Print this Article


මෘදු ගුණය ජීවිතයට ආභරණයකි

මෘදු ගුණය ජීවිතයට ආභරණයකි

සෑම පුරපසළොස්වක දිනයක් ම තුළ අප විසින් කරණීයමෙත්ත සූත්‍රය ආශ්‍රයෙන් සිදු කෙරෙන ධර්ම කරුණු විමසා බැලීමේ දී අද දවසේ පැහැදිලි කර දීමට උත්සාහ වන්නේ මෙම සූත්‍රයේ එන සිව්වැනි කරුණ වන ”මුදු” කියන මේ දහම් පදය යි. එක්වරම වඩාත් දුරට නොගියත් අපේ භාෂාවේ මෙම වචනය බහුල වශයෙන් භාවිත වෙනවා.

මෙහි සාමාන්‍ය මිශ්‍ර සිංහල වචනය වන්නේ ”මෘදු” යන වචනය යි. ඉතින් මෙහි සරල අදහස ගත්තොත් එයින් කියැවෙන්නේ මොළොක් ගතියයි. තැවෙන ගතියයි. විශේෂයෙන් යම් කරුණක් පිළිබඳ ඇතිකරගනු ලබන දැඩි ස්වභාවයෙන් වෙන් වූ ගතිය යි. අපේ සමාජයේ බහුල වශයෙන් මේ ගුණය නිතර ප්‍රදර්ශනය කරන්න සැබෑ මවුවරුන්, පියවරුන් මුල් තැනක් ගන්නවා. මෙහි දී මම සැබෑ යන වචනය යෙදුවේ දරුවෙකු ලොවට බිහි කළ පමණින් මවක් හෝ ඊට දායක වූ පමණින් පියෙක් කියා අප කිවුවත් එයම මාතෘත්වය හෙවත් මවු පදවිය දැරිමට හෝ පියපදවිය දැරීමට සුදුසුකමක් වන්නේ නැහැ.

හුණුවටයේ කථාව කියලා අපේ ප්‍රසිද්ධ සිංහල නාට්‍යයක් තිබෙනවා. ඒක හරිම ප්‍රසිද්ධ නාට්‍යයක්, මෙම නාට්‍යය බර්ටෝල්ට් බ්‍රෙස්ට් නම් ජර්මන් ජාතික නාට්‍ය කරුවාගේ ක්‍ය්කන සබ එයැ ක්‍සරජකැ නම් නාට්‍යය සිංහලට නඟා රංගනයට පත් කළ එකක්. මෙහි එන එක කවියක පදයක් වන්නේ

මවු ගුණය ඇති අය දරුවන් දිනිය යුතු වෙය.

මෙහි කතුවරයා මවු ගුණය ලෙස අදහස් කර ඇත්තේ දරුවා පිළිබඳ දැක් වූ මෘදු ගුණය බව එම නාට්‍ය රංගනය බලන කවරකුට වුව ද පැහැදිලි වෙයි. මේ අනුව දඩබ්බර, රළුපරළු, ගොරෝසු ගතියෙන් තොරව කය, වචනය, සිත යන දොරටු තුනෙන් ම සිදු වන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇති වන සංවරයේ ස්වභාවය යි මේ. මෙතැන දක්නට ඇත්තේ මනාව හික්මුණු ශිලාචාර බවක්. මෙහි දී සිත ඇතුළත් වන්නේ කායික හා වාචසික සියලු ක්‍රියාකාරකම් සියල්ල සිත මුල් වී සිදු වන බව නිසා ය.

මුඛය නැතිනම් කටත්, ශරීරයෙන් පෙන්වන ඉරියව් යන අංශ දෙකෙන් ම අපේ සිතේ පවත්නා මේ මෘදු ගුණය ප්‍රකාශ වෙනවා. බහුල වශයෙන් ම මුඛයෙන් පිටවෙන වචන තුළ අපේ සිතේ පවත්නා වූ මොළොක් ගතියේ ස්වභාවය තහවුරු කර ගන්නට පුළුවනි.

කටෙන් අපි වචන පිටකරනවා. මේ වචනයේ ශක්තිය හොඳ නරක දෙකට ම එකසේ බලපානවා. මුඛය හෙවත් කට අපේ ශරීරාංග අතර ප්‍රධාන ඉන්ද්‍රියයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවනි. අපේ මුවින් පිට කෙරෙන වචන තමන්ට මෙන්ම එම චවන අසා ගෙන සිටින අයට ද එක සේ බලපානවා. ඒ වචනවල බලපෑම් ඇති කරන්නේ බාහිර ලෝකයට යි. ඒ වචනවල මෘදු ගුණය සවිමත් වූ තරමට එය තමන්ගේ වාසියට බලපානවා. ඒ වචන වඩාත් බාහිර ලෝකයට ප්‍රිය වන්නේ එම වචනයේ ඇති මෘදු මොළොක් ස්වභාවය අනුව යි.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව මෙලොව උපදින සෑම අයෙක් ම එළිය දකින්නේ කටේ කෙටේරියක් ඇතිව බවට බණ පදයක් විස්තර වෙනවා. එහෙම කෙටේරියක් කටේ රඳවා ගෙන මෙලොව කිසිම බිළිඳෙක් උපදින්නේ නැහැ. එහෙම වුණත් මේ බුදුවදනින් කිය වෙන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් වූ අදහසක්.

කෙටේරිය යන ආයුධයේ ලක්ෂණය වන්නේ එහි දෙපැත්තට ම කැපෙන ස්වභාවය යි. මේ කටේ ඇති දෙපැත්ටම කැපෙන ගතිය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ රුදුරු වචන වැල යි.

රුදුරු වචන භාවිත වන්නේ පුද්ගලයාගේ සිතෙන් මෘදු ගුණය බැහැර වූ තරමට යි. එය තමන්ට මෙන්ම බාහිර සමාජයටත් අහිතකර යි. මෙය ධර්මයේ සඳහන් වන්නේ දුබ්බාසිත වචනය ලෙස යි. එනම් දුර්වචන බව යි. එහි සුවච බව යන්න විරුද්ධාර්ථය යි. සුභාෂිතයක් වන්නේ සිතේ මෘදු ගුණය දියුණු කළ විට යි. එමෙන්ම දුර්වච බවක් ඇති වන්නේ බාල හෙවත් පහත් ගති ඇති නිස යි.

තවත් ආකාරයකින් මේ කරුණ ප්‍රකාශ කරන්නේ නම්, යම් අයකු තමන්ගේ යහපත් පැවැත්මට අවශ්‍ය කරන හිරි ඔතප් යන මේ ගුණ ධර්ම එනම් පවට හෙවත් අයහපත් කරුණු කාරණා පිළිබඳ ඇති කර ගත යුතු ලජ්ජාව හා භය යන සිතිවිලිවලින් තොර වූ තරමට ඒ පුද්ගලයා අඳබාල ගතිවලින් යුක්ත වෙනවා.

තිරිසන් ගත සතකුට පවා මේ මටසිලිටු මෘදු ගතියෙන් යුත් වචන තෙපළන විට එම සතා දක්වන්නේ අපරිමිත සබැඳීයාවක්. ඇත්තෙන් ම පුද්ගලයා තුළින් මේ මෘදු ගුණය ඉවත් වන කරුණු කාරණා ද බොහොමයක් සමාජයේ අපට අත්විඳීය හැකියි.

අනුවණ පුද්ගලයා අතට විශාල ධනයක් හිමි වුණොත් එහු ඒ ධනයෙන් මත්වෙයි. මේ ආකාරයෙන් ම විවිධ බලයන් නිසා ද මත්වෙනවා. නිදසුනක් වශයෙන් අපට සමාජයේ අද පහසුවෙන් ම අත්විඳීය හැකි දේශපාලනය මෙහි දී හොඳම කරුණක්. මේ නිසා බොහෝ දෙනෙක් එයින් උඩඟු බවට පත් වී තමන්ගේ මුල අමතක වී ක්‍රියාකරනු දකින්නට පුළුවන්.

එසේ වන්නේ අන්කිසිවක් නිසා නොව අනුවණකම නිසා. එවැනි ලෞකික කරුණු කාරණා කෙරෙහි ගිජුවීමෙන් තමන්ගේ සන්තානයේ කාලාන්තරයක් තිස්සේ දියුණු කර ගත් මෘදු ගතියෙන් ගිලිහෙන්නේ අඳ බාල ගතිය නිස යි. එහෙම වුණත් නුවණැති පුද්ගලයා මේ මොන කරුණු ලාභ ප්‍රයෝජන තාන්න මාන්න හිමි වුවත් වැඩි දියුණු කර ගත් එම මෘදු ගුණය පහව යා නො දී වැඩි දියුණු කරග්නා අයුරු ද අපට මේ සමාජයෙන් කොතෙකුත් නිදසුන් වශයෙන් ලබා ගන්නට පුළුවන්.

ගමන් බිමන්, ඉඳුම් හිටුම්, නින්ද, ආදි මේ සෑම ඉරියව්වක් තුළින් මෘදු ගුණය සැබෑවට ම පවතින පුද්ගලයාගේ වෙනසක් දකින්නට පුළුවන්. එවැනි මෘදු ගුණය ඇති අයෙක් පොදු ප්‍රවාහනයකින් ගමන් කරනවා නම් තමන්ට වයසින් වැඩිහිටි අයෙක්, ගැබිණි මාතාවක් එවැනි බස්රථයකට හෝ නැඟුණු අවස්ථාවක තමන් අසුන් ගෙන සිටි අසුන ඉක්මනින් ම එවැනි අයට ලබා දෙනවා.

වැඩිහිටිකම, පූජනීයත්වය, ගරුබුහුමන් ලැබිය යුත අය දුටු සැණින් වඩාත් නිහතමානි ලෙස ඔවුන් පිළිබඳ ක්‍රියා කරනවා. පිරිසක් මැද කල්ගත කරන අවස්ථාවක, සමිතියක, ජනරාසියක කටයුතු කරන අවස්ථාවක වඩාත් විනීතව, සිත්ගන්නා ලෙස ක්‍රියා කිරීමට එවැනි අයට හොඳ පුරුද්දක් තිබෙනවා.

කිසියම් ක්‍රියාවක්, සතුට ප්‍රකාශ කිරීමක්, මංගල අවස්ථාවක් වැනි කරුණුවල දී පවා බාහිර සමාජයට එවැනි අවස්ථාවක ඇති වන ක්‍රියාකාරකම්වල දී වඩාත් විනිතව ශිලාචාර ලෙස ක්‍රියා කිරීමටත් වගබලා ගන්නවා. මෘදු ගතිය ඇති අය හැම විටම තමන්ගෙන් පිටස්තර වුවන්ගේ සිත් නොතැලෙන ලෙස කටයුතු කිරිමටත් උනන්දු වෙනවා.

අපි මහාත්ම ගතිගුණ ගැන බොහෝ විට කථා කරනවා. එහි දී මහත්මා ගුණයක් ලෙස සඳහන් කරනවා දයා දාක්ෂිණ්‍යය කියලා ගුණ දෙකක්. දයා කියලා එහි දී අදහස් කරන්නේ පරහිතකාමි කරුණා සහගත ස්වභාවයෙන් බාහිර සමාජය කෙරෙහි ක්‍රියාත්මක වීම යි.

දාක්ෂිණ්‍ය යන ගුණයෙන් අරුත් ගන්වන්නේ කිසියම් සමාජ සංවිධානයක, රැස්විම් අවස්ථාවක, පොදු සාකච්ඡාවක දී හෝ කිසියම් යහපත් යෝජනාවක්, අදහසක් යම් කෙනෙක් ඉදිරිපත් කළාම ඊට එකඟ නො වී තමන්ගේ වෙනත් රළු පරළු ගති පෙන්වා ඇතැම් අය ක්‍රියා කිරීම.

එහිදී ඒ අයගේ අදහස වන්නේ තමන්ට වඩා හොඳ යහපත් යෝජනාවක් තවත් අයෙක් සමාජය ඉදිරියේ ප්‍රකාශ කළ විට ඊට ඊර්ෂ්‍යා සහිත බවෙන් යුක්තව විරුද්ධ වන ගතිය. මෙය සමාජයේ දකින්ට ලැබෙනවා.

එහිදි දක්නට ලැබෙන්නේ දාක්ෂිණ්‍ය ගුණයෙන් තොරවීම යි. තමන් නොදන්නා යහපත් දේ සමහර විට තමන්ට වඩා වයසින් බාල දරුවන්ගෙන් පවා අසා දැනගෙන නිහතමානිව කටයුතු කිරිමත් මෘදුගුණය ඇත්තන්ගේ තවත් සුවිශේෂ ලක්ෂණයක්.

ධර්ම සේනාපති සැරියුත් මහ රහතන් වහන්සේ එදින ම පැවිදි වූ සත් වයස් සපිරි දහර සාමණේර හිමිනමක විසින් පවා සුළු අඩුපාඩුවක් පෙන්වා දුන් අවස්ථාවේ එය මුදුනින් ම පිළිගැනිමට තරම් ක්‍රියා කළේ මේ උදාර මෘදු ගුණය නිසාය. ඉතින් මේ ගුණය බාල, මහලු, දැන උගත්, නූගත්, කොයි කවුරුත් විසින් ජීවිතයට හුරුපුරුදු කර ගත යුතු උදාර ගුණයක්. ජීවිතයට ලස්සන ආභරණයක්.