Print this Article


සිත දෙස බලන්න මොහොතක් වෙන් කරන්න

සිත දෙස බලන්න මොහොතක් වෙන් කරන්න

ළඟ මිස දුර නොබලන තාක් අනුවණයා, වෛර සිතිවිලිම වර්ධනය කරමින් අවස්ථාව එළඹෙන තුරු බලා සිටිනු ඇත. මෙයින් සිදුවන්නේ තමා නොදැනුවත්ව ම තමන් මුළාවට පත් වීමයි.

වෛරී සිත දවන්නේ අනුන් නොව තමන් බව වටහා ගත යුතුව ඇත. මේ සඳහා තම ජීවිතය දෙස ආපසු හැරී බැලීම වැදගත් ය. ගෙවුණු ජීවිතයේ අන්‍යයන් ගැන මොන තරම් වෛරී සිතිවිලි පහළ වී තිබුණා ද? එයින් සිදුවුණේ යහපතක් ද? අයහපතක් ද? මෛත්‍රියෙන් කටයුතු කළා නම් ඉන් ලැබෙන සැනසීම මොන තරම් ද? අපගේ ප්‍රශ්න විසඳා ගැනීමට ඒ මෛත්‍රී සිතිවිලි මොනතරම් ශක්තියක් වනවා ද? මෙසේ කල්පනා කරන, නුවණින් විමසන පුද්ගලයාට වෛරී සිතිවිලිවලින් බැහැරව මෛත්‍රී සිතිවිලි වැඩීම පහසුවනු ඇත.

තමන්ට කෙනෙක් වෛර කරනවා නම්, පෙරළා තමන් ද ඒ පුද්ගලයාට වෛර කරනවා නම් එහි කෙළවරක් දකින්නේ කෙලෙස ද? ඉපදෙමින් මැරෙමින් යන සසර ගමන පුරාම දිගින් දිගටම එකිනෙකාට වෛර කරමින්, පළිගනිමින්, දුක් වේදනා පිරුණු ගමනක් යනවා මිස සැපතක් නම් නොලැබෙන්නේය. බෞද්ධ සාහිත්‍යයෙහි එන කාල යක්ෂණියගේ කතාව මෙයට හොඳ උදාහරණයකි. ඇය එකම ආත්ම භාවයක වඳ ස්ත්‍රියකි. ඇය දරුවන් නො ලද හෙයින් සැමියා තවත් විවාහයක් කර ගත්තේ ය. ගැබ්ගත් අලුත් බිරිය ගැන ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයකින්, වෛරයෙන් ඒ දරු ගැබ විනාශ කරවන්නට ඇය ක්‍රියා කළා ය.

මේ සිදුවීම පදනම් කර ගනිමින් ඒ කාන්තාවන් දෙදෙනා අතර ඇති වූ වෛරය කිකිළියක සහ බැළලියක ලෙස ඉපදුණු ආත්ම භවයේ දී මතුව ආවේ ය. කිකිළිය දමන බිත්තර සියල්ල බැළලිය විසින් කාදමනු ලැබුවාය . ඊළඟ ආත්ම භවයක ඔවුන් මුව දෙනක හා දිවි දෙනක ව ඉපදිණි. දිවිදෙන මුවදෙනගේ පැටවුන් සියල්ල කා දැමුවා ය. ඊළඟ භවයෙ දී මුව දෙන යක්ෂණියක වී ඉපදිණි. දිවිදෙන මනුෂ්‍ය ස්ත්‍රියක් ව ඉපදිණි. පෙර භවයේ තම පැටවුන් කා දැමීමේ වරදට වෛර සිතින් දුන් දඬුවම මනුෂ්‍ය ස්ත්‍රියගේ දරුවන් දෙදෙනා විනාශ කිරීමයි.

මේ නොසන්සිඳුණු වෛරය සංසාරගතව ක්‍රියාත්මක වූ ආකාරයයි. තුන්වැනි දරුවා ද විනාශ කරන්නට සැරසුණ ද බුදුරදුන්ගේ මහා කරුණාව නිසා වෛරය සංසිඳවා ගන්නට හැකි විය.

බුද්ධිමත් ව ජීවත්වන අයකුගේ ප්‍රධාන වැදගත් ලක්ෂණයක් විය යුත්තේ තමන් කරන කියන දෑ පිළිබඳ ඉතා හොඳින් නැවත නැවත සිතා බලා කටයුතු කිරීමයි. විශේෂයෙන් මෙහි දී සැලකිය යුතු වන්නේ තමන් කරන කියන දේට මුල් වන සිතිවිලිවල ස්වභාවය හඳුනා ගැනීමයි. හොඳ නරක සිතිවිලිවල ස්වභාවයත්, ඒවායේ ප්‍රතිඵලත් අප නිවැරැදිව තේරුම් ගත යුතු ය. හරි – වැරැදි තේරුම් නොගෙන සසර ගමන දුක් ගොඩකට පත්වූ ජීවිත මොනතරම් ද?

එක්තරා, වෛද්‍යවරයකු ඇස් රෝගයකින් පෙළුණු ස්ත්‍රියකට ප්‍රතිකාර කළේ සුව වූ පසුව ඇය තමාගේ සේවිකාවක බවට පත්වන බව පැවැසූ නිසා ය. පොරොන්දු වූ පරිදි ඇය ක්‍රියා නොකළ නිසා වෛද්‍යවරයාගේ සිතට තරහ ආයේ ය. ඔහුට ස්ත්‍රියගෙන් පළිගැනීමට සිතිණි. ඒ දූෂිත සිතින් යුතුව හෙතෙම විෂ බෙහෙතක් පිළියෙළ කර එයින් ස්ත්‍රියගේ ඇස් දෙකම අන්ධ කළේ ය. එහි ප්‍රතිඵල වශයෙන් ඔහුට සසර දී විවිධ දුක් විඳීමට සිදුවූ අතර පැවිදිව රහත් වූ ආත්ම භාවයෙහි දී ඇස් දෙකම අන්ධ විය. ඒ තරම් බරපතළ ලෙස විපාක විඳීමට සිදුවූයේ නරක, නපුරු සිතින් එම ස්ත්‍රියගේ ඇස් අන්ධ කළ හෙයිනි. නරක සිත් උපදවාගෙන පාපී ක්‍රියා කළ හොත් ඒවායේ දුක් විපාක විඳින්නට සිදුවන්නේ අපටම ය.

අන්‍යයන්ට දොස් නඟන්නට කැමැති වුව ද දොස් අසන්නට බොහෝ අය කැමැති නැත. නින්දා අපහාස, ඇණුම් බැනුම් ඉදිරියේ නිහඬ වනවා වෙනුවට පෙරළා අනෙකාට ද එලෙසම පිළිතුරු දෙන්නට ඇතැම් අය ලජ්ජා නොවෙති.

බණ පොතේ සඳහන් වන ආකාරයට එය කෙළවලින් සොටුවලින්, මළ මුත්‍රවලින් අපිරිසුදු වූ තැනක් පිරිසුදු කරන්නට ඒ අයුරින්ම කෙළ, සොටු, මළ මූත්‍රා යොදා ගැනීමක් හා සමාන ය. එහි අවසන් ඵලය කුමක් වේ ද? සිතා ගැන්ම ම පිළිකුල් ය. වෛරී සිතිවිලි ද එවැනි ය. ඔවුනොවුන්ට වෛර කරන්නෝ මේ ජීවිතයේ දී ම මානසික රෝගීහු වෙති. කායික රෝගීහු ද වෙති. සංසාරගත ව ද රෝගීහු වෙති. අනුන්ගේ සම්පත් දැක, දියුණුව, උසස්කම් දැක, කීර්තිය දැක ඒ දෙස වපර ඇසින් බලා ඒ ගැනම සිතමින් වෛරී සිතිවිලි ඇති කර ගන්නවා නම්, ඒ හැම මොහොතක් පාසා ම සිත මොනතරම් ගිනියම් වනවා ද? තමන් වෛර නොකරන්නා සේ ම තමන්ට වෛර කරන අය ගැන ද අනුකම්පා සිතින් බලන්න. ඔහු මානසික රෝගියකු ලෙස සිතන්න.

පිළිගත්ත ද, නොපිළිගත්ත ද වෛර කිරීමේ වරද ඔහුට කියා දෙන්න.

මිනිසුන් ලෙස අප හැම දෙනා තුළම විවිධ දුර්වලකම් විවිධ මට්ටමින් පවතී. ඊර්ෂ්‍යාව , ක්‍රෝධය, වෛරය, පලිගැනීම, ආශාව යන මේ සිතිවිලි සැමට පොදු ය. ගැටලු උපදින්නේ මේවායේ දුර්විපාක අවබෝධ කර නොගැනීම නිසා ය.

ලෞකික වින්දනයක් ම සොයමින් ඒ පසුපස ම හඹායන අප අතර වන තරගකාරිත්වය, අතෘප්තිකර ආශාව හෙවත් අසීමිත තණ්හාව ඉහත කී නරක සිතිවිලි උපදින්නට මූලික හේතුවයි. එහි ප්‍රතිඵලය දුක් කන්දරාවක උරුමයයි.

සිතෙහි ඉපදී සිතම දවන, ගත වෙහෙසන මේ දුර්විපාක හඳුනාගැනීම සතුටුදායක ජීවිතයකට අත්‍යවශ්‍ය ය. ඒ සතුරු සිතිවිලි අයින් කර ගන්නට අප උත්සාහ කළ යුතු ය. සතුරාටත් කරුණාව දක්වන්නට උත්සාහ කරන්න.

අන්‍යයන් තමන්ට වෛර කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ ඔවුන්ට තමන්ගේ සිත පිළිබඳ ඇති අනවබෝධය නිසා ය. නින්දා අපහාස ගැන සිත සිතා ඔවුන් විවේචනය කරන්නට සූදානම් නොවන්න. ඒ තුළ තම සිතෙහි ද වැඩෙන්නේ වෛරය ම ය. එය දුක්ඛදායක බව වේදනාත්මක බව, තේරුම් ගන්න. වෛරයෙන් වෛරය නොසංසිඳේ යනු නොවෙනස් වන සදාතනික ධර්මතාවකි. අඩුම තරමේ වෛර කරන්නාට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා, සිටින්නට හැකි නම් එය ද අගය කරමු.

බුදුරදුහු පෙන්වා දුන් ආකාරයට අපගේ සිතුම් පැතුම් හා හැසිරීම් රටාව වෙනස් කර ගත යුතුව ඇත. පුද්ගලයා නැමැති නෙළුම විකසිත වන්නේ මිනිස් සමාජය නැමැති පොකුණෙහි ය. මවු කුසේ පිළිසිඳ ගැනීමේ පටන් උපත, වැඩිවියට පත්වීම, මහලුවීම, මරණය යන මේ සියල්ල සිදුවන්නේ මේ මඩ සහිත පොකුණ තුළ ය. ඒ තුළ දී අධ්‍යාපනයත්, දිනුම්, පැරදුම්, වාසි අවාසි, නින්දා ප්‍රශංසා යනාදි සියල්ලට ම අප මුහුණ දිය යුතු ය. මේ මඩ සහිත පොකුණ යනු කෙලෙස්වලින් දූෂීත වූ ලෝකයයි. ප්‍රශ්නවලින් පිරුණු මේ කෙලෙස් ලෝකයෙහි ඇලී ගැලී සිටීම අඳුරින් අඳුරට යාමකි. දුකින් දුකට පත්වීමකි. වරදින් තවත් වරදකට යෑමකි. අපිරිසුදු මඬගොඩින් මිදි මඩ වතුරෙන් ද උඩට මතුවී ගිය නෙළුමක් මෙන් මේ සමාජය ඉක්මවා යා යුතුය. එනම් අනුසෝතගාමී නොවී පටිසෝතගාමී විය යුතු ය. වෛර කරන්නන් අතර වෛර නොකර සුව සේ වාසය කළ යුතු ය.

අපගේ සතුටට හා දුකට, මුල්වන්නේ සිත ය. හිමිදිරි උදයේත්, රාත්‍රී නින්දට යන්නට පෙරත් තම සිත දෙස බලන්න මොහොතක් වෙන් කර ගන්න. ප්‍රසන්න මනසකින් අලුත් දිනයට පා තබන්න.