Print this Article


ජාතියට ජීවය දුන් අසහාය නායකත්වය අනගාරික ධර්මපාලතුමා

ජාතියට ජීවය දුන් අසහාය නායකත්වය අනගාරික ධර්මපාලතුමා

වර්ෂ 1864 සැප්තැම්බර් මස 17 වන දින දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමාගේ සහ මල්ලිකා හේවාවිතාරණ ළමාතැනියගේ ජ්‍යෙෂ්ඨ පුත් රුවන ලෙස ජන්මලාභය ලද අනගාරික ධර්මපාලතුමන් තත්කාලීන සමාජ සම්මතය අනුව දොන් ඩේවිඩ් හේවාවිතාරණ යයි නම් ලැබීය.

කෝට්ටේ ක්‍රිස්තියානි පාසල, කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක අධ්‍යාපනය ලද දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා රජයේ ලිපිකාර තනතුරක කටයුතු කරමින් සිටියදී ගෘහස්ථ ජීවිතයෙන් වෙන් වී අනගාරික ජීවිතයට ඇතුළත්ව අනගාරික ධර්මපාල යයි නම් ලැබීය.

කුඩා කල පටන් ම කොටහේන දීපදුත්තමාරාමයේ වැඩසිටි මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමි, විද්‍යොදය පිරිවනේ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි වැනි ශ්‍රේෂ්ඨ මහා යතිවරුන්ගේ ඇසුර ලබමින් බුදුදහම පිළිබඳ ඉගෙනීම ලද ධර්මපාල තුමන් සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් ලංකාවට පැමිණීමෙන් පසු එතුමන්ගේ කටයුතු සඳහා ද දායකත්වය දැක්වීය.

වර්ෂ 1892 අමෙරිකාවේ චිකාගෝ නුවර දෘෂ්ටි සම්මේලනයට සහභාගී වෙමින් බුදුදහම පිළිබඳ උනන්දුවක් යුරෝපීයයන් තුළ ඇති කරවීමට ධර්මපාලතුමා සමත් විය.

දඹදිව බුද්ධගයාව හින්දු භක්තික මහන්තා විසින් තම ග්‍රහණයට හසු කරගෙන තිබෙනු දුටු ධර්මපාලතුමා මහාබෝධි සංගමය පිහිටුවා විධිමත් පියවර ගනිමින් බුද්ධගයා පුදබිම ඇතුළු දඹදිව සිද්ධස්ථාන යළි බෞද්ධයන් වෙත හිමි කර දීමට කටයුතු කළේ ය.

මෙරට ජනතාවගේ ජීවන තත්වය නඟාසිටුවීමට නම් අධ්‍යාපනය සහ ආර්ථිකය දියුණු කළ යුතු බව හඳුනා ගත් ධර්මපාලතුමා ස්වකීය ධනව්‍යයෙන් බෞද්ධ පාසල් ආරම්භ කිරීමටත්, විවිධ කර්මාන්ත ආරම්භ කිරීමටත් කටයුතු කළේ ය.

රටේ විවිධ ප්‍රදේශවල මහ බෝධි සමාගම මගින් පාලනය කෙරෙන පාසල් ආරම්භ කොට ඒවායේ නඩත්තු පිණිස තම පරපුරෙන් උරුම වූ වස්තු සම්භාරයන් වෙන් කොට තැබීය. හිනිදුම පේෂකර්ම පාඨශාලාව වැනි වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන ඇති කිරීමත් විවිධ කර්මාන්ත පිළිබඳ පුහුණුවක් ලබා දීමට තරුණ පිරිස් වෙත ශිෂ්‍යත්ව පිරිනමා විදේශ ගත කිරීමටත් ධර්මපාලතුමා උත්සුක විය.

සෝබන මාලිගාව නම් විශේෂ රථයක නැඟී රට පුරා චාරිකාවෙහි යෙදෙමින් ලක්වාසීන් තුළ දෙස, බස, දැය, සමය යන සිවු රුවන පිළිබඳ උනන්දුවක් ඇති කරවීමටත්, දේශීය සිරිත් විරිත් අගය කරන යහපත් සමාජයක් ඇති කරවීමටත් දේශන පැවැත්වීය.

රටේ තරුණ පිරිස අතර දුසිරිත් පැතිරීම වැළැක්වීම පිණිස ලිපි ලේඛන සම්පාදනය කිරීමටත් ධර්මපාලතුමා කටයුතු කළේ ය. ත්‍රිපිටක ධර්මග්‍රන්ථයන් වෙනුවෙන් සකස් කළ අට්ඨකතා විධිමත් ලෙස සංශෝධනය කොට මුද්‍රණය කරවීම පිණිස වියත් මහ තෙරවරුන්ගේ දායකත්වය ලබමින් සිය සොහොයුරු සී. ඒ. හේවාවිතාරණ මැතිතුමා යොමු කරවන ලද්දේ ධර්මපාලතුමා විසිනි.

නිබඳ චාම් දිවි පෙවෙතක අගය දුටු ධර්මපාලතුමා ආදර්ශයෙන් ම එම පිළිවෙත් අගය කළ අයකු විය. ගවමස් කෑම, නිකරුණේ හිඳීමින් කාලය කා දැමීම, සංකර යුරෝපීය සිරිත්විරිත් අනුගමනය කිරීම වැනි කරුණු එතුමන්ගේ විවේචනයට බඳුන් වූ බව සඳහන් කළ යුතු ය.

තමන් විසින් ම ගොඩ නංවන ලද දඹදිව සාරානාත් හි මූලගන්ධකුටි විහාරයේ දී ස්වකීය ජීවිතයේ අවසාන කාල වකවානුවේ දී සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිබිමට පත් වූ අනගාරික ධර්මපාලතුමා 1933 අප්‍රේල් මස 29 වන දින අපවත් වී වදාළ සේක.