Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 68 කොටස: සිංහලයන් සතු රාජධානිය නැවත අත්පත් කර ගත යුතුයි

දුටුගැමුණු මහ රජතුමා - 68 කොටස:

සිංහලයන් සතු රාජධානිය නැවත අත්පත් කර ගත යුතුයි

“රාජ දූතය, සාමය සඳහා සන්දේශයක් ද”

“නැත, දේවයන් වහන්ස”

“එසේ නම් සන්දේශය කුමක් සඳහා ද?”

ඛඤ්ඡදේව, රජතුමා වෙත ගොස් ආචාරශීලීව තමා වෙත තිබුණු තල්පත එළාර රජුට දුන්නේ ය.

“මහ රජතුමනි, සිරිනාග නම් මහසෙනෙවියකු කසාතොට දී අත්අඩංගුවට ගෙන මාගමට එවා තිබේ. සන්දේශය ඔහු වෙනුවෙනි.”

රජු තල්පත ගෙන කියවීය. කෝපයට පත් මුහුණින් යුතුව එය දීඝජන්තුට දුන් රජතුමා බැලුවේ දීඝාභය දෙස ය. දීඝජන්තු කාටත් ඇසෙන්නට තල්පත කියවීය. කෝපය ඔහුගේ මුහුණෙන් ද පෙනෙන්නට විය. සභාව වික්ෂිප්තව බලා සිටියේය.

නිශ්ශබ්දතාව බිඳිමින් දීඝාභය කතා කළේ ඛඤ්ඡදේව දෙස බලමිනි.

මහ රජතුමනි, මේ සන්දේශය ගෙනැවිත් තිබෙන්නේ මාගම රාජ්‍යයේ මහ සෙනවියකු හෙයින්, සාර්ථක පිළිතුරක් දුටුගැමුණු රජතුමා අපේක්ෂා කරන බව පෙනේ.

සිරිනාග ලෙහෙසියෙන් අත් අඩංගුවට පත් වන්නෙක් නොවෙයි. සිරිනාග අපට එවා ඇති තල්පත අනුව ඔහු සිරභාරයට පත් වූයේ අපේ ම ඔත්තුවක් අනුව බව පැහැදිලියි. ඔහු ඉතා දක්ෂයෙක්.

දැනට මෙහි සිරබාරයේ සිටින චර පුරුෂයන්ගෙන් අපට වැඩක් නැති හෙයින් ඔවුන් නිදහස් කර යවා සිරිනාග මහ සෙනෙවි මෙහි ගෙන්වා ගැනීම ප්‍රයෝජනවත් බවත්, එසේම අපේ යුතුකමක් බවත් මගේ අදහසයි.”

දීඝාභය කීවේ යෝජනාවක් ස්වරූපයෙනි. ඉන්පසු ඔහුගේ අවධානය යොමු වූයේ දීඝජන්තු වෙත ය.

“එහෙමයි, දේවයන් වහන්ස, සිරිනාග මෙතෙක් අපට කර ඇති සේවය අනුව ඉදිරියේ දී ලබා ගත හැකි මෙහෙය අනුව ඔහුට මරණ දණ්ඩනය ලැබෙන්නට ඉඩ නොහළ යුතු බව මගේ අදහසයි.

රාජ සභාව එය ඒකමතිකව අනුමත කළේ ය. රජතුමා ඒ පිළිබඳ තුණ්ඩිලගෙන් ප්‍රශ්න කළේ ය.”

“තුණ්ඩිල, දැනට අපේ සිරභාරයේ සිටින චර පුුරුෂයන්ගේ සංඛ්‍යාව කොපමණ ද?”

ඔහු පිළිතුරක් නොදී බලා සිටියේ ය. දීඝජන්තු දෙස බලා නිශ්ශබ්ද විය. එහෙත් රජුගේ තියුණු බැල්ම හෙයින්, ඛඤ්ඡදේව දෙස බැලූ ඔහු දුන්නේ කපටි පිළිතුරකි.

“දේවයන් වහන්ස හැට දෙනකුට වඩා නැහැ” “මහ රජතුමනි, අපගේ දැනීමේ හැටියට දැනට සිර අඩස්සියේ සිටින චරපුරුෂයන්ගේ සංඛ්‍යාව එකසිය තිස්පහක්. ඒ සියලු දෙනාම නිදහස් කර ගැනීම අපේ දූත කාර්යයේ අරමුණයි.”

එළාර රජතුමා විමතියට පත්ව ඛඤ්ඡදේව දෙස බලා සිටියේ ය. දීඝජන්තු පුදුමයට පත්විය. සෙනෙවිවරු සියලු දෙනා ද පුදුමයට පත් වූයේ මෙම ආගන්තුක දූතයාගේ ප්‍රකාශයෙනි.

“තුණ්ඩිල, මේ රාජ දූතයා කියන්නේ ඇත්තක් ද?”

ඔහුගේ පිළිතුරක් නැත. දීඝජන්තු ඒ වෙනුවට පිළිතුරු දුන්නේ ය.

“එසේ ය, මහරජතුමනි, ඔහු ඉදිරිපත් කරන සංඛ්‍යාව නිවැරැදියි. එහෙත් ඔහු එය දැනගත්තේ කෙසේද යන්න දැන ගැනීම අපට වැදගත් විය හැකියි. අපේ රහස් මෙතරම් සියුම් ලෙස මොවුන් අතට පත් වෙන්නේ කෙසේද?”

“එය දැන ගත යුත්තේ නුඹ ම නොවේද? මහසෙනෙවි” රජතුමා කෝපයෙන් විමසුවේ ය.

දේවයන් වහන්ස, මොහු මට පවරනු මැනවි. හෝරාවක් ගත වන්නට කලින් ඒ සියල්ල මට මොහුගෙන් දැනගත හැකියි.

එළාර රජතුමා තුණ්ඩිල දෙස රවා බැලුවේ ය. සභාවේ ද නොසන්සුන් බවක් දිස්විය.

තුණ්ඩිල, නුඹ තමන් දරන සෙනෙවි තනතුරටත් නොබියව කතා කරන්නේ කෙසේදැයි මට පුදුමයක්. රාජ්‍යයකින් තවත් රාජ්‍යයකට එන රාජ දූතයකුට ඔහු ගෙන එන සන්දේශය යහපත් වුවත්, අයහපත් වුවත්, එය ඉටු කළ හැකි වුවත්, නොහැකි වුවත් ඔහු ඉහළින් පිළිගෙන ආගන්තුක සත්කාර කර අපේ පිළිතුර සමඟ බාධාවකින් තොරව ආපසු යැවීම රාජ සම්ප්‍රදාය බව නොදන්නේ ද? රාජ නීතිය හෝ ආචාරධර්ම හෝ නොදන්නා තොපට මහ සෙනෙවිකමක් පැවරිය හැකි ද?

රජ දූතය, මෙහි සිරගතව සිටින සියලුම චරපුරුෂයන් තොපේ රජතුමා අපේක්ෂා කරන පරිදි, මෙයින් සිව්වැනි දින පෙරවරුවේ කසාතොටේ දී උපතිස්ස බණ්ඩාර සෙනෙවියාට භාර ගත හැකියි. එම මොහොතෙහි සිරිනාග මහ සෙනෙවි ද අපේ මහ සෙන්පති දීඝජන්තුට භාර දිය යුතු බව තොපේ රජතුමාට සැළ කරව“

“හොදමයි, මහ රජතුමනි, ඔබ වහන්සේගේ නියමය පරිදි ඒ සියල්ල එලෙසම සිදුවනු ඇති.”

ඛඤ්ජදේව මහ සෙනෙවි, රජතුමාට ආචාර කර සම්මන්ත්‍රණ ශාලාවෙන් පිටතට පැමිණියේ ය.

කසාතොටින් පැමිණි ආරක්ෂක සෙනෙවිවරුන් දෙදෙනා ඔහු දෙපස සිට ගත්තේ ය. සම්මන්ත්‍රණ ශාලාවේ මුර කොටුව වෙතට ගිය ඔවුන් තිදෙනා තම අශ්වයන් පිට නැඟී ගමන ආරම්භ කළෝ ය.”

“සෙනෙවිවරුනි, ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙතට ගොස් වැඳ පුදා යන්නට ඇත්නම් මම කැමතියි.”

“ඔව්, ඔබට එය කළ හැකියි. ඒ සඳහා වෙනම අවසරයක් අවශ්‍ය නැහැ.

ඔවුහු ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැමිණියහ. බෝමලුව අසල අශ්වයා නවතා එහි ඇතුළු වූ ඛඤ්ඡදේව මහත් භක්තියෙන් බෝධීන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටතට පැමිණෙත් ම දුටුවේ, රූමත් තරුණියන් තිදෙනෙකි.

දන්ති කුමරිය, ඛඤ්ඡදේවගේ සිතට සතුටක් නැගිණි. දන්ති ද ඔහු දෙස පුදුමයෙන් බලා සිටියා ය. ඔහු තමන් අමතන්නට පෙර ඇය කතා කළා ය.

ඛඤ්ඡදේව, මහ සෙනෙවි තුමනි, ඔබ මෙහි පැමිණියා ද? මාගමින් රජ දූතයකු පැමිණ සිටින බව දැන ගත්තා. එහෙත් ඒ ඔබ බව දැන සිටියේ නැහැ.”

“මම රජගෙදර සේවිකාවක්. ඒ නිසා කතාකරන විට පරිස්සම් වන්න.” සෙමින් කී ඇය තමන් සමඟ සිටි අනෙක් තරුණියන් දෙදෙනා හඳුන්වා දුන්නා ය.”

“මේ එළාර මහරජතුමාගේ එකම දියණිය අභිකෘෂ්ණා කුමරිය. මේ පුණ්ණා, එතුමියගේ යෙහෙළියක්. ඉතින් මහ සෙනෙවිතුමනි ඔබ පැමිණි කාර්යය සාර්ථකව ඉටු වුණා ද?

ඔව්, අපේ අත්අඩංගුවට පත්ව සිටින සිරිනාග මහ සෙනෙවි නිදහස් කර එවීමට මෙහි සිරගතව සිටින සියලුම චරපුරුෂයන් නිදහස් කරන ලෙස අප කළ ඉල්ලීම එළාර මහ රජතුමා පිළිගත්තා.”

“දන්ති, අපි සිතුවේ ගැමුණු රජතුමා මේ දූතයා එවූයේ සාම සාකච්ඡාවට කියලයි. එහෙත් දැන් බලනකොට යුද්ධයේ වෙනසක් වෙන්නේ නැහැ.”

“ඔව් කුමරියනි, මේ රාජධානිය සිංහලයන් සතු එකක්. එය නැවත අත්පත් කර ගැනීමේ සටන ළඟදීම ආරම්භ වේවි.”

“මහ සෙනෙවිතුමනි, එය සාධාරණ සටනක් තමයි. නමුත් සටනකින් තොරව මෙය විසඳා ගන්නට බැරිද?

“ආක්‍රමණික ස්වරූපයෙන් පැමිණ සිටින සියලු දෙනාම මේ රටින් පිට වී අනෙක් සියලු දෙනාම සිංහල ආධිපත්‍ය පිළිගන්නේ නම් සටනක් අවශ්‍ය නැහැ කුමරියනි.”

කුමරියට පිළිතුරක් දෙන්නට අවස්ථාවක් නොලැබිණි. එතැනට කඩා වැටුණේ තුන්ඩිල ය. රජ කුමරිය දැකීමෙන් උද්දාමයට පත් ඔහු ආරක්ෂක සෙනෙවිවරුනට බැණ වැදුණේ ය.

“මොහු කසාතොටට රැගෙන ගොස් ගඟින් එතෙර නොකොට මෙහි රඳවාගෙන සිටින්නේ කාගේ අවසරයකින් ද?

සෙනෙවිතුමනි, මේ මහ සෙනෙවිතුමා ශ්‍රී මහා බෝධිය දැක බලා ගැනීමේ කැමැත්ත පළ කළා. ඒ නිසා මෙහි එන්නට සිදු වුණා. දැන් අප සූදානම් වූයේ කසා තොටට ගමන් අරඹන්නටයි.”

ඉතින් මේ තරුණ කාන්තාවන් සමඟ ඔහුට ඇති කතාව කුමක්ද?

තුණ්ඩිල, සෙනෙවිතුමනි, මේ මහ සෙනෙවි තුමා මා දන්නා හඳුනන කෙනෙක්. ඒ නිසා මමයි ඔහුගෙන් තොරතුරු විමසුවේ” දන්තී කීවා ය.