Print this Article


මහනුවර ඇසළ මංගල්‍යය ශ්‍රී ලාංකේය අභිමානය ලෝකයට ගෙන යන ප්‍රබලතම සංස්කෘතිකාංගයක්

මහනුවර ඇසළ මංගල්‍යය ශ්‍රී ලාංකේය අභිමානය ලෝකයට ගෙන යන ප්‍රබලතම සංස්කෘතිකාංගයක්

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල

හෙළයේ විචිත්‍රවත් ම කලා මංගල්‍යයයෙහි ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත්ව පවත්වා අවසන් කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන්ට ය.වසර 2005 දී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයට පත්ව නිල කාලය අවසන් වූ පසු 2015 වසරේ දී යළිත් එම තනතුරට පත්වූ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර මහනුවර ඇසළ පෙරහර සංවිධානය කරන්නේ 18 වැනි වරට ය.පාස්කු ප්‍රහාරය හා කොවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය වසර තුනේ දී ම ජන සහභාගිත්වයකින් තොරව පැවැත් වුණු මහනුවර ඇසළ මංගල්‍යය මෙවර නැරඹීමේ අවස්ථාව මහජනතාවට ලැබී තිබේ. පැරැණි රජ දවස පටන් රාජ්‍ය අනුග්‍රහය මත සංවිධානය කෙරුණු පෙරහර මංගල්‍යය අද පවත්වන්නේ රාජ්‍ය උත්සවයක් ලෙසිනි. මෙවර පෙරහරේ සංවිධාන කටයුතු සම්බන්ධව දියවඩන නිලමේ තුමන් සමඟ කළ සාකච්ඡාවකි මේ...

පසුගිය වසර දෙකේ දී ම මේ රටේ ජනතාවට කොප්පරා පන්දම්වල උණුසුම බලමින් වීදීවලට රැස්ව පෙරහර නැරඹීමට අවස්ථාව ලැබුණේ නැහැ නේද?

කෝවිඩ් ව්‍යාප්තිය එක්ක පෙරහර නැරඹීට සඳහා මහජනතාවට අවස්ථාව ලබා දීමට සෞඛ්‍ය අංශ එකඟ වුණේ නැහැ.මහනුවර ඇසළ පෙරහර නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මහනුවර නගරයට එකතු වෙනවා.කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ ඒ අනුව ම ක්‍රියාත්මක කරමින් මේ ජනතාව හැසිරවීම කළ නොහැකියි. මේ නිසා තමයි සෞඛ්‍ය අංශ මඟින් දැනුම් දුන්නේ ජන සහභාගිත්වයකින් තොරව පෙරහර පවත්වන්න කියලා. මේවන විට කොවිඩ් අවධානමෙන් අපි සෑහෙන දුරට මිදිලා ඉන්නේ. පාස්කු ප්‍රහාරය නිසා ආරක්ෂක හේතුන් මත අපි 2019 වසරේ දී පෙරහර මංගල්‍යය පැවැත්වූයේ ජන සහභාගිත්වයක් නැතිවයි. ඒ නිසා පෙරහර නරඹන්න අවුරුදු තුනකට පස්සේ ජනතාවට අවස්ථාව ලබා දෙන්න මෙවර හැකි වුණා. තාමත් අපේ රටින් කොවිඩ් තුරන් වෙලා නැහැ. මේවන විටත් රෝගීන් දෛනිකව වාර්තා වෙනවා. ඒ ගැනත් සැලකිලිමත් ව පෙරහර මංගල්‍යය නරඹන්න එන්න කියලා මම සැදැහැවතුන්ට කියනවා.

ශ්‍රී දළදා මාලිගාවේ දී දළදා වහන්සේ වෙනුවෙන් වාර්ෂිකව පවත්වන සිව් මංගල්‍යයන් අතරින් දළදා පෙරහර සුවිශේෂි වනවා නේද?

දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, කාර්තික මංගල්‍යය හා ඇසළ පෙරහර මංගල්‍යය ලෙසින් වසරක දී මංගල්‍යයන් හතරක් පවත්වනවා.දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන මේ සියලු මංගල්‍යයන් අතරින් ජනතාවගේ වැඩිම අවධානය දිනා ගන්නේ ඇසළ පෙරහරයි. විදේශ රටවල ජනතාව පවා පෙරහර මංගල්‍යය ගැන අවධානයෙන් සිටිනවා. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර සමඟ පිළිවෙළින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාළ පෙරහර දින 11 ක් පුරා වීදී සංචාරය කරන්නේ කලා කරුවන් දහසකට වැඩි පිරිසක් සමඟයි. ලෝකයේ කොහේවත් මෙපමණ කලාකරුවන් පිරිසක් එක දිගට දින 11 ක් පෙළහර දක්වන උත්සවයක් නැහැ. ශ්‍රී ලංකාවේ අභිමානය ලෝකයට ගෙනයන ප්‍රබලතම අවස්ථාවක් ලෙස මහනුවර ඇසළ මංගල්‍යය පෙන්වා දෙන්න පුළුවන්.

මහනුවර ඇසළ පෙරහර නැරඹීමට දෙස් විදෙස් ජනතාව දක්වන්නේ විශාල උනන්දුවක්. වාර්ෂිකව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙරහර නරඹනවා. දැන් අඛණ්ඩව වසර තුනක් පෙරහර සියැසින් දැක බලා ගැනීමේ අවස්ථාව ජනතාවට අහිමි වුණා නේද?

පාස්කු ප්‍රහාරයෙන් පසුව 2019 දී ජන සහභාගිත්වයක් නොමැතිව පෙරහර කරන්න සිදුවුණා. ආරක්ෂක අංශවල උපදෙස් අනුව තමයි පෙරහර ඒ විදිහට සංවිධානය කළේ වසර තුනකට පසු මෙවර පෙරහර සියැසින් දැක ගන්න ජනතාවට අවස්ථාව ලැබෙනවා.

නැඳුන්ගමුවේ රාජා මිය යාමත් සමඟ දළදා මාලිගා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කිරීමේ දී විශාල කාර්යභාරයක් පැවරෙන්නේ ඉන්දි රාජාට නේද?

මම 2005 දියවඩන නිලමේ ලෙස පත්වුණාට පස්සේ මහනුවර පෙරහරට නැඳුන්ගමුවේ රාජා සම්බන්ධ කර ගත්තා.නැඳුන්ගමුවේ ඇතාගේ පැමිණීමත් එක්ක අපිට සධාතුක කරඬුව වැඩම කරන්න ලංකාවේ ඉන්න සුදුසුම ඇතුන් තිදෙනාගේ ම සේවය ලබා ගැනීමට අවස්ථාව ලැබුණා. අනෙක් ඇතුන් දෙන්නා වන්නේ කතරගම වාසනා හා මාලිගාවේ ඉන්දිරජා යි.

නැදුන් ගමුවේ ඇතාගේ මරණයත්, කතරගම පෙරහර, මහනුවර ඇසළ පෙරහරට සමාගාමීව පැවැත්වීමත් නිසා කතරගම වාසනා ඇතා එම පෙරහරට සම්බන්ධ වීමත් නිසා ඒ ඇතුන් දෙදෙනාගේ ම සේවය මෙවර අපට ලබා ගන්න හැකියාවක් නැහැ.මේ නිසා ඉන්දිරාජා ට වැඩි කාර්යභාරයක් පැවරෙනවා. කොහොම වුණත් දළදා මාලිගාවේ සිංහ රාජා, බුරුම රාජා හා මියන් රාජාත් සධාතුක කරඬුව වැඩම කළ හැකි අයයි.

මහනුවර පෙරහරේ දී උඩරට වෙස් නැටුමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.අදවන විට මේ පාරම්පරික කලා ශිල්ප අභාවයට යමින් තිබීම අනාගතයේ පෙරහර පැවැත්වීමට ගැටලුවක් වේවි නේද?

මහනුවර ඇසළ පෙරහරේ සියලු නර්තන උඩරටට ආවේනික ඒවායි. පහතරට හා සබරගමු සම්ප්‍රදායට අයත් කිසිදු නර්තනයක් මේ පෙරහරට එකතු කරන්නේ නැහැ. ඒක සම්ප්‍රදායක්.පාරම්පරික කලා ශිල්පීන්ගේ පවුල්වල වර්තමාන පරම්පරාව මේ කලා ශිල්පවලින් ක්‍රමයෙන් ඈත්වන බවත් පෙනෙන්නට තිබෙනවා.

ඔවුන් ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ඇති වෙනත් රැකියාවලට යොමු වෙනවා. තවත් පැත්තකින් මේවාහි අගය තේරුම් ගත් අලුත් පරම්පරාවේ තරුණයින් උඩරට වෙස් නැටුම හදාරනවා. ඔවුන් පාරම්පරික කලා පවුල්වල අය නොවෙයි. නර්තනය වසරක්, දෙකක් හදාරලා වෙස් බඳීන්න බැහැ. අද පාසල්වල මේක කෙරෙනවා. මම එය අනුමත කරන්නේ නැහැ.

දළදා මාලිගාවේ බෞද්ධ විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව උඩරට නර්තන පීඨයක් අපි ආරම්භ කළේ මේ රික්තකය පිරවීමටයි.

මහනුවර ඇසළ පෙරහරට දළදා මාලිගාව සහ සතර මහා දේවාල නියෝජනය කරමින් සම්බන්ධ වන කලාකරුවන් අතරින් විශිෂ්ටයින් තෝරා ඔවුන්ට ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීම ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පටන් අඛණ්ඩව සිදු කෙරුණා. කොවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය වසර දෙකේ දී ම ජනාධිපති සම්මාන ප්‍රදානයක් සිදු කෙරුණේ නැහැ.මෙවර එය සිදු කිරීමේ සැලසුමක් තිබෙනවා ද

ඔව්.මෙවර කලා ශිල්පීන් අගයමින් සම්මාන ප්‍රදානය කරනවා.පෙරහරට සම්බන්ධ වන කලා ශිල්පීන්ට ජනාධිපතිතුමන් අතින් ලබන මේ සම්මානය ඉතා වටිනවා. පෙරහරට සම්බන්ධ වන ශිල්පීන්ගේ කුසලතා නිරීක්ෂණය කිරීමට කණ්ඩායමක් යොදවනවා. ඔවුන් ස්ථාන කිහිපයක සිට ශිල්පීන්ගේ කුසලතා සඳහා ලකුණු ලබාදීමක් කරනවා. මේ වැඩපිළිවෙළ දියත් කරන්නේ පෙරහර භාරය මඟින්.