[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ පුර පසළොස්වක 2022-07-13

රැකවරණය ඇති තැන

ආදරය විවිධ ය. එය මව්පියන් දරුවන්ට, දරුවන් මව්පියන්ට ආදී ලෙසින් විවිධ පාර්ශ්වයන් තුළ හටගන්නා අපූර්ව හැඟීමකි. ශක්තිමත් බැඳීමකි. පොදුවේ එලෙස දැක ගත හැකි වූව ද සත්‍යය නම් කෙනෙක් වඩාත් වැඩියෙන් ආදරය කරන්නේ අන් කවරකුට හෝ නොව තමන්ට ම වීමය.

දිළිඳු පවුලක ජිවත් වූ මල්ලිකා කුමරිය අගබිසව කරගත් කොසොල් රජතුමා දිනක් ඇයගෙන් විමසුවේ ඇය මුළු ලෝකයෙන් වඩාත් ආදරය කරන්නේ කාටදැයි යනුවෙනි. මෙහිදී රජතුමා බලාපොරොත්තු වූයේ ඇය රජතුමාට පමණක් ආදරය කරන බව පැවසීම ය. එහෙත් මල්ලිකා දේවිය කිවේ ‘මා මුළු ලෝකයෙන් ම වැඩියෙන්ම ආදරය කරන්නේ මට යි’ යනුවෙන් ය. කනගාටුවට පත් වූ රජු දිනක් සිතේ කැකෑරෙමින් තිබූ මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට සැළ කළේ ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ පිළිතුර නිවැරැදි බව ය.

‘ආදරය’ යන වචනය ඉදිරියේ අද බොහෝ අනාදරයක් සිදුවන ආකාරය සමාජය තුළ නිරන්තරයෙන් ප්‍රකට වන ආකාරය අපි දකිමු. තමන් ද විනාශ වී අනුන් ද විපතට හෙළන ආදරය නාමයෙන් වන ව්‍යාජය, අවිනය, අසංවර බව හඳුනාගන්නට කෙනෙක් සමත් වනවා නම්, ජීවිතය ජය ගන්නට එය ම මහා ශක්තියක් වන බව තමන්ට ම හැඟෙනු ඇත.

ආදරය යන්නෙහි වඩත් අර්ථාන්විත අදහස මිතුරු බව ය. සැබෑ මිත්‍රත්වය තුළ සතුරුකමක් නැත. එහෙත් බොහෝ දෙනෙක් තමන්ට ම සිදු කර ගන්නේ සතුරුකම් ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන් තමන්ට පි‍්‍රය නම්, ආදරය කරනවා නම්, මිත්‍රශීලී නම් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගත යුතු බවයි. ඒ, තමන් විපතේ හෙළන සතුරු සිතිවිලි හා ක්‍රියාකාරකම්වලිනි.

මේ ජීවිතයේ ප්‍රධාන වශයෙන් අපි අවස්ථා තුනක් පසුකරමු. ඒ, ළමා, තරුණ හා මහලුවිය යි. තමන් තමන්ට ආදරය කරනවා නම් මේ අවස්ථා තුනම රැක ගත යුතු ය.

දැනුම් තේරුම් අඩු ළමා කාලය රැක ගන්නා හැටි දරුවන්ට කියා දිය යුතු මව්පිය වැඩිහිටියන් ය. පවින් වළකාගෙන, ළමයාට දිය යුතු හොඳම දායාදය එනම්, මනා අධ්‍යාපනයක් ලබා දී ජීවිතය ආලෝකවත් කර ගැනීමේ මාවතට අවතීර්ණ කිරීම යුතුකමට එහා ගිය වගකීමක් සේ සැලකීම අත්‍යවශ්‍ය ය. යහපත් සිතිවිලි වර්ධනය කොට පවට ලජ්ජා බිය ඇති ලෙස ජීවත් වන්නට හුරු පුරුදු කළ යුතු ය.

ළමා ලෝකය තළා පෙළා දමන විෂම බලවේග ඇහිරීමට ද, ඒවායින් බේරී සිටින ආකාරය දරුවන්ට කියා දීමට ද මෙකල වැඩි අවධානයක් යොමු කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. මෙසේ රැකවරණය හිමි වන ළමයා තරුණ වියට එළඹෙන්නේ ශක්තිමත් පදනමක් සමඟිනි.

තරුණ විය ජීවිතයේ හොඳම කාලයයි. එය ජව සම්පන්න ය. ආවේගශීලී ය. ආශාවන් මුහුකුරා යන කාලයකි. එහෙත් ඒ හැඟීම් මනා පාලනයකින්, සංයමයකින් හසුරුවා නොගත්තේ නම් ඒ තරුණ විය විනාශයට යෑම වැළැක්විය නොහැකි ය. ළමා විය, තරුණ විය තුළ රැක ගත නොහැකි වූ ජීවිතය, අවසන් කාලයේ හෝ රැක ගන්නට කටයුතු නොකළේ නම් මේ ජීවිතය සේ ම මතු ජීවිතය ද, අනතුරේ ම ය.

යම් පුද්ගලයෙක් තල වපුරා මුං හෝ වෙනත් අස්වැන්නක් හෝ බලාපොරොත්තු වූයේ නම් එය කවදාවත් ඉටු වන්නක් නොවේ. ඵල ලැබෙන්නේ වපුරන දෙයට අනුව ය. හොඳ කළොත් හොඳ ලැබේ. නරක කළොත් නරක ලැබේ. තමන්ට රැකවරණය ලැබෙන්නේ යහපත් දැය කිරීමෙනි.

අයහපත සතුරෙකි. පසුපසින් ම පැමිණෙමින් දුක් විපාක දෙයි. එහෙයින් තමන් රැක ගන්නට තමන් වෙහෙසිය යුතු ය. එසේ තමන්ට මිත්‍රශීලී වන්නට ආදරය කරන පුද්ගලයාටය, අනුන්ට ආදරය කළ හැකි වනුයේ, මිත්‍රශීලී විය හැකි වනුයේ.

ඇසළ පුර පසළොස්වක

 ජුලි 13 බදාදා පූර්වභාග 04.02 පුර පසළොස්වක ලබා 14 බ්‍රහස්පතින්දා පූර්වභාග
00.09 ගෙවේ.
13 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]