Print this Article


ලාංකේය බොදු පෙරහරට අභිමානයක් ගෙන දුන් මිල්ලන්ගොඩ ඇත් පරපුර

ලාංකේය බොදු පෙරහරට අභිමානයක් ගෙන දුන් මිල්ලන්ගොඩ ඇත් පරපුර

අල්ලා අලි බබෙක් පුත්තලමේ කැළෙනි
කොල්ලා ලෙස හැදූ බව අප හට ඇසුණී
දිග දළ දෙකක් විත් අලියා ඇතෙක් වුනි
මිල්ලන්ගොඩ ඇතු රටට රන් තිළිණයක් වැනි

සතර කෝරළයේ කෑගලු දිසාවේ මොළගොඩ ප්‍රදේශාසන්නයේ මිල්ලන්ගොඩ වලව්ව ප්‍රසිද්ධ වන්නේ ඇත් පරපුර නිසාවෙනි. එය ඉතා දීර්ඝ කතාන්දරයකි.

මිල්ලන්ගොඩ ඇත් පරපුරේ ආරම්භය ඇසිය යුතුම කතාවකි. 1943වසර වන විට මිල්ලන්ගොඩ ලොකු මහත්තයා තම පියාගෙන් ලද අනුහුරුව මත අලි ඇතුන් ඇල්ලීමෙහි නිපුණයකු වූයේ ඉතා ඉක්මනිනි.

හම්බන්තොට , අගුණකොළපැළැස්ස , බූන්දල දකුණු කොනේ ගහ කොළ සතා සීපාවා පවා කතා කළ හැකි නම් අඳුරන බව කියනු ඇතැයි සිතෙන තරමට ඔහු සොබාදහමට ළං වූවකු විය. එම ප්‍රදේශවලදී ද ඔහු අලි ඇල්ලීම පිළිබඳ පුහුණුවක් ලබා තිබේ. 1945 වසරේ දී ඉතා හුරුබුහුටි අලි පැටවකු හමු වී ඇත. හේ ඔහුට තුන් හතර මසක පොඩ්ඩෙකි. පෙනුමෙන් හුරුබුහුටි දඟයකු වූ මොහු මිල්ලන්ගොඩ පරපුරේ සිත් ආදරයෙන් තමා වෙත ළං කරගෙන තිබිණි. මොහු හැදී වැඩුණේ පවුලේ සුරතලා ලෙස ය.

කිතුල් අතු, ටොෆි ඔහුට පෙන්නන්නට බැරිය. පවුලේ ආදරය දිනා මෙහි හැදී වැඩුණ මෙම අලි පැටවා ගණන්කාර ඇත් රජකු බවට පත් වීමේ ලකුණු පහළ වුණි.

අලියකු ලෙස ගෙනා මොහු ඇත් රජකු වීමේ ආඩම්බරය මිල්ලන්ගොඩ පරපුරේ සියල්ලන්ට ම දැනෙමින් තිබිණි. එමෙන්ම මොහු ලොකුරාජා ලෙස නම් ලැබීය. ලොකුරාජා තේජස් පෙනුමක් ඇති හස්ති රාජයෙකි. ගමන ද ආකර්ෂණීයය. කල් යත්ම මොහු සතර දේවාල පෙරහරෙහි දේවාභරණ වැඩමවීමට වාසනාවන්ත විය.

ඉන් අනතුරුව මෙම රාජකීය හස්ති රාජ තෙමේ සධාතුක කරඬුව වැඩමවන හස්ති රාජයා බවට ද පත්විය. දිගින් අඩි 7 යි අඟල් 6 ක් වූ මනරම් දළ යුවළ ආසියාවේ දළ දිගම හස්ති රාජයා බවට අභිෂේක ගැන්වීය.

ගජසෙන් පරපුරේ අති දුර්ලභ වන්දනීය අවස්ථාවට හිමිකම් කියමින් ලාංකේය බෞද්ධ සංස්කෘතික ඉතිහාසයේ පරිච්ඡේද ගණනාවක් උසුලාගෙන විත් අනාගතයට බාර දී හේ යන්නට ගියේ ය. ඒ අවුරුදු 40 ක් පමණ කල් දළදා පෙරහරට බුහුමන් කිරීමෙන් අනතුරුව ය.

ලොකුරාජාගේ පාංශුකූල කටයුතු සඳහා භික්ෂූන් වහන්සේ 81 නමක් සහභාගී වූ අතර, එවක ජනාධිපති තුමන් ද පැමිණ බුහුමන් දක්වා තිබේ. ලොකු රාජා පිළිබඳ ආවර්ජනය කරන ආනන්ද මිල්ලන්ගොඩ මහතා

“ මේ සත්ත්වයා ළඟ පුදුම තේජසක් තිබුණෙ. දකිනකොට බලන් ඉන්න ආස හිතෙන ගමනක් තිබුණා. පෙරහරේ ගියේ හරි කැමැත්තෙන්. පෙරහරේ යන වෙලාවටත් පැණිරස දෙන්න ඕන. හරියට අපේ දරුවෙක් වගේ. එයාගෙ අනුරුවක් වලව්ව ඉස්සරහ හදල තියෙනවා'යි පැවසුවේ ...” ආඩම්බරයකිනි. මෙම පරපුරේ ඊළඟ අයිතිය හිමි කරගත්තේ ජයන්ති ඇතුය. පොඩිරාජා ලෙසද නම් ලැබූ මේ ඇතු ද ශාන්ත දාන්තය. ආඩම්බරය. හේ පින්වන්ත හස්ති රාජයකු බව ද ආනන්ද මිල්ලන්ගොඩ මහතා පැහැදිලි කළේ ය. සෙංකඩගල දළදා පෙරහරට අභිමානයක් එක් කළ ඇත් රජෙකි. මොහු ද මිල්ලන්ගොඩ ඇත් පරපුර තේජමාන කරන්නට සමත් විය.

පානබොක්කේ ඇතා ද මෙම ඇත් පරපුරේ වෙසෙස් පුරුකකි.

හෙළ සංස්කෘතියට අභිමානයක් එක්කරමින් මෙසේ නික්මී ඇත් රජවරුන්ගේ සේවය අලුත් කරවමින් මතක් කළ යුතු වටිනාකමක් ලෙස පෙන්වා දෙමි. ඇසළ පෙරහර මංගල්‍යයට සේවයෙන් කැප වුණු මෙවැනි ඇත් රජවරු රටට අභිමානයකි.