[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියලු බුදුරජාණන් වහන්සේ අනුත්තරිය වෙති

සියලු බුදුරජාණන් වහන්සේ අනුත්තරිය වෙති

සැරියුත් මහරහතන් වහන්සේ තුන් කල්හි වැඩ සිටින බුදුරජාණන් වහන්සේ නමක් සතු අභිඤ්ඤෙය්‍යතර ලක්ෂණ හෙවත් අනුත්තරීය ධර්ම දහසයක් (16) දේශනා කළහ.

කුසලධම්ම දේසනා : එහි පළමු වැන්න කුසලධර්ම දේශනා යන්නයි.

බුදුරජාණන් වහන්සේ සතු සුවිශේෂ ලක්‍ෂණයකි, කුසලධර්ම විෂයෙහි ධර්ම දේශනා කිරිම. එනම් සතර සතිපට්ඨාන, සතර සම්‍යග් ප්‍රධාන, සතර ඉද්ධිපාද, පඤ්ච ඉන්ද්‍රිය, පඤ්චබල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ග යනාදිය මැනවින් නිරවශේෂ වශයෙන් අවබෝධ කොටගෙන ධර්ම දේශනා කිරීම. මෙය බුදුරජාණන් වහන්සේ සතු අභිඤ්ඤෙය්‍යතර හෙවත් අනුත්තරීය ලක්‍ෂණයකි.

ආයතපණ්ණත්ති දේසනා :

ස්වාමිනී, භාග්‍යවතුන් වහන්සේ වදාළ ආධ්‍යාත්මික හා බාහිර ආයතන 6කි. ඇස ද, රූපය ද, කන ද, හඬ ද, නැහැය ද, ගඳ ද, දිව ද, රස ද, කය ද, ස්පර්ෂ වන දෙය ද, මනස ද, ධර්මය ද ආදී මේවා ආධ්‍යාත්මික හා බාහිර ආයතන වෙති. මෙම ආයතන ප්‍රඥප්ති දේශනාව විෂයෙහි භාග්‍යවතුන් වහන්සේ ම අනුත්තරීය වෙති. යන්න ද බුදුරජාණන් වහන්සේ පිළිබඳ දෙවන අනුත්තරීය ලක්ෂණයයි.

ගබ්භාවක්කන්ති දේසනා :

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සතර ආකාර වූ ගබ්භා වක්ක්‍රාන්තිය හෙවත් මව්කුසෙහි වාසය කිරීම මනාකොට දේශනා කළ සේක. එක්තරා සත්වයෙක් සිහි නැතිව මව්කුසට පිවිසෙයි. සිහි නැතිව මව්කුසෙහි වසයි. සිහි නැතිව මව් කුසෙන් පිවිසෙයි.

තවත් අයෙක් සිහි ඇතිව මව් කුසට පිවිසෙයි. සිහි නැතිව මව් කුසෙහි වාසය කරයි. සිහි නැතිව ඉන් නික්මෙයි.

තවත් අයෙක් සිහි ඇතිව මව්කුසට පිවිසෙයි. සිහි ඇතිව වාසය කරයි. සිහි නැතිව නික්ම යයි.

සතර වැනි පුද්ගලයා සිහි ඇතිව මව් කුසට පැමිණෙයි. සිහි ඇතිව වාසය කරයි. සිහි ඇතිව මව් කුසින් නික්ම යයි. මෙසේ ගබ්භාවක්ක්‍රාන්තිය පිළිබඳ සිදු කළ නිවැරැදි දේශනාව නිසා බුදුරජාණන් වහන්සේ අනුත්තරීය වෙති.

ආදේසනවිධා දේසනා :

ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආදේශන විධා දේශනා හෙවත් අනුන්ගේ සිත්හි පවත්නා ආකාරය බලා ධර්ම දේශනා කරන සේක. ඔබගේ මනස මෙසේ ය. ඔබගේ මනස මේ ආකාර ය. ඔබගේ සිත මෙසේ ය. ආදී වශයෙන් නිවැරැදිව දැනගෙන ධර්ම දේශනා කරන සේක. එසේ හෙයින් ස්වාමීනී ආදේශනවිධා දේශනා හෙවත් අනුන්ගේ සිත් දැනගෙන ධර්ම දේශනා කිරීමෙන් ඔබ වහන්සේ අනුත්තරීය වෙති.

දස්සනසමාපත්ති දේසනා :

ස්වාමීනී, කිසියම් මහණ බමුණු කෙනෙක් උත්සාහ කොට වීර්ය වඩා නැවත නැවත උත්සාහ කොට කිසියම් සමාධියක පිහිටි විට මේ ශරීරය පිළිබඳ නිස්සාරත්වය නුවණින් විමසා දැන ගනී. “අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා” යනුවෙන් මේ ශරීරයෙහි කෙස්, ලොම්, නිය, දත්, සම, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හෘදය, අක්මාව, දළබුව, බඩදිව, පපුමස, අතුණුබහන්, නොදිරූ ආහාර, මල, පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේද, කඳුළු, වුරුණුතෙල, කෙල සොටු, ඇටමිදුළු, මූත්‍ර, අසූචි ඉස්මුදුනෙහි මොළය ආදී දෙතිස් කුණපයන්ගෙන් යුක්ත යැයි ප්‍රත්‍යවේක්‍ෂා කරයි. “අයං පඨමා දස්සනසමාපත්ති” මේ පළමු දර්ශන සමාපත්තියයි.

එසේම ස්වාමීනී, තවත් අයෙක් මේ ශරීරයෙහි ඇති අස්ථි හෙවත් ඇට අරමුණු කොටගෙන ඉපදවූ දිවැස මඟින් ශරීරයෙහි ස්වභාවය දකී. එය දෙවැනි දර්ශන සමාපත්තියයි. එසේම යමෙක් වෙහෙස වී ධ්‍යාන සමාපත්ති ලබා මෙලොව හා පරලොව පිහිටි විඤ්ඤාණ ස්‍රෝතය දනී ද පෘථග්ජනයන්ගේ එම චේතෝ පරියාය ඤාණය තුන්වැනි දර්ශන සමාපත්තියයි.

කිසියම් පුද්ගලයෙක් ශරීරය පිළිබඳ නුවණින් දැක පුද්ගලයාගේ මෙලොව පරලොව දෙකෙහි ම නොපිහිටි විඤ්ඤාණ ස්‍රෝතය දකී ද මෙම රහතන් වහන්සේලාගේ චේතෝ පරියාය ඤාණය හතරවන දර්ශන සමාපත්තියයි. ඉහත සමාපත්ති සතර පිළිබඳ ස්වාමීනී ඔබ වහන්සේගේ ධර්ම දේශනය අනුත්තරීය වෙති.

පුග්ගලපණ්ණත්ති දේසනා :

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මෙලොව වාසය කරන උභතො භොග විමුත්ති, ප්‍රඥා විමුත්ති, කාය සාක්‍ෂි දෘෂ්ටි ප්‍රාප්ත, ශ්‍රද්ධා, විමුක්ත, ධර්මානුසාරී, ශ්‍රද්ධානුසාරී යන පුද්ගලයින් හත්දෙනා පිළිබඳ පුද්ගල ප්‍රග්ඥප්ති විෂයෙහි ධර්මය දේශනා කිරීමෙහි භාග්‍යවතුන් වහන්සේ අනුත්තරීය වෙති.

පධානදේසනා :

ස්වාමීනී, භාවනානු යෝගය පිළිබඳ ඔබ වහන්සේ විසින් දේශනා කරනු ලබන ධර්ම දේශනාව සත්ත බොජ්ඣංග හෙවත් සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා ආදී වශයෙන් සම්බොජ්ඣංග හෙවත් සම්බෝධි අංග හතක් පිළිබඳ දේශනා කෙරේ. මෙම සතිසම්බොජඣංග දේශනාව භාග්‍යවතුන් වහන්ස, අනුත්තරීය වෙති.

පටිපදාදේසනා :

ප්‍රතිපදාවන් පිළිබඳ කාරණා හතරකි. දන්ධා භිඤ්ඤ දුක්ඛ පටිපදා, ඛිප්පා භිඤ්ඤ දුක්ඛ පටිපදා, දන්ධා භිඤ්ඤ සුඛ පටිපදා, ඛිප්පා භිඤ්ඤ සුඛ පටිපදා, යනුවෙන් ප්‍රතිපදා හතරක් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනය අනුත්තරීය වෙති.

භස්සසමාචාරාදී දේසනා :

ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ වාග් සමාචාර හෙවත් කථා කිරීම් විෂයයෙහි මුසාබස් නොකියති. ඔවුනොවුන් බිඳවන බස් නොකියති. කේලාම් බස් නොකියති. සැහැසි බස් නොකියති. දිනීම අපේක්‍ෂා කරමින් වචන කථා නොකරති. නුවණින් විමසාම කථා කරති. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ වාග් සමාචාර විෂයෙහි අනුත්තරීය වෙති.

පුරිසසීලසමාචාර දේසනා :

ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිසුදු සීල විෂයෙහි දහම් දෙසන සේක්.

එක්තරා මහණෙක් සත්‍ය කථා ඇත්තේ ද, ශ්‍රද්ධාව ඇත්තේ ද, කුහක නොවන්නේ ද, චාටු බස් නොකියන්නේ ද, අනුන්ට ගරහන්නෙක් නොවන්නේ ද, ලාභ සොයන්නෙක් නොවන්නේ ද, ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇත්තෙක් වන්නේ ද ආදී වශයෙන් පුද්ගලයන්ගේ පුරිසසීල සමාචාරයන් විෂයෙහි දහම් දෙසන සේක. එසේ හෙයින් භාග්‍යවතුන් වහන්සේ පුරිසසීලසමාචාර දේශනා විෂයෙහි අනුත්තරීය වෙති.

අනුසාසනවිධා දේසනා :

ස්වාමීනී අනුසාන විධා හතරකි. භාග්‍යවතුන් වහන්සේ මේ තැනැත්තා ත්‍රිවිධ සංයෝජන නැසීමෙන් අපායෙහි නොවැටී සකදාගාමී අනාගාමී අර්හත් මාර්ගයට පිවිසි පුද්ගලයකු වේ. යනුවෙන් ද, තවත් පුද්ගලයකු ත්‍රවිධ සංයෝජනයන් නසා සකදාගාමී පුද්ගලයකු වේ. තවත් කෙනකු ඕරම්භාගීය සංයෝජන නසා මරණින් මතු සුද්ධාවාසයෙහි උපත ලබන නැවත මෙලොවට නොපැමිණෙන අනාගාමී පුද්ගලයකු වේ. යනුවෙන් ද හතරවන පුද්ගලයා මෙම ආත්ම භාවයෙහි දී ම ආශ්‍රවයන් ක්‍ෂය කළ ඵලසමාදිය හා ඵලප්‍රඥාව නුවණින් දැක සසර විමුක්තිය සලසා ගන්නේ ය යන කරුණු යෝනිසෝමනසිකාරයෙන් දැක දහම් දෙසන සේක. මෙය ද භාග්‍යවතුන් වහන්සේගේ අනුත්තරීය ලක්‍ෂණයකි.

පරපුග්ගලවිමුත්තිඥාන දේසනා :

ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ පුද්ගලයන් පිළිබඳ නුවණින් විමසා ඔවුන් ත්‍රිවිධ

සංයෝජන නසා කෙලෙස් බන්ධනයෙන් මිදෙන ආකාරය දැනගෙන දහම් දේශනා කරන සේක. මෙම පරපුද්ගල විමුක්තිඥාන දේශනාවෙන් භාග්‍යවතුන් වහන්සේ අනුත්තරීය වෙති.

සස්සතවාද දේසනා :

ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තුන් ආකාර වූ සාස්වතවාද පිළිබඳ දහම් දේශනා කරති. යම් පුද්ගලයෙක් වීර්යය වඩා, උත්සාහය වඩා, එළඹ සිටි සිහිය නිසා පෙරවිසූ කඳපිළිවෙළ සිහිකිරිමේ නුවණ ලබයි. එවැනි චිත්තසමාධියක් ලබන්නේ ය යන සාස්වත වාදය පිළිබඳ නිවැරැදිව දහම් දේශනා කරන නිසා ද භාග්‍යවතුන් වහන්සේ අනුත්තරීය වෙති.

පුබ්බේනිවාසානුස්සතිඥාන දේසනා :

කිසියම් මහණ බමුණෙක් වීර්යය වඩා, උත්සාහ වඩා, කිසියම් සමාධියකින් සිත සමාධිගත කළ කල්හි එක් ජාතියක් දෙකක් තුනක් නොව කල්ප ගණනක් ආත්ම පිළිබඳ දැන ගන්නා වූ නුවණ ඇතිකර ගන්නා ආකාරය භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් දේශනා කරන සේක. මෙසේ පූර්ව ආත්ම සිහිකිරීමේ නුවණ හෙවත් පූර්වේ නිවාසානුස්මෘති ඥාන දේශනාවෙන් භාග්‍යවතුන් වහන්සේ අනුත්තරීය වෙති.

චුතූපපාතඥාන දේසනා :

ස්වාමීනි කිසියම් මහණ බමුණෙක් වීර්ය වඩා, උත්සාහ වඩා යම් සමාධියකින් සිත සමාධිගත කරගෙන මොවුහු කාය දුශ්චරිතයෙන් යුක්තයහ. වාග් දුශ්චරිතයෙන් යුක්තයහ. මනො දුශ්චරිතයෙන් යුක්තයහ. ආර්යයන් වහන්සේලාට අපහාස කරති. මිත්‍යා දෘෂ්ටි ඇතිව වාසය කරති. තවත් අයෙක් කාය වාග් මනෝ සුචරිතයෙන් යුක්තව ආර්යයන් වහන්සේලාට අපහාසාදිය නොකරති. ආදී වශයෙන් මොහු මරණින් මතු දුගතියට හෝ සුගතියට යන්නේ ය යනුවෙන් මනාකොට දැන දහම් දේශනා කරති. මෙසේ සත්වයන්ගේ චුති හා උත්පත්ති පිළිබඳ දේශනාව සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ අනුත්තරීය වෙති.

ඍද්ධිවිධ දේසනා :

ස්වාමීනි මේ ඉද්ධි ස්වභාවයෝ දෙකකි. එය සදොස් යැයි ද දෝෂාරෝපණ සහිත යැයි ද ‘ආර්ය නොවේ යැයි ද’ ප්‍රකාශ කරන්නෝ ද, ඍද්ධිය දොස් රහිත යයි දෝෂාරෝපණ රහිත යැයි ආර්යය යැයි කියන්නෝ ද සිටිති. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ දෙයාකාර ඍද්ධි ප්‍රත්‍යක්‍ෂ කොටගෙන ධර්ම දේශනා කරති. මෙය ද භාග්‍යවතුන් වහන්සේගේ අනුත්තරීය ලක්‍ෂණයකි.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සතු ඉහත දක්වා ඇති අනුත්තරීය ලක්ෂණ දහසය සැරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කළහ. ස්වාමීනි, අතීත බුදුවරයන් වහන්සේලාත් අනාගතයෙහි වැඩසිටින බුදුවරයන් වහන්සේලාත්, වර්තමානයෙහි සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේත් හා සම වූවකු මේ ලොව නූපදින්නේ ම ය.

සාරිපුත්ත ඔබගේ දේශනාව එලෙසම අනුමත කරමි. ලොව මෙතෙක් පහළ වී ඇති, අනාගතයෙහි පහළ වන හා වර්තමාන සියලු බුදුවරු අනුත්තරීය හෙවත් අභිඤ්ඤෙය්‍යතරම වෙති. යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

වෙසක් අව අටවක

මැයි 22 ඉරිදා අපරභාග 01.06 අව අටවක ලබා 23 සඳුදා පූර්ව භාග 11.40 ගෙවේ.
22 ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 29

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 28

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]