Print this Article


නිදහස් චින්තනය අගය කරන බුදුදහමට විදේශිකයන් කැමැතියි

නිදහස් චින්තනය අගය කරන බුදුදහමට විදේශිකයන් කැමැතියි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වතෝගල ධම්මික නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ය

විද්‍යොදය පිරිවෙනේ වර්ග පටිපාටියෙන් ප්‍රමුඛයාවෙමින් දක්ෂතම ශිෂ්‍යයාට හිමිවන ස්‍යාමරාජ ත්‍යාගය දිනාගෙන ධර්ම ශාස්ත්‍රීය ලෝකයේ නැණ සයුර තරණය කිරීමට පිවිසි ඔබ වහන්සේට කුඩා අවධියේ ගුරු හාමුදුරුවන්ගෙන් ලැබුණු ආභාසය පැහැදිලි කරන්න අපේ හාමුදුරුවනේ,

යක්කලමුල්ලේ ‘වතෝගල’ සුන්දර ගම්මානයේ ගැමිකම රකිමින් ඉතාමත් ශ්‍රද්ධා බුද්ධිසම්පන්නව ජීවත්වුණු සැදැහැති මව්පියන්ගෙන් ලැබුණු ආදර්ශවත් ජීවිතය මගේ ජීවිතයට විශාල ආලෝකයක් එක්කළ බව මේ අවස්ථාවේ දී පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කළ යුතුයි. ඒ ආදරණීය මෑණියන් වගේම සෙනෙහෙබර පියාණන් වචනයේ පරිසමාථාර්ථයෙන් ම පූර්වාචාර්යවරුන් වුණා. දරුවන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්නට, ගුණ නැණ බෙලෙන් පෝෂණය කරන්නට ගත් උත්සාහයට කෘතවේදී විය යුතුයි.

ඒ වගේම සංසාරේ පුරණ ලද පාරමිතා බලයක් නිසා වෙන්නැති පුංචි කාලයේ සිටම පැවිදිවීමට ආසාවක් ඇති වුණේ. ඒ අනුව වතෝගල ශ්‍රී තපෝධනාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත, කර්මවාගාචාර්ය කුඹල්ගොඩ සුගුණතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් වතෝගල ධම්මික යන උත්තරීතර ශාසනික නාමයෙන් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදිබව ලබන්නට තරම් පූර්වෝකෘත පුණ්‍යමහිමය බලවත් වුණා.

පැවිදිවීමෙන් අනතුරුව පැවිදි දිවියට ඇවැසි මූලික බණ දහම් වත් පිළිවෙත් ගුරුදේවෝත්තමපාදයන් වහන්සේ සෙවණේ වසර 04 ක් පුරා පුරුදු පුහුණු වෙමින් පිරිවෙන් අධ්‍යාපනය සඳහා ලංකා ශාසනම්බරය ආලෝකවත් කළ දීප්තිමත් පරිවේණාස්ථානයක් වුණු කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වුණා. දවුල්දෙන ඤාණිස්සර නා හිමි, බෙල්ලන ඤාණවිමල නාහිමි, හෑගොඩ ඛේමානන්ද නා හිමි, තලල්ලේ සේකර නාහිමි, අකුරටියේ අමරවංශ නාහිමි ආදී මහා වියත් පඬිවරුන් ඇසුරේ ධර්ම ශාස්ත්‍රිය ශික්ෂණය ලබා ගත්තා. අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යයෙන් අත්දැකීම්වලින්, විචක්ෂණ බුද්ධියෙන් පිරිපුන් ධර්ම විනයධර, ශ්‍රද්ධා සම්පන්න ආදර්ශවත් සංඝ නේතෘන් වහන්සේගෙන් ලැබුණු ආභාසය උතුම් පැවිදි ජීවිතයක් ලැබීමට විශාල ශක්තියක් වුණ බවත් කෘතවේදීව ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුයි.

ශාසනානුලෝමි හැඟීමෙන් ශාස්ත්‍රෝන්නකිකාමිත්වයෙන් යුතුව ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විද්‍යෝදය පිරිවෙනේ අවසාන පරීක්ෂණයට පෙනීසිටීමටත්, ප්‍රථමයෙන් අවසාන ප්‍රථමාංශ පරීක්ෂණ වර්ගයේ සිටියදීම රාජකීය පණ්ඩිත උපාධිය ඉහළින්ම සමත් වුණා. 1986 වර්ෂයේ දී විද්‍යෝදය පිරිවෙනේ දක්ෂතම ශිෂ්‍යයාට හිමිවන ස්‍යාමරාජ ත්‍යාගය ලබා ගැනීමේ ගෞරවයත් ලබා ගත්තා.

එම කාල පරිච්ඡේදයේ දී ම මල්වතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ විශේෂ ප්‍රශංසාවට භාජනය වෙමින් මානම්පිට, පි‍්‍රයදර්ශනාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ, ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති රෑකඩහේනේ චන්දජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සුපරිසුද්ධෝපසම්පදාව ලබා ගැනීමට තරම් භාග්‍යවන්ත වුණා.

1986 වර්ෂයේ දී උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පන්ති සාමාර්ථයක් සහිතව ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත්, ශාස්ත්‍රපති උපාධියත් ලබා ගෙන ගාල්ල නාකියාදෙණිය සරණපාල පිරිවෙනේ පරිවේණාචාර්යවරයකු වශයෙන් ගුරුසේවය ආරම්භ කළා. වසර 06ක් ගුරු වෘත්තියේ නියැළෙමින් සිටි කාලපරිච්ඡේදයේ දී ම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා ගැනීමට කටයුතු කළා.

බුදුදහමත්, සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි වැනි භාෂා පිළිබඳ දැනුමෙන් පිරිපුන් වියත් පඬිරුවනක් වශයෙන් ඉතාලි බ්‍රෙෂියා විහාරස්ථානය කේන්ද්‍රකොට ගනිමින් දේශිය මෙන්ම විදේශීයව සිදු කරන ධර්ම ශාස්ත්‍රිය හා සමාජීය ප්‍රදානයන් පිළිබඳ සඳහන් කරන්න නායක හාමුදුරුවනේ,

මම ගුරුවෘත්තියේ යෙදී සිටි කාලයේ තමයි ප්‍රංශයට වැඩම කළේ. ඒ ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආරාධනාවකට අනුව ප්‍රංශයට වැඩම කරමින් වසර 5 ක කාලයක් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ආගමික අධ්‍යාපනික හා සාමාජික කටයුතුවලට නායක ස්වාමීන් වහන්සේට ආධාර උපකාර කළා.

අනතුරුව 2002 වර්ෂයේ සිට 2007 දක්වා ඉතාලියේ වොරෝනා බෞද්ධ මධ්‍යස්ථානයේ ආගමික කටයුතුවල නිරතව සිටිමින් ගී‍්‍රසියේ ඇතැන්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපති වශයෙන් වසර 03 ක් කටයුතු කළා. ඒ වගේම 2012 වර්ෂයේ සිට වර්තමානය දක්වා ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධ විහාරයේ විහාරාධිපති ධුරය හොබවමින් වසර 10 කට අධික කාලයක් ඉතාලියේ වැඩ වෙසෙමින් ශ්‍රී ලාංකිකයන්ට වගේම එරට සිටින අනෙකුත් බෞද්ධ ජනතාවට ආගමික අවශ්‍යතා ඉටුකර දීමට ධර්මදූත ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් කැපවීමෙන් කටයුතු කරනවා. ඒ වගේම ධර්ම ශාස්ත්‍රාභිලාභීන්ට ප්‍රයෝජනවත් වන ආකාරයට ග්‍රන්ථ කිහිපයක් රචනා කළා. ඒ අතර පාලි ගාථා ප්‍රබන්ධයක් වූ භක්ති කුසුමාවලී, ව්‍යවහාර සංඛ්‍යා නාම පිළිබඳ සමාජ වාග් විද්‍යාත්මක විග්‍රහය, ජීවිතය සරසන කර්මය හා කර්මඵලය, බුදුන් වහන්සේ වදාළ ශ්‍රද්ධාව, ත්‍රිපිටකයෙන් හෙළිවන බුද්ධ ඤාණ විවරණය ආදී ග්‍රන්ථ කිහිපයක්. බ්‍රෙෂියා විහාරස්ථානයට සම්බන්ධව බ්‍රෙෂියා ශ්‍රී ලංකා ආගමික අධ්‍යාපනික හා සංස්කෘතික සංවිධානය ආරම්භ කරමින් එහි සභාපති වශයෙන් සමාජීය වශයෙන් විශාල කාර්යභාරයක් සිදු කරනවා. ඒ මාර්ගයෙන් ලංකාවේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ, වගේම ශිෂ්‍යයත්ව ලබා දෙනවා. දුප්පත් ජනතාවට වියළි ආහාර, ගැබිනි මව්වරුන්ට ආධාර උපකාර, රෝහල් සඳහා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරනවා. ඊට අමතරව එක්සත් සුබ සාධක සංගමයේ අනුශාසක වශයෙන් සමාජ, සංස්කෘතික පොදු වැඩවලදී සහයෝගය උපරිමයෙන්ම ලබා දෙනවා.

විදේශීය ධර්ම දූත ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් සිදුකරන ලෝක ආගමික සේවය සම්භාවනාවට පාත්‍ර කරමින් ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක සංඝ සභාව විසින් සද්ධර්මකීර්ති ශ්‍රී සෝභිත සුගුණතිස්ස යන ගෞරව නාමය සහිතව ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය පිරිනැමීමට කටයුතු කළා.

බහුශ්‍රැත පඬිරුවනක් වශයෙන් කීර්තිධර ඔබ වහන්සේ නූතන ලංකාවේ බුදු දහමේ ව්‍යාප්තිය පිළිබඳ දරන ආකල්පය කෙබඳුදැයි පැහැදිලි කරමින් සාකච්ඡාව අවසන් කරමු නායක හාමුදුරුවනේ,

අපේ රටට වඩා යුරෝපීය ජාතිකයන් බුදු දහම ගැඹුරින් අධ්‍යයනය කරනවා. බුදුදහම හොඳට කියවා, ප්‍රගුණ කරමින් ප්‍රායෝගිකව භාවනාවට යොමුවෙනවා. බුදුරජාණන් වහන්සේගේ මානව ගුණයට, නිදහස් චින්තනයට බොහෝ සේ ගරු කරනවා. ඔවුන් ආගම වැළඳ ගත්තේ නැතත්, කියවා ඉගෙන ගන්නවා. තවදුරටත් හදාරනවා චතුරාර්ය සත්‍ය පිළිබඳ පොත් පත් කියවා එම කරුණු තවදුරටත් පැහැදිලි කරගන්න කරුණු විමසනවා. බුදුදහම අවිහිංසාව නිදහස් චින්තනය අගය කරන ආගමක් නිසා විදේශිකයන් බුදු දහමට බොහෝ කැමැතියි. භාවනා ක්‍රම පුහුණු කරන භාවනා මධ්‍යස්ථාන තිබෙනවා. ලංකාවේ පරිසරයට වඩා බොහොම වෙනස් ස්වභාවයක් ඒ රටවල තිබෙන්නේ. ඉතාලි සමාජය වර්තමානය වන විට වහ වහා බුදුදහම වැළඳගන්න ස්වභාවයක් තිබෙනවා. බුදුදහම කෙරේ විශාල ඉල්ලුමක් තිබෙනවා. සොර සතුරු බිය, පළිගැනීම්, වෛරකිරීම්, අවිශ්වාස කිරීම් ඒ රටවල නැහැ.