Print this Article


කවරයේ කතාව

කවරයේ කතාව

බරණැස බඹදත් නම් රජ කෙනෙක් විය. එකල අප බෝසතාණන් වහන්සේ තවුස් දම් පුරා ධ්‍යාන සමාපත්ති උපදවා ගං තෙරක විසූහ. බරණැස් සිටුතුමාට නපුරු ගති ඇති දූ කුමරියක් විය. දිනක් දැසි දසුන් පිරිවර සමඟ ගඟට බැස දිය නාමින් සිටිය දී දිය පහරකට ගසාගෙන ගිය කුමරිය අප බෝසතාණන් වහන්සේ වැඩ සිටි පන්සල සමීපයට පැමිණ තිබුණි.

කෑ ගසන හඬක් ඇසී බෝසතාණෝ හුළු අත්තක එළියෙන් ගඟට ගොස් කුමරිය බේරා ගත්හ. පන්සලට රැගෙන විත් ගිනි ගොඩක් ගසා, ඇයගේ සීතල පහකොට පලතුරු ආහාරයට දී තතු විමසූහ. ඉන් අනතුරුව පන්සලේ එළිමහනෙහි නවාතැන් පහසුව සලසා දුන්හ. ඒ පසු දින පිටව යන ලෙස දැන්වීමෙන් අනතුරුව ය.

ඒ කුමරිය තාපසයන්ගේ සිල්බිඳ රැගෙන යමි යන සිතින් එහිම වාසය කරන්නීය. ස්ත්‍රී ලීලා, ස්ත්‍රි නිමිති දක්වමින් තාපසයන්ගේ සීලය බිඳ ධ්‍යාන සමාපත්තියෙන් පිරිහෙළා ටික දිනක් ආරණ්‍යයෙහි විසූහ. එසේ සිට මිනිස් වාසයට යමුයි පිටිසර ගමකට ගියහ. එහි දී මෝරු විකිණීමෙන් ජීවිකාව කළ ඔහුට තක්කපණ්ඩිත යන නාමය පටබැඳිණි.

ඉන් අනතුරුව ඒ ගම් වැසියෝ, අපට අනුශාසනා කරමින් මේ ගමෙහි ම වාසය කරන්නැයි ද පවසා කුටියක් ද තනා දුන්හ. දිනක් ගම පහරන සොරු, මේ ගම කොල්ල කා මේ ගැහැනිය ද පැහැරගෙන ගොස්

සොරදෙටුවාගේ භාර්යාව වශයෙන් රඳවා ගත්හ. සොරදෙටුවාගේ බිරිඳ වූ මම දැන් සුව සේ වාසය කරමි. තක්කපණ්ඩිත කවර උපායකින් හෝ පැමිණ නැවත මා රැගෙන ගියහොත් දුකට වැටෙයි. ඒ නිසා ඔහු මෙහි ගෙන්වා මරා දැමිය යුතු යැයි සිතීය.

එසේ කල්පනා කොට මෙවැනි උපක්‍රමයක් යෙදවීය. ඒ මෙතැන දුකින් ජීවත්වෙමි වහා පැමිණ මා ගෙන යන්න යැයි ලියා තක්කපණ්ඩිතයන්ට ලිපියක් යැවීය. එය බලා ඒ ගැහැනිය සොයා ගිය තක්කපණ්ඩිතයන්ට හමු වූ සොරදෙටුවාගේ බිරිඳ ස්වාමීනි, අප රෑ බෝ වී යෑම අනතුරුදායක ය. ඒ නිසා උදෑසනින් ම යමුයි, පවසා ඔහු ව නවතා ගත්තේ ය. සවස සොරදෙටුවා රා බී මත් වූ වේලාවේ ස්වාමීනි, ඔබගේ සතුරා හමු වූ විටක කුමක් කරන්නේ දැයි විමසීය. සොරදෙටුවා ඔහු කොහේ දැයි විමසූ විට මෙහි යැයි පැවසීය.

වහා එහි ගිය සොරදෙටුවා තක්කපණ්ඩිතයන් බිම පෙරළාගෙන අතින් පයින් තළා බැඳ දැමීය. ඒ වෙලාවේ දී පණ්ඩිතයෝ “කෝධනා අකතඤ්ඤු ච පිසුනා ච විභේදිකා” යන පද සතර නැවත නැවතත් කීය. සොරා මහ රෑ නැඟිට ගොස් නැවතත් තළන්නට විය. පණ්ඩිතයෝ එවිටත් ඒ පද සතර කීය. එවිට සොරදෙටුවා පින්වත මෙපමණ පීඩා ලබමින් කුමක් නිසා මේ සතර පදයම කියන්නේ දැයි ඇසීය.

පණ්ඩිතයෝ සියලු කතා පුවත හෙළි කොට ඒ ගැහැනිය මා මෙහි කැඳවා තොප අතට පත් කළ බව පැවසීය. ඒ ඇසූ සොරදෙටුවා, මෙබඳු ගුණ ඇති, උපකාර වූ සත්පුරුෂයකුටත් මෙසේ කළ ගැහැනිය මට කුමක් නොකරයි ද? සිතූහ.

එසේ සිතා පණ්ඩිතයන් සනසා, ගැහැනිය අවධි කරවා ගමින් පිටතට ගොස් මොහු මරාදම‘මුයි පවසා කඩුව ගෙන ගොස් පණ්ඩිතයන්ට ගසන බව අඟවා ගැහැනිය දෙකඩවන සේ කඩුවෙන් ගසා මරා දැමීය.

තක්කපණ්ඩිතයෝ ගිහි ගෙයින් පලක් නැතැයි නැවතත් තවුස් දම් පුරා දැහැන් වඩා බඹලොව උපන්හ.

එකල සොරදෙටු දැන් ආනන්ද හිමියන් ය. තක්කපණ්ඩිත නම් බුදුරජාණන් වහන්සේ යැයි වදාළ සේක.

තක්ක ජාතක කතාව ඇසුරිනි