Print this Article


දුටුගැමුණු මහ රජතුමා 80 කොටස: එළාර රජුගේ යුද සැලසුමේ වෙනසක්

දුටුගැමුණු මහ රජතුමා 80 කොටස:

එළාර රජුගේ යුද සැලසුමේ වෙනසක්

බෝධිනාග, රජුට ආචාර කර ශාලාවෙන් පිටතට ආවේ ය. අසුපිට නගින්නට සුදානම් වන විටදීම දූතයකු පැමිණ සියලු දෙනාටම රජ මාළිගයට යන ලෙස රජතුමා දන්වා සිටින බව කිවේ ය. බෝධිනාගට ද එම ආරාධනය විය. රජ මාලිගයට ගිය බෝධිනාගට දැන ගන්නට ලැබුණේ සිරිනාග වෙනුවෙන් පවත්වන සම්මාන උළෙල උත්සවාකාරයෙන් පැවැත්වීමට රජතුමා තීරණය කළ බව ය.

“සිරිනාග තොපට ලැබී ඇති හසුන්පත පෞද්ගලික එකක්ද? නැතිනම් එය අපටත් ප්‍රයෝජනවත් එකක් දැයි දැනගන්නට කැමතියි.”

“දේවයන් වහන්ස. එය රහස් තල්පතක්. අපට වැඩදායක එකක්. නමුත් එය අපේ හිතට සැනසුමක් දෙන ආරංචියක් නම් නොවෙයි. කියමින් ඔහු එය දීඝජන්තු අතට පත් කළේ ය.

“සෙන්පති, එය මුළු සභාවටම ඇසෙන්න කියවන්න.

එය කියවා බැලූ දීඝජන්තුගේ මුහුණ අඳුරු වනු කාටත් පෙනිණි. රජතුමා දෙස බලා තල්පත කියවීය.

“ගැමුණුූ මහ රජතුමා යුද සැලැස්ම වෙනස් කළා. විජිතපුර බලකොටුවෙන් නන්දිමිත්‍ර මහ සෙන්පතිතුමාට ලැබුණූ රහස් ලිපියකින් අනුරාධපුර රාජ සභාවේ දී ගත් තීරණ දන්වා එවා තිබුණා. ඒ නිසා මුලින් ම කරන්නේ මහවැලි දකුණු ඉවුරේ සියලුම බලකොටු බිඳ දැමීමයි. විජිතපුර බලකොටුවට ඉතාම ළඟ තැනකින් අනුරාධපුර රාජධානියට ඇතුළුවේවි. දිගටම ඔත්තු සැපයීම අසීරු වේවි. නන්දිමිත්‍රගේ සේනාංකයේ අලුතෙන් පුහුණු කළ සේනාංකයක් සමඟ අපි අද මහියංගනය බලා පිටත් වෙනවා.”

සභාව නිහඬ විය. සැමගේ ම ඇස් යොමුවූයේ දීඝාභය සහ උපතිස්ස දෙසට ය.

ඔවුන් දෙදෙනා ද පුදුමයෙන් බලා සිටියහ. දීඝාභයගේ උකුසු ඇස් තමන් වෙත යොමු වී තිබෙන බව දුටු සිරිනාග යමක් කියන්නට උත්සාහ කළේය. එහෙත් ඊට ඉඩ නොතබා දීඝාභය ප්‍රශ්න කළේ ය. “සිරිනාග තොපට මේ තල්පත එවා තිබෙන්නේ කවුරුන්ද?”

“මට සේවය කරන සෙනෙවියෙක්”

මේ තල්පත ලැබුණේ කෙසේද?

පරෙවියකුගේ මාර්ගයෙන්.

“එවා තිබෙන්නේ කොහෙන්ද?”

“මැදගම උයන්තොටින්”

“තොප කියන්නේ දුටුගැමුණු රජතුමා මහියංගනයට පැමිණ සිටින බව ද?”

“නැහැ මහියංගනයට පැමිණෙමින් සිටින බවයි.”

“තොපගේ පරෙවියා බොහෝම දක්ෂයි.”

“ඔව් මහ සෙනෙවිතුමනි. අද මගේ පරෙවි දූතයා මහියංගනයේ. එම සේවය ලබා ගන්නට බැරි වූ දිනයක දී හීපත් මඟින් තොරතුරු ලබා ගන්නවා.”

“දීඝාභය තර්ක කරන්නට අවශ්‍ය නැහැ. අපට දැන ගන්නට ලැබුණු දේ සත්‍යයක් නම් ඉදිරියේ දී මෙවැනි දේ නොවන්නට වග බලා ගත යුතුයි.”

“දේවයන් වහන්ස, රාජ සභාවේ කිසිවකු මේ ගැන සැක කරන්නේ නැහැ. මෙතැන සිටින සෑම කෙනෙක්ම රහස් රකින බවට අපට විශ්වාසයි. නමුත් රහස් රැකීම ගැන වැඩි සැලකිල්ලක් නැති කෙනකුගෙන් ගෙදර දොරේ කතාබහක දී වුණත් මේ රහස් පිටවෙන්න පුළුවන්. ඒ නිසා රහස් රැකීමේ ප්‍රඥප්තියක් මේ රාජ සභාව තුළ ඇති කර ගන්නට ඕනෑ.”

“ඔව්, තොපගේ අදහස මා පිළිගන්නවා. නමුත් දැන් අපේ සියලු සැලසුම් වෙනස් වෙනවා. නව යුද සැලසුමක් පිළියෙළ කරන්නට වේවි.”

“අද හවස අමාත්‍ය මණ්ඩලය රැස් වෙනවා. දීඝාභය, දීඝජන්තු, සිරිනාග එහිදී මහ ඇමැති හමුවිය යුතුයි. දීඝාභය, දීඝජන්තු හෙට දහවල් මා හමුවන්නට ඕනෑ. සිරිනාග හැකි ඉක්මණින් සවිස්තර වාර්තාවක් මා වෙත ඉදිරිපත් කරන්නට ඕනෑ.

“සියලුම යුද්ධ මණ්ඩල රැස්වීම් සති කිහිපයකට කල් දමන්න. සියලුම සේනාංකවල යුද්ධ අභ්‍යාස කරගෙන යන්න. සියලු සෙබලුන් සීරුවෙන් තබන්න. දුටුගැමුණු යුද්ධය ආරම්භ කිරීමට පෙර අපි ඔහු හමුවට යන්නට ඕනෑ.”

රජතුමාගේ මුහුණ අඳුරු විය. කැළඹුණු සිතින් යුතුව නැඟී සිටියේ ය. ඔහු කිසිවකු දෙස නොබලා සම්මන්ත්‍රණ ශාලාවෙන් පිට විය. සැවොම පුදුමයෙන් බලා සිටියහ.

සෙනෙවිවරු සිරිනාග වටකර ගත්හ. “අපට මේ යුද්ධය ජය ගන්නට නම් දුටුගැමුණු රජු සිටින තැන නිශ්චිතවම දැන ගන්නට ඕනෑ. එසේ නොවුණොත් සතුරාට හසු වී මියැදෙන්නට අපට සිදුවේවි.”

“සිරිනාග දැන් රජ මාලිගයට යමු. රාජකීය අමුත්තෝ සියලු දෙනාම දැන් රාජමාලිගයට පිටත්ව ගොස් තිබෙනවා. මෙවැනි අවුල් සහගත තත්ත්වයක් රජතුමා බලාපොරොත්තු වුණේ නැහැ.

“කාරණය ඉතාමත් බැරෑරුම් තමයි. මින් පසුව අපට ලැබෙන රහස් පත් අපි කිහිපදෙනකුට පමණක් සීමා කර ගනිමු. රජතුමාගේ අනුමැතියෙන් ගන්නා තීරණ පමණක් යුද්ධ මණ්ඩලයට දැනුම් දෙමු.”

“ඔව්, එසේ සිදු කිරීම වඩාත් හොඳයි. විජිතපුර බලකොටුවේ සේනාංක විසුරුවා හැර තුණ්ඩිල යටතේ නව සේනාංකයක් පත් කරන ලෙස මම රජතුමාගෙන් ඉල්ලා සිටිනවා.”

“ඔව්, ඒ අදහස හොඳයි. නමුත් ඉක්මන් නොවී හෙමින් සීරුවේ තීරණ ගනිමු. කිසිවකුගේ සිත් නොරිදෙන ලෙස තීරණ ගනිමු.”

“සිරිනාගට පිදෙන උපහාරය ගැනත් විවිධ ආකල්ප ඇති. ඒත් අපේ රජතුමා දක්ෂ අවංක නිලධාරීන්ට කැමතියි.”

“මහ සෙනෙවිතුමනි, මට නම් දැන් කාලයක සිටම පවතින්නේ කළකිරීමක්. ඒ නිසායි මම සම්මාන පරිත්‍යාග පිරිනැමීම ප්‍රතික්ෂේප කළේ.”

“ඔව් සිරිනාග, රජතුමා ඔබ කෙරෙහි විශාල පැහැදීමකින් සිටින්නේ. ජයනාථ සිටුතුමා කැමති කරවා ගැනීම අප ලැබූ ජයග්‍රහණයක්. කුණ්ඩල බ්‍රාහ්මණතුමාත් අපේ පැත්තට හරවා ගන්න පුළුවන් නම් ලොකු වාසියක්.”

“අද රාජ සභාවට පැමිණි සියලු දෙනාටම දිවා භෝජනය රාජ මාලිගයෙන්. සිරිනාගට රන් කහවණු විසි දහසක් දෙන්නට රජතුමා තීරණය කළා. දැන් අපි යමු.” සියලු කටයුතු පැය දෙකකින් පමණ අවසන් කිරීමටයි. රජතුමාගේ අදහස.