Print this Article


පිහිට පිළිසරණ අහිමි වන හැටි

පිහිට පිළිසරණ අහිමි වන හැටි

කෙනෙක් අවශ්‍ය දේටත් කිපෙති. කෙනෙක් අනවශ්‍ය දේටත් කිපෙති. එසේ අවශ්‍ය තැන හෝ අනවශ්‍ය තැන හෝ ක්‍රෝධ සහගත වීම ධර්මයට අනුව ජීවත්වන පුද්ගලයාගේ පුරුද්දක් නොවේ. ඒ ඔහු ක්‍රෝධ සහිත බවේ බරපතළ විපාක හොඳින් දන්නා නිසා ය.

තමන්ගේ ම දෑතින් තමන්ගේ ම ගෙල සිර කර ගැනීමක් බඳු ක්‍රෝධ සහගත බව දුරු නොකළහොත් සිදුවන විනාශය තමන් ද වනසා අනුන් ද වනසාලයි. ඒ, මේ ආකාරයෙනි.

කිපෙන ගති ඇති, ක්‍රෝධ සිත් ඇති තැනැත්තා සැම විට ම ක්‍රෝධයෙන් යුතු සිත් ඇති වීම නිසා එයින් පීඩා විඳියි. මුහුණෙහි ප්‍රසන්න භාවය නැතිවෙයි. ඒ වෙනුවට අප්‍රසන්න පෙනුමක් සහිත වූවේ වෙයි. දුර්වර්ණ බවට පත් වේ. දුර්වර්ණ ස්වභාවය නිසා ම කා අතරත් අප්‍රසාදයට ලක් වේ. කිසිවකු පි‍්‍රය නො කරයි.

ක්‍රෝධයෙන් මත් වූ, දැඩි වු සිතක් ඇති තැනැත්තා කයින් හා වචනයෙන් පව් සිදුකර ගනියි. ඒ නිසා ම ධනයෙන් පිරිහීමට ලක් වේ. අනුන්ගෙන් සිඟමන් යදිමින් ජීවත් වීමට සිදු වේ.

සතුරා කෙරෙහි වුවත් මෛත්‍රිය වඩනවා වෙනුවට ක්‍රෝධයෙන් සිත දුෂ්‍ය කොට ජීවත් වීම නිසා ක්‍රෝධ කරන්නා නින්දාවට ලක් වෙයි. තමා අවට සිටින ඥාතී මිත්‍රාදීන් පවා එම පුද්ගලයා අත හැර දමා යති. ක්‍රෝධ කිරීමේ අකුසලය නිසා ම මෙලොව කිසිවකුගේ පිළිසරණක් නැති හුදකලා වූ අසරණයකු බවට පත් වෙයි.

ක්‍රෝධය අනර්ථය පිණිස ම වේ. කිසිලෙසකින්වත් සිදුවන යහපතක් නම් නැත. ක්‍රෝධ කිරීම යනු කුසලය වෙනුවට අකුසලයට අත වැනීමකි. සිත තව තවත් ප්‍රකෝපයට පත් කරන්නකි. මානසික නිදහස, සැහැල්ලු බව නැති කරන්නකි. අපාය වැළඳ ගැනීමකි.

නිතර කිපෙන පුද්ගලයා කිසිම දෙයක සැබෑව අවබෝධ කර නොගනී. කිසිම දෙයක අර්ථය නො දනී. අධික කිපීම නිසා සමථ විදර්ශනා ධර්ම ද නො දනී. සමථ විදර්ශනා සඳහා වන මාර්ගය ද නො දනී. ඔහුට ඒ කිසිවක් නො පෙනෙන්නේ ය.

ක්‍රෝධයෙන් මඩනා ලද සිත් ඇත්තා යහපතක් යැයි සලකා සිදු කරන්නේ අයහපතක් ම ය. පසු ව ඒ ගැන කම්පා වන්නේ ය. ගින්නකින් දැවී ගිය අයෙකු සේ ය. තැවෙයි, පීඩා විඳියි. අවසානයේ දුකට පත් වේ.

ක්‍රෝධ කරන්නාට තමා කරන ක්‍රියාවන් පිළිබඳ ලජ්ජාව කියා දෙයක් නැත. ඒ සම්බන්ධව බියක් ද නැත. තමා කතා කරන වචන ශිෂ්ට ලෙස භාවිත නො කරයි. අසභ්‍ය, අසාර, අනර්ථ වචන ම කතා කරයි. එසේ ම, එලෙස ක්‍රෝධයෙන් යුතු තැනැත්තාට පිහිටක්, සරණක් හිමි නොවේ.

යහපත්, ධාර්මික ක්‍රියාවෙන් වෙන් ව, තැවීම පිණිස වන යම් ක්‍රියාවක් වේ නම්, කිපෙන්නා එවැනි ක්‍රියා කරයි. එබඳු ක්‍රියා යහපත් ක්‍රියා ලෙස ම සලකයි.

කිපෙන්නා පව පින නොහඳුනයි. එනිසා ම යම් මොහොතක තම පියා නැසීමට වුව යොමු වේ. මව නැසීමට වුව යොමු වේ. ක්‍රෝධය නිසා ම පුහුදුන් මිනිසුන් නැසීමට යොමු වේ. එවැනි පාපකාරී කාය දුෂ්චරිතයන් අවසානයේ මහා පව් කඳක් රැස් කර ගනියි.

ක්‍රෝධයෙන් යුතු සිත් ඇත්තා තමාට මෙලොව එළිය දැකීමට දායක වූ ප්‍රාණ දායිකාව (මව) ද නැසීමට නොපැකිළ වේ. හේ කෘතගුණ නො දන්නකු ලෙස ක්‍රෝධයෙන් සිත් දූෂ්‍ය කොට ජීවත් වේ.

වෛරයෙන් යුතු ක්‍රෝධ ගති ඇති තැනැත්තා තමා කෙරෙහි ම අතිශයින් සතුටු වෙයි. විවිධ අරමුණු කෙරෙහි ඇළුණු තැනැත්තා ක්‍රෝධය නිසා ම තමා වුව ද නසා ගැනීමට පෙළඹෙයි.

ක්‍රෝධයෙන් සිත පිරී ඇති, හොඳ නරක නො දැන මුළාවට පත් වූ තැනැත්තා කඩුවකින් වුව ද තමා නසා ගනියි. විෂ සහිත යමක් කෑමෙන් හෝ ජීවිතක්ෂයට පත් වෙයි. ගෙල වැල ලා ගෙන හෝ ජීවිතය නැති කර ගැනීමට පෙළඹෙයි. මහා ගල් පර්වතයකින් වුව ද පහළට පැන මිය යයි.

මේ ආදී වශයෙන් ක්‍රෝධ කරන්නන්, ක්‍රෝධය නිසා අනුන්ට පීඩා සිදු කරන්නා සේ ම, අවසානයේ ක්‍රෝධය නිසා තමා ද විනාශ කර ගන්නා ආකාරය මෙම සූත්‍රයේ මැනවින් දක්වා ඇත. එම නිසා ක්‍රෝධයෙන් සිත මුදා, මෛත්‍රියෙන් සිත පිරිසුදු කර ගැනීම සඳහා කළ යුතු පිළිවෙත අවසානයේ දී මෙසේ දක්වා ඇත.

“ඉතා යං කොධ රූපෙන
මච්චුපාසො ගුහාසයො
තා දමෙන සමුච්ජින්දො
පඤ්ඤා විරියෙන දිට්ඨියා”

එහි අදහසට අනුව මාරයාගේ ස්වරූපය අප තුළ ක්‍රියාත්මක වන්නේ ක්‍රෝධය පරිද්දෙනි. ක්‍රෝධය මාරයා වැනි ය යනු එහි සරල අදහස යි.

එම මාරයා හෙවත් ක්‍රෝධය සිතට ඒම නැති කළ හැක්කේ, වැළැක්විය හැක්කේ තම සිත තැන්පත් කර ගැනීමෙනි. සංවර හා සංසුන් කර ගැනීමෙනි. සිත දමනය කර ගැනීමෙනි. ක්‍රෝධයේ විපාකයන් දකිමින් නුවණැසින් ක්‍රියා කිරීමෙනි. උත්සාහයෙන් හා වීර්යයෙන් යුක්ත ව, සම්‍යක් දෘෂ්ටිය හෙවත් යහපත් දැකීමක් සහිත ව කටයුතු කිරීමෙනි. එසේ ම ක්‍රෝධ කිරීමෙන් ඇති වන ආදීනවයන් සැලකිල්ලට ගනිමින් එයින් වෙන් ව කටයුතු කිරීමෙනි.