Print this Article


පහන් සිතක කවි

දැමුණු සිතින්

අලව් නුවර යක් විමනට - සම්බුදු හිමි වැඩම කළා
යක් මැදුරේ නඩු විසඳන - මහ අසුනේ වැඩ සිටියා
ඒකයැ, යක් සෙන්පතියනි - අප පාලන කරන පුටුවෙ
ශ්‍රමණ කෙනෙක් වාඩිවෙලා - යකෙක් කියයි ගත වෙවුලා

කලබල වුණු අලව් යකුව - පවනට බඳු වේගයෙන්ම
ගල්, මුල්, වලවල් නොතකා - භවන සොයා දිව යනවා

පලයං ඔතනින් එළියට - නැවතත් ඇතුළටම වරෙන්
මහ හය්යෙන් අඩි හප්පා - කෑගසමින් අණ දෙනවා

පළමු දෙවැනි තෙවැනි වරත් - එළියට ඇතුළට වැඩියා
නිහඬ ව සන්සුන් ගමනින් - අවනත බව පෙන්වූවා

සිව්වන වර අණ ලැබුණා - බුදුහිමි අසුනෙම උන්නා
හැකි දෙය දැන් කරන්න හැකි - යකුට අවස්ථා දුන්නා

පරපුරෙ අපෙ මහ යක්කූ - රැකගෙන ආ පැනයක් වූ
විසඳාලනු බැරි නරහට - මරණය උරුමය අත් වූ

හත්කඩකට ඔළුව පලා - පර සක්වල ගලෙන් එහා
විසි කළ හැකි ජව පෙන්නා - උද්දාමෙන් උඩ පැන්නා

ඇසු ඇසු හැම පැනයට බුදුහිමි පිළිතුරු දුන්නා
දහම් පිපාසය ඇති වී - තෙරුවන් වෙත ළං වෙනවා

නම්‍යශීලී වන ගුණයත් - හැම දෙනාට කන්දීමත්
යකු දමනය අප සිත් ගත් - දෙන පාඩම හරි වැදගත්


නිකිණි පෝයදා

සමයක් නිසා වැසි වැඩි මතු තුන් මාසේ
රුක්මුල් අසල ඇතිවන සීතල දැඩි සේ
අපහසු නිසා කරනට බණදම් රිසි සේ
එකතැන විසීමට දුන්නා උපදේසේ

පෙරවස් වසන්නට තිබුණත් පෝයට ඇසළ
මඟහැරුනොතින් සඟරුවනට ලැබුමට සීල
පසුවස් වසන්නට පොහො දින විසුල
නිකිණි පෝය දා සිදුවෙයි විලසින් පතළ

ලලාට ධාතුන් වහන්සේ සම්බුදුහිමියන්ගේ
තැන්පත් කරවන්න මත්තෙහි ලක් මවගේ
ඉදිකරවන්න සේරුවාවිල වෙහෙර අගේ
වැඩ ඇරඹුණේ නිකිණි පොහෝදා ඈත යුගේ

දෙසු දම් සයුර අපෙ සම්මා සම්බුදු හිමි
මතකයෙ තබා ගත් මැනවින් නැතුව නිමි
ලැබුවේ රහත් භාවය බිඳ සසර බැමි
නිකිණි පෝයදා මහ ආනන්ද හිමි

ගෞතම බුදුන්ගේ මහ පරිනිර්වාණෙන්
තෙමසක් ගෙවුණු දා මහ කසුප් තෙරුන්
මුල්තැන අරන් අජාසත් රජු අනුබලෙන්
නිකිණි පෝය දා කළේ සංගායනේ මුලින්

සම්බුදු සමිඳු වැඩ සිටියදි දෙව්රම් වෙහෙර
එළඹුණු වස් සමයෙ එකුන් පසළොස් වසර
අසා බුදුන්ගෙන් රාහුල හිමි රාහුල සුතුර
ලැබුවේ රහත්භාවය පොහොදා නිකිණි පුර

දළදා සමිඳුට පුදමින් බොදු උපහාර
කරනා උතුම් පෙරහර මංගල්ලේ මෙවර
සෙංකඩගල වීදි සරන අවසන් රන්දෝලි පෙරහර
දිනේ උතුම් පුන් පොහොදා නිකිණි පුර


පිය සෙනෙහස

දස මාසයක් මා කුසයේ නොදැරුවට
ඔබෙ සෙනෙහසේ අඩුවක් නොදැනුණා මට
පිය සෙනෙහසට කවි මල් දම් ගොතන්නට
නමදිමි ඔබෙ දෙපා පෙර මෙන් අදත් හෙට

දරුවන් හොඳින් ලොව ජීවත් කරවන්න
ඔබ විඳි ගැහැට බෑ වචනෙන් පවසන්න
අප නෙත් පාදවා දිවිමඟ රැක ගන්න
ඔබ ඉවසුවා හැමදාමත් කුස ගින්න

ජීවත් වෙන්න කොපමණ කළමුත් යුද්දේ
ඔබෙ ජීවිතේ තිබුණේ නෑ බොරු සද්දේ
ඇතමුත් ගැරහුවත් ඔබ හට නිව රැද්දේ
ඔබ නම් ඔවුන්ගේ නෑ කකුළෙන් ඇද්දේ

දරුවොත් හදා දරුමුණුපුරණුත් රැකලා
බිරිඳට ගම රටට යුතුකම් ඉටු කරලා
ඔබෙ ජීවිතේ හැට හය වසරක් ගෙවලා
කුමටද? ඔබ ගියේ ගිහි ගෙය කළකිරිලා

දැවටුණ දා පටන් සිරුරේ කසාවත
සසුනට ඔබෙන් වරදක් නම් වුණේ නැත
තද කරගෙන සිටි නමුදු ඔබගේ සෙනේ සිත
දරු පෙම කියා පෑවා ඔබෙ නීල නෙත

නිසසල නිසලවිල පින්බිම තුඹුල්ලේ
දැහැමින් සෙමෙන් කල් ගෙව්වා නිදැල්ලේ
අප නොපැතූ විලස එළිවෙන ඇසිල්ලේ
ඔබ සැනසුණානේ මරුවගෙ තුරුල්ලේ


සසුනඹරේ සඳ

හිස මුඩුකර ගත කසාවතක් හැඳ
සන්සුන් ගමනින් පා තබනා
මා කුසහොත් පුත නුඹ මට ඈතයි
ගව්ගණනක් දුර ඈත් වෙලා
සිතට දැනෙන දුක ඉහළ ගොසින් අද
සක්විති රජකම උරුම වෙලා
නෙතඟේ කඳුළැලි දෝරෙ ගලා යයි
සසුනඹරේ සඳ එළිය වෙලා
දුව පැන හැම තැන බත් ගුලි කර කැව්
සුරතින් රස කරලා
ගෙපැලෙහි ඉදෙනා දනක් පුදන්නට
වඩිනු මැනවි කුළුණින් හිතලා


ගමන

බුදු ගුණ නිතර නිතරම සිහි කරන්නට
දෙසු දහමින් සිතට සැනසුම ලබන්නට
සඟ ගුණ අපේ ජීවිතයට ළං වන්නට
වඳිනෙමි සදා තෙරුවන් ගුණ මුල්තැනට

මිනිසකු විලස මිහිපිට අප ඉපදෙන්ට
කොතරම් පිනක් ඇත්දැයි යහපත් ලෙසට
පස් පව්වලින් ජීවිතයට මුදවන්ට
අදිටන් කර ගනිමු බුදු ගුණ මෙනෙහි කොට

ලැබුණු ජීවිතෙන් හරි හැටි වැඩ ගන්ට
කොපමණ දෙනා දැයි යන්නේ හරි මඟට
පස් පව් නොකර මතු සසරේ ජය ගන්ට
පැතුම් පතම් මතු භවයෙ දී ඉපදෙන්ට

ඉපදෙන විටදි අප ගෙන ආදේ නැත්තේ
කළ හොඳ නොහොඳ බව සැමදෙන දත යුත්තේ
මොහොතින් මොහොත මරණෙට ළං වනු ඇත්තේ
ආගම දහමටයි ජීවත් විය යුත්තේ