Print this Article


පූජාච පූජනීයානං

වතුරකුඹුරේ ධම්මරතන නා හිමියෝ (නෙල්ලිගල හාමුදුරුවෝ)

රත්නපුර මහ දිසාවේ අභිනව ප්‍රධාන සංඝනායක ධූරයෙන් හා ධර්ම කීර්ති ශ්‍රී මංගල ගෞරව නාමයෙන් පිදුම් ලබති

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්‍වයේ කර්මවාගාචාර්‍ය ඓතිහාසික කූරගල රාජමහා විහාරාධිපති නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, යටිහලගල රාජමහා විහාරාධිකාරි, අතිපූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ අප අස්ගිරි මහා විහාර පාර්ශවයේ රාජ පූජිත මංගල උපෝසථාගාරයේ දී හයගිරි විජයසුන්දරාරාමාධිපති, ඓතිහාසික බදුලු මුතියංගන රාජමහා විහාරාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාව විසින් ඒකමතික සම්මුතියෙන් රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරයට “ධර්ම කීර්ති ශ්‍රී මංගල” යන ගෞරව නාම සහිතව පත් කරන්නට යෙදුණේ ය.

අප අභිනව රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේට එම උත්තරීතර පදවිය හා ගෞරව නාමය පිරිනමනු ලැබුයේ උන්වහන්සේ විසින් මෙරට බුදු දහමේ හා සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මෙන් ම සාමාජීය වශයෙන් සිදුකළ අනභිභවනීය මහා සේවාවට පිරිනමන ගෞරවයක් හා පළ කරන ඉමහත් ප්‍රසාදයක් ලෙස මෙන්ම එම කටයුතු ඉදිරියට කර ගෙන යාමට කරන දිරි ගැන්වීමක් වශයෙනි.

තමන් වහන්සේ කරන්නට යෙදුණු ශාසනික හා සාමාජීය කටයුතු කිසි විටකත් ප්‍රසිද්ධියට පත් කිරීමට හෝ ප්‍රසිද්ධියේ කීමට දැඩි අකැමැත්තක් දක්වන උන්වහන්සේ ඒ තුළින් ප්‍රසිද්ධිය, කීර්තිය නොපතන සම්භාවනීය යතිවරයෙකි.

එසේ වුවත් අප නාහිමියන් සිදුකළ කටයුතු මෙතෙකැයි කියා කීමට නොහැකි උනත් අප නාහිමියන්ට කරන ගෞරවයක් ලෙස උන්වහන්සේ එසේ සිදුකළ ශාසනික සේවාවන් රැසක් තුළින් ප්‍රධාන වශයෙන් දැක්විය හැකි පුණ්‍යකර්මයන් කීපයක් මෙසේ දැක්විය හැක.

දෙස් විදෙස් අත්‍යන්ත ගෞරවයට පාත්‍ර වූ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නිර්මාණය කිරීම.

ඓතිහාසික රාජපූජිත යටිහලගල රාජමහා විහාරය ප්‍රතිසංස්කරණය කොට සසුනට පූජා කිරීම.

රටට ජාතියට අහිමිවන්නට ගිය බලංගොඩ ඓතිහාසික කූරගල රාජමහා විහාරය විනාශ මුඛයෙන් බේරාගෙන අතීත ශ්‍රී විභූතියට හානි නොවන පරිද්දෙන් යුගයේ දැවැන්තම විහාර සංවර්ධන කර්මාන්තය දියත කොට සසුනට, ජාතියට දායාද කිරීම.

දඹාන ගුරුකුඹුර ආදිවාසී ගම්මානය අන්‍යාගමිකරණයෙන් ගලවා වෙහෙර විහාර තනවා ඔවුනට වන්දනාමාන කිරීමට ඉඩ ප්‍රස්ථා විවර කිරීම.

ලක්දිව සෑම ප්‍රදේශයක් තුළ ම නොයෙකුත් විහාරස්ථාන තුළ චෛත්‍ය, බෝධි මලු, දානශාලා, ධර්ම මන්දිර, ආවාස මන්දිර, විශ්‍රාම ශාලා ආදී විහාරාංග නිර්මාණය කිරීම.

එවන් ආකාරයේ ශාසනික සේවාවන් මුල් කොට ලක්දිව පුරා නොයෙක් අයුරේ ශාසනික සේවාවන් සිදු කරන්නට යෙදුණි. එමෙන්ම තවත් එවැනි සේවාවන්, පුණ්‍ය කර්මයන් සිදු කරමින් සිටී.

උන්වහන්සේ ශාසනික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් සිදු කරන්නට යෙදුනු සේවාවන් රැසක් ද පවතී. ඉන් කිහිපයක් ලෙස දිවයිනේ නොයෙකුත් පාසල්, පිරිවෙන්, දහම් පාසල් මුල් කොට ගෙන දුවා දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය පොත් පත්, ඩෙස්, පුටු, කබඩ්, තූර්යවාදන භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, පරිගණක ආදී අධ්‍යාපන ද්‍රව්‍යමය උපාංග හා අවශ්‍ය ගොඩනැඟිලි, ක්‍රීඩා පිට්ටනි ආදී භෞතික සම්පත් ප්‍රතිසංස්කරණය කිරීම හා නව භෞතික සම්පත් ගොඩනඟා පරිත්‍යාග කිරීම දක්වාලිය හැක.

අතිපූජනීය අභිනව අප ප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේ තම ශාසනික දිවි මඟට පැමිණි නොයෙකුත් දුක් පීඩා මැද නොසෙල් වී සෘජු පටිපන්න ගුණයෙන් යුක්තව ඒ සියල්ලට ම තම ණැන, ගුණ, සිල්වත් බවින් පිළිතුරු ලබා දී, මුහුණ දී අද වන විට ඒ සියල්ල ම පරාජය කොට මෙරට මෙන්ම විදෙස් රටවල බෞද්ධ ජනතාවගේ අත්‍යන්ත ඇගයීමට හා ගෞරවයට පාත්‍රව සිටියි.

ලක්දිව කීර්තිමත් සම්භාවනීය ස්ථානයක් වන රාජපූජිත ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අත්‍යන්තර ප්‍රසාදයටත්, ඇගයීමටත් ලත් තම පින්වත් දිවි සැරියේ 36 වන වියේ දී මේසා විශාල ගෞරව නාම සහිත නායක පදවියකට පත්වීම ම උන්වහන්සේගේ කාර්යශූර භාවය හා ශාසනික මෙහෙය මෙන්ම සිල්වත් ගුණවත් භාවය ද මනාව ප්‍රකට වීමකි.

පත් වන්නට යෙදුණා වූ අභිනව උතුම් ප්‍රධාන සංඝනායක ධුරයේ භාර දූර ශාසනික කටයුතු කිරීමට ශ්‍රී නාථ, සුමන සමන් දිව්‍ය රාජයන් ප්‍රමුඛ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.

****

මහලකොටුවේ විමලධම්ම නාහිමි

ශ්‍රී සිද්ධාර්ථ පියදස්සි රතනසාර යන ගෞරව නාමය සහිත මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලබති

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල උඩසියපත්තුවේ මහලකොටුව නම් ග්‍රාමයේ 1957 ඔක්තෝම්බර් මස 14 වැනි දින ඒකනායක මුදියන්සේලාගේ දම්මන්තොට ගෙදර මුදියන්සේ නිලමේතුමාට හා රත්නින්දේ මහ පන්සලේ ගෙදර කෝනාර මුදියන්සේලාගේ කළුමැණිකේ යන මව්පියන් දෙපළට දාව ජන්මලාභය ලබා ගත් මේ කුල කුමරුවා වන්නේ ඒකනායක මුදියන්සේලාගේ දම්මන්තොට ගෙදර කිරිබණ්ඩා ඒකනායක ය.

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මාතලේ මහ දිසාවේ සංඝනායක,රාජකීය පණ්ඩිත මහලකොටුවේ රතනසාර නායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1966 සැප්තැම්බර් මස 7 වැනි දින “ මහලකොටුවේ විමලධම්ම” නමින් උඩුපිහිල්ල , හේනේපොල වෙහෙරගොඩ පුරාණ විහාරයේ දී උතුම් පැවිදි භූමියට පත් විය.

මහලකොටුවේ රතනසාර නායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1981 ජූලි මස 5 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී උතුම් අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටුවන ලදී.

විමලධම්ම හිමියන් කුඩා කාලයේ පටන් ධර්ම දේශනා කිරීමට ඉතාම දක්ෂ ය . මනා කථිකත්වයකින් යුක්ත ය.මේ නිසා ම පළාතේ ගිහි පැවිදි දෙපාර්ශවයේ ම ජන ප්‍රසාදයට පත්විය.

උන්වහන්සේ හැකියාවන්ගෙන් යුක්ත වූ නිසාත්, අනතිමානී ගුණයෙන් යුක්ත වූ නිසාත් පළාතේ මහා සංඝරත්නය පමණක් නොව ජනතාව ද ඇසුරු කිරිමට, කතා බහ කිරීමට රුචිකත්වයක් දක්වයි. එකල මාතලේ ප්‍රදේශයේ කොටුවේගෙදර, බැබිළේවෙල, හේනේපොල ,තැන්න ,වැලිකොටුව ආදි ගම්වල ආගමික කටයුතුවලට වැඩම කරන නිසා දායක දායිකාවන් අතර උන්වහන්සේ ඉතාම ජනප්‍රිය භික්ෂූන් වහන්සේ නමකි. කොටුවේගෙදර ජනතාවගේ බලවත් ඉල්ලීම මත 1992 මැයි මස 14 වන දින “ ශ්‍රී සුධර්මෝදය ” නමින් විහාරස්ථානයක් උන්වහන්සේගේ විහාරාධිපතීත්වයෙන් පොල් අතු සෙවිළි කළ පිටලෑලි ගැසු ආවාසයකින් ආරම්භ කරන ලදී.

මෙම විහාරස්ථානය වර්තමානය වන විට සියලු විහාරාංගයන්ගෙන් සමන්විත, පැමිණෙන පින්වතුන්ගේ සිත් සනසාලන ආකර්ශනීය පූජනීය පුදබිමකි.

ළමුන් සුළු ප්‍රමාණයකින් ආරම්භ කළ දහම් පාසල ක්‍රමයෙන් දියුණු කළ අතර වර්තමානය වනවිට ළමුන් 300 වඩා අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබයි.දහම් ගුරුවරු 16 දෙනකුටත් වඩා සේවය කරන මෙම දහම් පාසලේ ස්වාමින් වහන්සේලා පස් නමක් ද පාසල් ගුරුවරුන් කිහිප දෙනෙක් ද දහම් ගුරුවරු වශයෙන් සේවය කරති.

මාතලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හා මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධූරය ද වසර 10 වඩා හොබවා ඇත.

විමලධම්ම හිමිපාණන් වහන්සේගේ ගුරුදේවයන් වහන්සේ වූ මහලකොටුවේ රතනසාර නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ නායක පදවිය “ ශ්‍රී සිද්ධාර්ථ රතනසාර” යන ගෞරව නාමය සහිතව ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මාතලේ මහ දිසාවේ සංඝනායක පදවියට මහලකොටුවේ විමලධම්ම හිමිපාණන් වහන්සේ පත් කරන ලදි.විමලධම්ම හිමිපාණන් වහන්සේ මේ වන විට අවුරුදු 65 ගත කරන අතර එයින් පැවිදි දිවියට වසර 56 ගත වී ඇත.

නායක පදවි ප්‍රාප්තියට පත් මහලකොටුවේ විමලධම්ම නායක නාහිමිපාණන් වහන්සේගේ ඉදිරි ආගමික හා ශාසනික කටයුතු තව තවත් සාර්ථකව කරගෙන යාම සඳහා දළදා සමිඳු සරණින් උන්වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා.