Print this Article


සට්ඨකූට සහස්ස පේ‍්‍රත වස්තුව

සට්ඨකූට සහස්ස පේ‍්‍රත වස්තුව

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා පේ‍්‍රතයකු අරභයා මේ පේ‍්‍රත වස්තුව දේශනා කළ සේක.

යට ගිය දවස බරණැස් නුවර විදීම් ශිල්පයෙහි අති දක්ෂ, පිළෙක් විසීය. පිළෙක් යනුවෙන් අදහස් කරන්නේ දුවන්න පනින්න බැරි කකුල් දෙකම අහිමි වු පුද්ගලයෙකි. නුග ගසක් මුලට වී නුග පත්වලට විද විවිධ චිත්‍ර අඳිනු ලැබේ. ගල්කැට විද සිදුරු කිරීමෙන් මෙම චිත්‍ර ඇඳීම සිදුවන බව දත යුතුයි. ඉලක්කයට විදිය හැකි අයකුට පමණක් කළ හැකි කාර්යයෙකි.

එක දවසක් බරණැස් රජතුමා මේ නුග ගස යටින් ගමන් කරන කල්හි නුග පත්වල විචිත්‍ර රූ සටහන් දැක මෙසේ කරන ලද්දේ කවරෙක් විසින් දැයි රැස්ව සිටි පිරිසගෙන් විමසි ය. එවිට එසේ කරන ලද්දේ මේ පිළා විසිනැයි පැවසී ය.

රජතුමා ඔහු කැඳවා යහළුව, රාජ සභාවේ පුරෝහිත බ්‍රාහ්මණයා කටමැත දොඩවන පුද්ගලයෙකි. මේ කට වාචාල පුද්ගලයාගේ කතා කිරීම නැවැත්විය යුතුයි. ඔහු නොදැනුවත්ව ම ඔහුගේ කුසට එළු බෙටි නැළියක් පිරවිය යුතු ය. ඔබට එය කළ හැකි දැයි ඇසීය. පිළා ඒ කටයුත්ත කිරීමට බාර ගත්තේ ය. රාජ මාළිගාවට පැමිණෙන ලෙස ඔහුට අණ කොට රජතුමා පිටත්ව ගියේය. රාජ සභාවට ගිය පිළා තිරයක් පිටුපස සිට තිරයේ සිදුරකින් එළුබෙටි නැළියක් පුරෝහිතගේ කටට විදින ලදී. ඒ එළු බෙටි නැළියම ගිල දැමිමට පුරෝහිත බ්‍රාහ්මණයාට සිදු විය.

අනතුරුව රජතුමා බොහෝ කොට කතා කරන පුරෝහිත කැඳවා පුරෝහිතය, ඔබ නිතර නිතර, කතාවේ යෙදෙන බැවින් දැන් තොගේ කුස එළු බෙටිවලින් පිරී ඇත. නිවසට ගොස් එළු බෙටි වමාරාලවයි කීය.

පිළා රජතුමාගෙන් බොහෝ සම්පත් ලැබීය. සම්පත් ලැබූ ඔහු දැහැමිව සතුටුව ජීවත් විය. ඒ අතර එක්තරා පුරුෂයෙක් විදීමේ අති දක්ෂ මේ පිළා වෙත පැමිණ ඔහු දත් විදීමේ ශිල්පය ඉගෙන ගත්තේ ය. ඉගෙනගත් ඔහු තමා උගත් ශිල්පය පිරික්සීමට ඉතාමත්ම වැරැදි පාප ක්‍රියාවක් සිදු කළේ ය.

ඒ පාපි ක්‍රියාව වූයේ ගංතෙරක විසූ සිල්වත් ගුණවත් සුනෙත්ත නම් පසේ බුදුරජාණන් වහන්සේගේ කනට ගලක් විදීමයි. ඒ ගල් පහරින් පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. මේ සිදුවීම දැනගත් මිනිස්සු ගල් මුගුරුවලින් ගසා ඔහු මරණයට පත් කළහ. ඔහු මරණයෙන් පසු අප්‍රමාණ දුක් සහිත මහා නරකයෙහි උපන්නේ ය.

අපා දුක් විඳ එයින් චුතව නැවත පේ‍්‍රත ලෝකයෙහි ඉපදුණේ ය. පේ‍්‍රත ලෝකයේ උපන් ඔහු අප්‍රමාණ දුක් වින්දේය. කුළු හැට දහසක් ඔහුගේ හිස මුදුනට වැටේ. උදේ දවල් රාත්‍රී යන තුන් කාලයෙහි ම මේ ලෙස ගල් පර්වත හැට දහසක් හිස මත වැටීමෙන් හිස පොඩිවී දුක් විඳින පේ‍්‍රතයා මහා මුගලන් මහ රහතන් වහන්සේට මුණ ගැසිණ.

මුගලන් මහ රහතන් වහන්සේ පේ‍්‍රතයාගෙන් මෙසේ දුක් විඳීමට තමා පෙර භවයේ කිනම් වූ අකුසල කර්මයක් කළෙහි දැයි විමසුහ. පසේ බුදුරජාණන් වහන්සේ නමකට තමා සිදු කළ සාපරාධී ක්‍රියාව නිසා අපා දුක් විඳ මෙසේ පේ‍්‍රත ලෝකයේ ඉපිද දුක් විඳීමට සිදු වූ බව පේ‍්‍රතයා විසින් ප්‍රකාශ කරන ලදී.

තොප කළ අකුසල කර්ම ඉතාමත් බරපතළ ය. එහි විපාක තා විසින්ම විඳිය යුතු ය. ලොව්තුරා බුදුවරයකුට වත් මෙබඳු අකුසල කර්මයක විපාකය වෙනස් කළ නොහැකි බව වදාළහ.

මුගලන් මහ රහතන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ පුවත දන්වා සිටියහ. බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ මහත්වූ ගුණය වර්ණනා කරමින් රැස්ව සිටි පිරිසට දහම් දෙසූ සේක.