Print this Article


විනයධර ධර්මධර සංඝ පීතෘවර බලල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

විනයධර ධර්මධර සංඝ පීතෘවර බලල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

වලස්සෑගල පුරාණ රාජමහා විහාරය, ගලයාය පුරාණ විහාරය, මහව ජයසුමනගම ශ්‍රී ඉන්දසුමන පිරිවෙන් විහාරය, කිරිමැටියාව ඇඹුල්ගිරි රාජමහා විහාරය, ගල්ලෑව ශ්‍රී විසුද්ධාරාමය යන පංච මහා විහාරයන්හි අධිපති, වන්නි දෙමළ හත්පත්තු දෙකේ සංඝනායක අතිගෞරවාර්හ විනය කීර්ති ශ්‍රී බලල්ලේ පඤ්ඤාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජූලි මස 11 වෙනි දින අපවත් වී වදාළහ.

බලල්ලේ පඤ්ඤාලෝක නායක නාහිමිපාණන් වහන්සේ මෙරට වැඩ විසූ විනයධර, ධර්මධර සංඝ පීතෘවරයෙකි. උන්වහන්සේ කළ ශාසනික මෙහෙවර අතිමහත් ය. බුද්ධ ශ්‍රාවකයකු වශයෙන් ශාසනයට ඉටුකළ සේවාව වචනයෙන් කිව නොහැකි තරම් ඉතා විශාල ය.

ශීලයෙන්, ගුණයෙන් පිරිපුන් උන්වහන්සේගේ චරිතය වර්තමාන සංඝ සමාජයට ද ආදර්ශයක් වන්නේ ය. සංඝයා වනාහි මුළු මහත් සංඝ සමාජයට ම පොදු වූ වස්තුවක් බැවින් උන්වහන්සේ පිළිබඳ කෘතගුණ දැක්වීම අප කාගේත් යුතුකමක් කොට සලකමි.

1945 අගෝස්තු 25 වැනි දින සසුන් කෙතට ඇතුළත් වූ උන්වහන්සේ පුංචි සමයේ පටන් ම මනා චරිතයකින් හෙබි කුඩා සාමණේර නමක් බවට පත් වූහ. භික්ෂුවක් සතු විනය ගරුක බව, සිල්වත් බව, නැණවත් බව මනාව ගොනුකර ගත් උන්වහන්සේ විෂයානුබද්ධ කරුණු ඔස්සේ අධ්‍යාපනය ද මනාව හැදෑරී ය.

රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලබා කුරුණෑගල මලියදේව පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1949 ජූලි මස 05 වන දින අධිශීල ශික්‍ෂා සංඛ්‍යාත උතුම් උපසම්පදා භූමයට පත්විය.

විහාරස්ථාන පහක විහාරාධිපතිත්වය දරමින් යාපහුව පුරවරය ඇතුළු දුර ඈත ගම් දනව් සිසාරා සැදැහැවතුන්ගේ දහම් පවස නිවාලනු වස් කළ මහඟු සේවාව පුණ්‍යානුමෝදනාවෙන් යුක්තව සිහිපත් කිරීමට කැමැත්තෙමි. තම සුපිරිසුදු පැවිදි ජීවිතයේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ තිහකට ආසන්න සංඛ්‍යාවක් බිහි කොට බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා කළ මහඟු සේවාව ඉතා අගනේ ය.

උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන්නේ මහව උඩගම ශ්‍රී ඉන්දසුමන පිරිවෙන් විහාරස්ථානයේ කෘත්‍යාධිකාරි එම විහාරස්ථාන පහේම වර්තමාන විහාරාධිපති රැකෝගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේ යි.

අපවත් වී වදාළ නා හිමියන්ගේ ශිෂ්‍යයින් අතර ඉපළෝගම විජිතවංශ හිමි වැඩ බලන කෘත්‍යාධිකාරි වශයෙන් ද, රැකෝගම සන්තින්‍ද්‍රිය හිමි පරිවේණාධිපති වශයෙන් ද, වර්තමාන විහාරාධිපති නා හිමියන්ට මහඟු අත්වැලක් සපයන්නේ ය.

රටට, ජාතියට, ආගමට හා සසුන් කෙතට ඉමහත් සේවාවක් කිරීමට හැකි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ රාශියක් දායාද කළ උන්වහන්සේ නිහතමානී ගුණයෙන් හා සැහැල්ලු දිවි පැවැත්මෙන් හෙබි සුපේෂල ශික්‍ෂාකාමී සංඝ පීතෘවරයෙකි.

විවිධ දක්‍ෂතාවන්ගෙන් පිරිපුන් චරිතයකින් හෙබි බලල්ලේ පඤ්ඤාලෝක නා හිමි සමාජමය වශයෙන් සිදු කළ සේවාව ඉතා විශාල ය. සතවර්ෂයකට ආසන්න කාලයක් ආයු වළඳා 2022 ජූලි මස 11 වැනි දින අපවත් වී වදාළ නා හිමිපාණන් වහන්සේ රූප කායෙන් අප අතරින් වෙන් වී ගිය ද, උන් වහන්සේගේ ගුණ සුවද සැමදා අප අතර පවතින්නාහ.

අපවත් වී වදාළ බලල්ලේ පඤ්ඤාලෝකාභිධාන නාහිමියන්ට අජරාමර නිවන් සුව හිමි වේවා'යි ප්‍රාර්ථනා කර සිටිමි.