම සිදු කරමින් විහාරස්ථානයට පැමිණෙන දෙස් විදෙස්, බෞද්ධ, අබෞද්ධ ජනතාවට ප්‍රියමනාප ලෙස සැදැහැවතුන්ගේ සිත් ඇදගන්නා අයුරින් විහාරස්ථ සංවර්ධන කටයුතුවල නියුතු වේ.

වත්මන් විහාරාධිපති නාහිමියන්ගේ මූලිකත්වයෙන් කන්දෙ විහාරයේ පිවිසුම් දොරටුව සුවිසල් අලංකාර ගෘහ නිර්මාණයක් සේ දැක ගත හැකි වන අතර, විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා පිළිඹිබු කෙරෙන තොරණ විහාරස්ථානයට තවත් වටිනාකමක් එක් කර තිබේ.

පහන් 3500 ක් දැල්විය හැකි සුවිසල් පහන් මන්දිරයක් ඉදි කර තිබීම ද විශේෂත්වයකි.

නිකිණි පුර පසළොස්වක පොහෝ දින සිට සෑම පුර පසළොස්වක පොහොය දිනකම ඓතිහාසික කන්දෙ විහාරයට එන සැදැහැවතුන් වෙනුවෙන් බුදුසරණ පුවත්පත ධර්ම දානය පිණිස නොමිලේ බෙදාදීමේ පින්කමක් විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක අළුත්ගම ගාමිණි සිල්වා මහතාගේ දායකත්වයෙන් සිදු කෙරේ.