Print this Article


සසර දුක් වේදනා ගෙන දෙන කර්ම රැස් කරන්නේ කුමට ද?

සසර දුක් වේදනා ගෙන දෙන කර්ම රැස් කරන්නේ කුමට ද?

දිනක් මහ මුගලන් තෙරුන් හා ලක්ඛණ තෙරුන් රජගහ නුවර ගිජු කුළුපව්ව සමීපයෙන් දිවා කල පිණ්ඩපාතයෙහි වැඩම කරන විට ප්‍රේතයෙක් දුටුහ. කිසි දිනක නොදුටු මෙම ප්‍රේතයාගේ ස්වරූපය වූයේ සර්පයකුගේ ශරීරයට සමාන වීමය. ගව් සියයක් පමණ දිග මිනිස් හිසක් සහිත වූ මෙම ‘අහි’ ප්‍රේතයා බිය උපදවන සුළු ස්වරූපයක් දැරුවේ ය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

“නහි පාපං කතං කම්මං
සජ්ජු ඛීරං ව මුච්චති
ඩහන්තං බල මන්වෙති
භස්මච්ඡන්නෝව පාවකෝ”

කාරුණික පින්වතුනි,

සියලු ලෝ සතුන් අමා දහමින් සනසා වදාළ අප අමාමෑණි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ වටිනා දහම් කරුණු කිහිපයක් පින්වත් ඔබ වෙනුවෙන් අද දින ධර්ම දේශනාව මඟින් පහදා දීම සඳහායි බලාපොරොත්තු වන්නේ.

“ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි” යන උතුම් අවවාදයට අනුව ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනා බව දැක්වේ. ඒ අනුව අද දින ධර්ම දේශනාව සඳහා තෝරා ගත් ගාථා රත්නය බෞද්ධයාගේ අත් පොත වන ධම්ම පදයෙහි පාප වග්ගයට අයත් 12 වැන්නයි. එහි සරල අදහස මෙසේ ය.

“දෙනකගෙන් දොවන ලද කිරි එකෙනෙහි ම නොමිදෙන්නාක් මෙන් අනුවණයා විසින් කරන ලද පව් ද එම අවස්ථාවේ දී ම විපාක නොදෙයි. සසර පුරා ඔහු පසු පස ගමන් කරමින් විපාක දෙයි.” යනුවෙනි.

දිනක් මහ මුගලන් තෙරුන් හා ලක්ඛණ තෙරුන් රජගහ නුවර ගිජු කුළුපව්ව සමීපයෙන් දිවා කල පිණ්ඩපාතයෙහි වැඩම කරන විට ප්‍රේතයෙක් දුටුහ. කිසි දිනක නොදුටු මෙම ප්‍රේතයාගේ ස්වරූපය වූයේ සර්පයකුගේ ශරීරයට සමානය. ගව් සියයක් පමණ දිග මිනිස් හිසක් සහිත වූ මෙම ‘අහි’ ප්‍රේතයා බිය උපදවන සුළු ස්වරූපයක් දැරුවේ ය. ශරීරය පුරා ගිනිගෙන දැවෙන හෙතෙම අධික ලෙස වේදනා විඳිනු දුටු මහ රහතන් වහන්සේ දෙනම ඒ දෙස විමසිලිමත්ව බලා සිටිමින් පසුව පිණ්ඩපාතයෙහි වැඩම කළහ.

සවස් කාලයෙහි බුදුරදුන් හමුවීමට වැඩම කළ මුගලන් මහ තෙරුන් දිවා කල දුටු අභි ප්‍රේතයාගේ බියකරු ස්වරූපය විස්තර කර සිටියේ ය. පසුව උන්වහන්සේ බුදු හිමියන්ගෙන් විමසා සිටින්නේ මෙවැනි අයුරින් දුක් වේදනා විඳීමට සත්ත්වයාට සිදුවී ඇත්තේ කිනම් කර්ම විපාකයක් නිසා දැයි යනුවෙනි. එයට තථාගතයන් වහන්සේ අතීත සිදුවීම සිහිපත් කරමින් කර්මය පිළිබඳ මනාව පැහැදිලි කොට වදාළහ.

පෙර බරණැස ගඟබඩ අසල පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටි අතර උන්වහන්සේ හමුවට බොහෝ පිරිසක් දිනපතා දන්දීම, ධර්මය ඇසීම ආදිය සඳහා පැමිණෙති. මෙලෙස ආරාමයට ගමන් කරන්නේ ඒ අසල වූ කුඹුර මැදින් ඇති කුඩා අඩි පාර දිගේ ය. මෙය දුටු කුඹුරෙහි අයිතිකරු දිනෙන් දින මෙලෙස යන එන බොහෝ පිරිස නිසා වී කරල් පෑගී විනාශ වන බව දැන බොහෝ සෙයින් කෝපයට පත් වූයේ ය. ආරාමයෙහි වැඩ වසන ශ්‍රමණයන් එම ස්ථානයෙන් පළවා හැරීම මිස වෙනත් විකල්පයක් නොවන බව කල්පනා කළ මෙම පව්කාර ගොවියා දිනක් උදෑසනම කුඹුරට ගියේ ය.

පසේ බුදුරදුන් පිණ්ඩපාතයෙහි වැඩම කර ඇති බව දැනගත් හෙතෙම ආරාමයට ගොස් එහි තිබූ බොහෝ දෑ විනාශ කොට ආරාමයට ගිනි තැබුවේ ය. ආරාමය ගිනි ගන්නා අයුරු අසල පඳුරකට මුවා වී බලා සිටි මොහු අතිශයින් සතුටට පත්ව හොර රහසේ ම තම මිතුරකුගේ නිවසට ගොස් දින කිහිපයක් ගත කිරීමට සිතුවේ ය.

එහෙත් දිනක් දෙකක් ගත වන විට තමා සිදු කළ පාප ක්‍රියාව සිහිවන විට බෙහෙවින් පසුතැවීමට පත් වූ හෙතෙම ආහාර පවා ගැනීමට නොහැකිව බරපතළ ලෙස රෝගීව මිය ගියේ ය. එලෙස මිය ගොස් සතර අපාගත වී බොහෝ කටුක වේදනා විඳ එම කර්මයෙහි නිමාවක් නොමැති හෙයින් අභි ප්‍රේතයෙක් ව අද වන විට දුක් වේදනා අනුභව කරන අයුරු තථාගත බුදුරදුන් මුගලන් තෙරුන්ට මැනවින් කරුණු කාරණා පැහැදිලි කොට ඉහත ගාථාව වදාළ සේක. දෙනකගෙන් දොවන ලද කිරි එකෙනෙහි ම නොමිදෙන්නා සේ කර්මයෙහි විපාක හා නරක ස්වරූපය කෙබඳු ද යන්න මෙම කතා පුවත තුළින් මනාව පැහැදිලි වනු ඇත.

“කම්ම” යන පාලි වචනයෙන් කියැවෙන්නේ කර්මය යන්න යි. එනම් ක්‍රියාවයි. මෙයද යහපත් හා අයහපත් යන කොටස් දෙකකින් යුක්ත ය.

යහපත් ක්‍රියා තුළින් ලැබෙන්නේ සැප ය. එහෙත් අයහපත් ක්‍රියා තුළින් ලැබෙනුයේ බොහෝ කටුක දුක් වේදනාවන් ය. සසර සැරිසරන බොහෝ සත්ත්වයන් විසින් සිදුකරන ලද කර්ම ශක්තිය අනුව එහි ප්‍රතිඵල ද විඳින අයුරු අපට සමාජය තුළින් ද දැන ගත හැකි ය. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං වදාමි. කායේන වාචාය මනසා”

යන බුද්ධ වචනයෙන් පැහැදිලි වන්නේ පුද්ගලයාගේ තිදොර මුල් වීම තුළින් මෙකී කර්ම රැස් වන බවයි.

මේ නිසා සසර දුක් වේදනා විඳීමට ඉවහල් වන කර්ම රැස් නොකොට යහපත් කර්ම රැස් කොට මෙම සසර දුකින් එතෙර වීමට අදිටන් කර ගැනීම අතිශයින් වැදගත් ය. ඒ සඳහා ඔබ සැමට දහම් ඇස පහළ වේවා’යි පතන්නෙමු.