Print this Article


පරාජයට මුල පමාවයි

පරාජයට මුල පමාවයි

සැවැත් නුවර වැසි මිතුරන් දෙදෙනෙක් වූහ. තෙරුවන් පිළිබඳ සැදැහැවත් වූ මේ දෙදෙනා පැවිදි බවට පත් වූහ. පැවිදිවීමෙන් පසුව ද උන්වහන්සේ දෙනම ඉතා මිත්‍රශීලීව වාසය කරති. මේ භික්ෂූන් වහන්සේ දෙනම බුදුරජාණන් වහන්සේ වෙතින් කෙලෙස නසා රහත්වීමට සුදුසු භාවනා පිළිවෙත් ඉගෙන ගත්හ. වස් කාලයෙහි විදසුන් වඩමින් වාසය කිරීම සඳහා දුෂ්කර කැලෑබද පළාතක වෙහෙරකට වැඩියහ.

මෙම භික්ෂූන් වහන්සේ දෙනමගෙන් එක් නමක් කල් ඇතිව ගිනි මෙළවීමට සුදුසු වියළි දැව දඬු, පරඬලා රැස් කැරැගෙන ගිනි මොළවා ගිනි තපී. ඒ වගේම එම විහාරයෙහි වැඩ සිටින කුඩා තෙරුන් වහන්සේ සමඟ නිසරු දෑ දොඩමින් කල් ගෙවයි. මේ ආකාරයෙන් පෙරයම, දස පැය ගිනි තැපීමෙන් හා නිසරු දොඩමලුවීමෙන් කාලය ගත කරයි. අනික් කාලය නින්දෙන්ම ගත කරයි. මේ ආකාරයෙන් කාලය ගෙවන උන්වහන්සේට, දුෂ්කරව වන මැද විසීමට පැමිණි කාරණය පිළිබඳ මඳකුදු සිහියක් නොවීය. පමාවෙන් හා කුසීත බවින් දවස ගෙවා දමයි.

වස් කාලයෙහි විදසුන් වැඩීමට නිස්කලංක දුෂ්කර කැළෑ බද වෙහෙරට වැඩිය අනෙක් භික්ෂූන් වහන්සේ තමන් වහන්සේගේ අදහස මුදුන් පමුණුවා ගැනීම සඳහා සිහි නුවණින් යුතුව මහණ දම් රකිති. නිදිවරා වෙහෙසවී පිළිවෙත් පුරා, විදසුන් වඩා කෙලෙස් මුල් සිඳ දමා රහත්ඵල පැමිණ විමුක්ති සුව අත්පත් කර ගත්හ.

රහත්ඵල ලැබූ සංඝයා වහන්සේ තමන් වහන්සේ සමඟ පැමිණි මිතුරු භික්ෂූන් වහන්සේගේ පමා බව, මුළාවෙන් විසීම දැක බොහෝ කනගාටුවෙන් අවවාද කළහ.

“මහණදම් පිරිමෙහි පමා වූ තැනැත්තාට සිවු අපාය සිය නිවෙස මෙනැයි පැවැසීය. කෙසේ අවවාද දුන්නද පමා ගති ඇති භික්ෂූන් වහන්සේ ඒ කිසිවක් නො සලකා අලසකම නිසා ම පිරිහුණේ ය. කෙසේ වුව ද මේ සංඝයා වහන්සේ දෙනම අතර කිසි දවසක මොහොතකු ද සමගිය නම් නොබිඳුණි.

වස් කාලය අවසානයේ දෙනම වහන්සේ සමඟිව, සතුටුව බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දෙවුරම් වෙහෙරට පෙරළා වැඩියහ.

“අප්පමතේනා පමත්තේ සු
සුත්තේ සු බහු ජාගරො
අබලස්සං ව සිඝසේසා
හිත්වා යාති සුමෙධයො

නො පමා වූ, බොහෝ නිදිවැරැම් ඇති, උතුම් නුවණැත්තා වහා නිවන් පසක් කරන්නේ ය.

බුදුරජාණන් වහන්සේ මේ දෙනම වහන්සේ සමඟ පිළිසඳර කතා කළ සේක. සුවදුක් විමසූහ. රහත් බවට නො පැමිණි භික්ෂූන් වහන්සේ වැරැහීන වූවකු සේ පමාවෙන් වසා අමා මඟ නොලත් බවත්, රහත් වූ තෙරනම නොපමා ගුණයෙන් රැඳී වැරැවැඩුම නිසා භාවනාවේ සිත මොනවට ඇලී විමුත් සුව ලත් බවත් වදාළ සේක.

පමා වූ පුද්ගලයා, අලසකමින් කල් යැවූ තැනැත්තා, කොර වූ පා ඇතිව, දුබල ව, ජවය සිඳී ගිය අසකු මෙන් නියම ඵල නොලබා, පරාජය ලබන්නේ ය. පමා නොවූ වැරැසර යුතු නැණවත් තැනැත්තා වහා දිවෙන බලැති අසකු සේ වහා මඟපල ලබා සෙස්සෝ පසුකොට නිවන් පසක් කරන” බව ද පැහැදිලි කොට වදාළ සේක.

පෘථග්ජන අපගේ ජීවිතයට මෙය මහඟු ආදර්ශයකි. අලසව, අන් අය සමඟ නිසරු දෑ දොඩමින් කාලය ගෙවා දැමීම තම මුළු ජීවිතය ම පිරිහීමට ලක් කර ගැනීමකි. ඉගෙනීම ද, රැකියාව ද හෝ වෙනයම් කර්මාන්තයක් වේවා තම අදහස මුදුන් පමුණුවා ගැන්ම සඳහා ම සිහිනුවණින් කටයුතු කළ යුතු ය. ඒ වෙනුවෙන් ම කැපවිය යුතු ය. එවිට අපගේ ජීවිතය සාර්ථකව ඉදිරියට රැගෙන යා හැකි වේවි. එම සාර්ථකත්වය බාහිර වශයෙන් පමණක් නොවිය යුතු ය. ආධ්‍යාත්මික දියුණුවක් ද විය යුතුයි. නිරතුරුවම අප ආගම දහමට අනුව ද ජීවිතය පවත්වා ගත යුතු ය. එවිට සාර්ථකත්වයේ නියම ඵල අපට නෙළා ගත හැකිවේවි. බාහිරවත්, ආධ්‍යාත්මිකවත් ලබන දියුණුවයි ජීවිතයේ ජයග්‍රහණය විය යුත්තේ.