Print this Article


චේතියගිරි පින්බිමේ මහා දාගැබ් වහන්සේ


මිහින්තලා මහා සෑ රදුන් වහන්සේ

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කළ මිහින්තලා පුදබිමේ සෑම කඳු මුදුනක ම පාහේ දාගැබ් වහන්සේ ඉදි කිරීම නිසා චේතියගිරිය යන නම් ලැබීය. මිහින්තලා පුදබිමෙහි විසිරී ඇති නටබුන් අතර දාගැබ් 360 ක පමණ නටබුන් හමු වෙයි.

මිහින්තලා පුදබිමෙහි පිහිටි දාගැබ් අතුරින් සැදැහැවතුන් අතර වඩාත් සම්භාවනාවට පත් වන දාගැබ නම් සේල චෛත්‍යය යි. අනාගත කාලයේ සේල චෛත්‍ය පිහිටන බිම බුදුරජාණන් වහන්සේ තුන්වැනි ලංකාගමනයේ දී මද වේලාවක් සමවත් සුවයෙන් වැඩ සිටි බව මහාවංසය, පූජාවලිය, සද්ධර්මාලංකාරය වැනි කෘතීන්වල සඳහන් වෙයි.

එමතු නොව මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ, කෝනාගමන, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුරජාණන් වහන්සේ ම මෙම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිටි බැව් සැලකේ. එසේම මිහිඳු මහ රහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස රජතුමා සම්මුඛ වී සුප්‍රකට අඹ ප්‍රශ්නය හා ඤාති ප්‍රශ්නය විමසා ඉනික්බිති අනුබුදු මිහිඳු හිමියන් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කරන ලද ස්ථානය ද මෙම ස්ථානය වශයෙන් හඳුනා ගනී.

කූටකණ්ණතිස්ස රජතුමා සෑගිරියෙහි තමා විසින් ම කරවන ලද මහා උපෝසථාගාරයක් ඉදිරිපිට බෝධීන් වහන්සේ නමක් රෝපණය කරවා අසලින් ශෛලමය දාගැබක් කර වූ පුවත මහාවංසයේ දැක්වෙයි. ශෛලමය ස්තූපය සිලාචේතිය හෙවත් සේල චෛත්‍යය වී යැයි නිගමනය කළ හැකි ය. සේල චේතිය වටා වටදාගෙයක නටබුන් හමුවෙයි. එසේම සෑ මලුවෙහි චන්ද්‍රකාන්ති පාෂාණ කොටසක් ශේෂ වී පවතී.

මිහින්තලා පුදබිමේ වඩාත් උස් වූ බිමක පිහිටි, විශාලත්වයෙන් වැඩි ම දාගැබ් වහන්සේ මිහින්තලා මහාසෑය වශයෙන් හඳුන්වනු ලබයි. අෂ්ටවංක මාණික්‍ය රත්නයක තැන්පත් කළ බුදුරජාණන් වහන්සේගේ ඌර්ණරෝම ධාතූන් වහන්සේ තැන්පත් කොට දේවානම්පියතිස්ස රජතුමා ප්‍රථමයෙන් මෙම දාගැබ නිර්මාණය කරන ලද බවත්, ඉන්පසු මහාදාඨික මහානාග රජතුමා විශාල කොට තැන වූ බවත් පිළිගත් මතය යි.

සේල චේතිය

සතර දිග්භාගයට ම, මැනවින් දර්ශනය වන මිහින්තලා පුදබිමේ මනස්කාන්ත බිමක මේ මහා සෑය පිහිටා තිබේ.

මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට තැනූ මිහිඳු සෑය මිහින්තලා මහාසෑය අසලින් ම පිහිටා තිබේ. දේවානම්පියතිස්ස මහ රජතුමාගේ සහෝදර උත්තිය රජුගේ අටවැනි රාජ්‍ය වර්ෂයේ වප් මස අව අටවක පොහෝ දා උපතින් අසූ වයසක් ද, උපසම්පදාවෙන් හැට වසක් ද ආයු වින්දනය කොට පිරිනිවන් පා වදාළ බැවින් මහා පුදපූජා පවත්වා, ආදාහන පූජෝත්සවය පවත්වා ධාතුන් වහන්සේ තැන්පත් කොට විවිධ ස්ථානවල දාගැබ් ඉදි කර තිබේ. ඒ අතුරින් සෑගිරියේ පිහිටි දාගැබ මෙය වශයෙන් සැලකේ. 1950 දශකයේ පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන සංරක්ෂණය කිරීම ආරම්භ කළ සෑගිරියේ මිහිඳු සෑය ක්‍රිස්තු පූර්ව යුගයට අයත් දාගැබක් වශයෙන් හඳුනාගෙන තිබේ. එහි වූ ස්වර්ණමය කරඬුවක තිබී මිහිඳු මහ රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ හමු වී ඇත.

ලක්දිව වෙහෙර විසිතුරෙහි හමුවන වාහල්කඩ සඳහා හොඳම නිදර්ශනය සපයන කණ්ඨක චේතිය පිහිටා ඇත්තේ ද මිහින්තලයේ ය. ස්තූපය අසල වූ ක්‍රිස්තුවර්ෂ පළමු සියවසට අයත් සෙල් ලිපියකට අනුව එම දාගැබ කණ්ඨක චේතිය වශයෙන් හඳුනා ගෙන ඇත. මහා සංඝයා වහන්සේ සඳහා වැඩ සිටීමට සකස් කළ අටසැටලෙන් පිහිටා ඇත්තේ ද කණ්ඨක චේතිය ආශ්‍රිතව ය. සද්ධාතිස්ස රජුගේ පුත් වූ ලජ්ජිතිස්ස රජතුමා මෙම දාගැබට කංචුකයක් තැන වූ බව සඳහන් වීමෙන් කණ්ඨක චේතිය ඊටත් පෙර යුගයක තැන වූ දාගැබක් වශයෙන් හඳුනා ගත හැකි ය. කණ්ඨක චේතියේ වාහල්කඩ කැටයම් මෙරට පැරණිතම බෞද්ධ මූර්ති කැටයම් වශයෙන් හඳුනාගෙන තිබේ.

සෙල්ලිපිවල කියැවෙන කතු මහ සෑය වර්තමානයේ කටු සෑය ලෙස ව්‍යවහාර කෙරෙන බව පිළිගැනීමයි. මහායාන ධර්ම ග්‍රන්ථ රචනා කළ තඹ තහඩු මෙම දාගැබ කැණීමෙන් හමු වී තිබේ. මිහින්තලේ පුදබිම ගොඩනැංවීමට යොදා ගත් ආයුධ මෙහි තැන්පත් කොට ඇතැයි ඇතැමුන් අනුමාන කළත් ඊට නිශ්චිත සාධක හමු වී නැත.

කැණීම්වල දී ඉදිකටු හමු වූ හෙයින් ඉදිකටු සෑය වශයෙන් හඳුන්වනු ලබන ඉදිකටු සෑය මිහින්තලේ පිහිටි තවත් දාගැබකි. සිවුරු මැසීමට යොදාගත් ඉදිකටු මෙසේ නිධන් කොට ඇතැයි මතයක් පළ වී තිබේ. මිහින්තලේ වඩාත් ම උසින් පිහිටි ඇත් වෙහෙර කන්දේ පිහිටි දාගැබ අතීතයේ කිරි බණ්ඩ පව් දාගැබ වශයෙන් හඳුන්වා තිබූ බව මිහින්තලා පුවරු ලිපිවල දැක්වෙයි.


කණ්ඨක චේතිය

ඉදිකටු සෑය