Print this Article


පහන් සිතක කවි

ආනන්ද හාමුදුරුවෝ

සම්බුදු පියාණන් මහ සඟ රුවන ඇමතුවා
තව තෙමසකින් පිරි නිවනට යන බව දෙසුවා
ආනන්ද හිමියන් ඉකි බිඳමින් වැළපෙනවා
අප තනි කර නොයනු මැනවි ඉල්ලා සිටියා

බුදුහිමි ලොවේ අනියත ගැන දම් දෙසුවා
ප්‍රියයන්ගෙන් වෙන් වෙන බව තේරුම් කෙරුවා
ආනන්ද හිමි සිත බුදු හිමි සැදුවා
ලොවේ සියලු දේ අනියත බව කීවා

ලොවම එළිය කළ පහන නිවුණා
ආනන්ද හිමියන් වීරිය වැඩුවා
උතුම් දහම් ගඟ අවබෝධ වූවා
අරහත් ධජයේ රහත් බව ලැබුවා

****

දසපෙරුම් දම් පුරා සසරේ

දසපෙරුම් දම් පුරා සසරේ
එළිය දුටුවා අවිදු අඳුරේ
තුන්ලොවක් දිනූ සෑසි සමිඳෙ
මහිමි සිරිපා වඳිමි නිබඳෙ //

සුපිපි සල්මල් ලුම්බිණී යේ
සත් පියුම් පිට වැඩිය දිනයේ
ලොවම ඒකාලෝක වූවා
ලොව්තුරා සම්බුදු පියේ //

නිමක් නොපෙනෙන සසර කතරේ
කෙලෙස් පරදා ජයක් ලැබුවේ
පහන් ටැඹ සම්බුදු සමින්දේ
එළිය විහිදූ සමිඳු වන්දේ //

****

දළදා පෙරහර

කස පුපුරණ හඬ
ඩෙංකුටු බෙර හඬ
ඇතාට පාවඩ
කරඩුව පිට උඩ

සෙංකඩගල පුර
ඒකාලෝක කර
සිත මන්මත් කර
දළදා පෙරහර

පුද දෙන දෙව් නර
දළදා ගම් බිර
සිත තැන්පත් කර
වඳිනෙමු පින් බර

පන්දම් ඇවිලෙයි
නිලමේවරු යති
කොඩි සේසත් ඇති
පෙරහර බැබළෙයි

****

පමාවේ බිය

දස සිල් ද අට සිල් ද පංචශීලය ද ගෙන
සිල්වතුන් සෑ මලුවෙ නිදිකිරා වැටෙන විට
මුහුකුරා ගිය තරම තුන් කුදුව සිටිනු දැක
කරුණක් සිත දැනුණි ප්‍රමාදයෙ දරුණු දුක

****

උතුම් මොහොත

රන් හිරු මඬල පායා
ගයා හිස දිළුණා

දහම් රන් කෙඳි
නැඟී විහිදී පෙනුණා
දස මරුන් පලා ගොස්
සැඟව වන වැදුනා

සැදැහැ සිත් ඇති
දෙවි බඹුන්
සමිදු සිරිපා මත
විගස වැඳ වැටුණා
මහබෝ මලුව පාමුල
බුදු වදන් ඇසුණා

****

මට නොකියම එයා ගිහිං

බවුන් වඩන්නට
ගියේ වෙහෙර ගෙට
දෝත් දෝවලා
පා වැසුම් ගලවලා

දැහැන්ගතව සිටි කාලේ
නිහඬතාව ඇති වේලේ
මගෙ දැහැනින් ඔබට ලැබුණ
එර්ධි බලය හරි පුදුමයි

****

නිකිණි පෝදා

සම්බුදු හිමිගෙ උපස්ථායක කමකින් ද
පුද ලැබ දහම් රස විඳගත් සිහිනෙන් ද
අද වැනි දිනක වටහා සදහම් කන්ද
අරහත් බවට පත්විය හිමි ආනන්ද

මහරජු අජාසත් පෙරමෙන් නොවුණි හොඳයි
දැන් දිවි ගෙවන්නේ ඉමිහිරි දහම මැදයි
සදහම රකින්නට ඔහු රජ බලය යොදයි
පළවැනි දහම් සංගීතිය තිබුණෙ අදයි

මේ ලක් දිවෙහි ඉතිහාසය බැලූ කල
හමුවුණි තොරතුරක් සදහම ළඟා කළ
ලලාට ධාතු තැම්පත් කර අමා බල
දාගැබ හැදුණු පින්බර සේරුවාවිල

අද වැනි පොහොය දිනයක් ගැන ඇත අදහස්
මහ සඟ රුවන සසරින් විය යුතු නිදහස්
මඟ හැරුණි නම් යම් හිමි නමකට පෙරවස්
අවසර ඇත සමාදන් වන්නට පසුවස්

පව් වැඩ කියන්නේ බැලුවම වස විෂය
පින්කම් කළොත් නැඟුමට හැක ජය ගොසය
වස්තුන් මාසය ම බොදු දනහට රසය
පුද දිය හැකි ය සඟ රුවනට සිව්පසය

****

මම සොත්තිය බමුණා වෙමි

සිත දුක් නිවාලන මඟ
කියාදෙන බුදු හිමියනේ
එදා බෝ මැඬ වෙතට
පිය නඟනා හිමි දෝතට
කුස තණ අට මිටක් දුන්න ආජීවක මම වෙමි
දුකින් පෙළෙන ලෝසතුනට
පිහිට වන බවක් ඇසුවෙමි
සුනීත සෝපාක වගේ
අයටත් පිහිටක් වූවා
කුස තණ කපමින් දිව රෑ
මම තවමත් අතරමඟ ය
හදවත බෝමැඩක් කරමි
කුස තණ අතුරා සරසමි
දිව රෑ ඇරයුම් කරනෙමි
දම් රජුනේ වැඩිනු මැනවි,

****

සැම සිත් සැනසේවා

බුදු ගුණ බලයෙන් කුස ගිනි කුස් සැනසේවා
දම් ගුණ බලයෙන් දන හද ගින්න නිවේවා
අරහත් සඟ ගුණ බලයෙන් සිත් සැනහේවා
තෙරුවන් ගුණ බලයෙන් ලක්මව වොරැඳේවා