Print this Article


අනේක දුක් ගිනි සැනෙකින් නිවා ලන උතුම් ලොව්තුරු බුදුහිමි රූ සිරි

අනේක දුක් ගිනි සැනෙකින් නිවා ලන උතුම් ලොව්තුරු බුදුහිමි රූ සිරි

බුදුරජාණන්වහන්සේ මහාපුරුෂ ලක්ෂණ, බුදුබලය ඔප් නැංවීමට පුරාකෘත පුණ්‍ය ශක්තියෙන් හිමි වන දේය. නිදසුනක් ලෙස “බුදුන් තම හිස මුදුනින් විහිදුවන රශ්මිධාරා විවිධ වර්ණයෙන් මුළු ලෝකාන්ධකාරය තුළ පැතිර පැවැත්තේ ය. යළිත් එම රශ්මි කදම්බය බුදුන් වෙත පෙරළා පැමිණ තුන් වරක් තමන් වටා ප්‍රදක්ෂිණා කොට ශ්‍රී මුඛයෙන් විශාලත්වයට පැමිණේ.” යනුවෙන් මහායානික කෘතිවල දැක්වෙන ප්‍රකාශය දැක්විය හැකි ය.

ථේරවාදය අනුව මට්ටකුණ්ඩලී වැනි අසරණයන්ගේ සිත් පැහැදවීමට බුදුන් වහන්සේ විසින් නිකුත් කරන ලද්දේ එබඳුම වූ ආලෝක ධාරාවකි. රූපයේ අනිත්‍යතාව බුදුහිමියන් අවධාරණය කළ නමුත් බුද්ධානුස්සති භාවනාවට බුදුසිරුරේ රූප විලාශයේ මහත්වයත්, එය පවා අනියස බව මෙනෙහි කිරීමටත් යොදා ගැනෙන බව අප විසින් මෙහි ලා අමතක නොකළ යුත්තකි.

මෙම ශාරීරික ලක්ෂණ බලා අනාවැකි පැවසීමේ ශාස්ත්‍රයක් පුරාණ ඉන්දියාවේ පැවතිණ. මහා භාරතය, වෘහත්සංහිතා, සාමුද්‍රිකාශාස්ත්‍ර වනි ග්‍රන්ථවල මේ පිළිබඳ සඳහන් වේ.

කුඩා සිදුහත් කුමරු නිසැකවම බුදුවන බව කොණ්ඩඤ්ඤ නම් තාපසයා විසින් පවසන ලද්දේ මෙකී ශාරීරික ලක්ෂණ විමසා බව මෙයින් තහවුරු වේ.

බුදු සිරුරේ රූප විලාසමය අසිරිමත් බව සම්බන්ධ අතිශය විසිතුරු භෞතික පදනමක් හා දාර්ශනික පසුබිමක් බැඳී පවතී. මෛත්‍රිය පාරමිතාවක් ලෙස සාංසාරිකව ප්‍රගුණ කළ උන්වහන්සේ තුළ අපරිමිත දයාවක් හා කරුණාවක් පැවතුණි.

භාරතීය සමාජ පසුබිම තුළ නිර්මාංශික පුද්ගලයකුට හිමි වටිනාකම සැලකීමේ දී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නිර්මාංශික පුද්ගලයකු වූ බවට සැක නැත. එමෙන්ම අභිරූපවත් රාජකීය පෙළපතකට අයත් පුද්ගලයකු වශයෙන් ජානමය පසුබිමක් ද පවතී. ඒ සියල්ල සමඟ පුරාකෘත කුසලය හා තෙද ගැන්වුණු, කුඩා කල සිට වඩන ලද චිත්ත සමාධිය ප්‍රබල සාධකයක් වූවාට සැක නැත.

යශෝධරා දේවිය සිය පුතු රාහුල කුමරුන්ට මහමඟ වඩින බුදුරදුන් පෙන්වා පවසනුයේ සක් ලකුණින් සලකුණු වූ දිගු විලුඹක් සහිත මනහර පා යුවළක් ඇති සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නුඹගේ පියා වන බව ය.

එසේම සියුමැලි පුන් සිරුරක් ඇති උතුම් ශාක්‍ය කුමාරයකු වන උන්වහන්සේගේ මුහුණ පුන්සඳක් මෙන් පියකරු බවත්, දිව්‍ය, මනුෂ්‍ය, නාගාදීන් විසින් පුදන ලද බවත්, ලෝකයාගේ යහපත පිණිස උන්වහන්සේ ගිහි ගෙය හැර පියා ගිය බවත් ඇය ප්‍රකාශ කරයි. හස්ති රාජයකු මෙන් අභිමානවත් ගමන් සහිත ක්ෂත්‍රිය සම්භවයකින් යුතු අග්‍ර කුලීන වූ ඒ උතුමාණන් සීල සමාධි ප්‍රඥාවෙන් යුතු වන අතර, දිව්‍ය මනුෂ්‍යයන් විසින් නිබඳ වඳීනු ලබන උතුමෙකි. අභිනීල නේත්‍ර හා දේදුනු වන් දිගු බැමක් ඇති උන්වහන්සේගේ සියලු අවයව පියකරු වන ආකාරය ඇය විසින් සිය පුතු වන රාහුල කුමරුට පෙන්වා දී ඇත.

බුදුන් වහන්සේගේ මෙකී ශාරීරික ප්‍රසන්න බව, මිහිරි සංසුන් වදන් ඉඳුරන් ආදී සියල්ලත් අචින්තෙය්‍ය වූ පෞරුෂයත් නිසා තියුණු වී ඇත.ලොව්තුරා අමාමෑනී බුදුපියාණන් වහන්සේගේ මෙකී කායික පියකරු බවට මිනිසුන් පමණක් නොව තිරිසන්ගත සතුන් පවා වශීකෘත වූ අයුරු බෞද්ධ සාහිත්‍යයේ නිරූපණය කොට ඇත.

නාග ලෝකයේ නාගයන් ඒ උතුමාණන් වහන්සේගේ රුව දැක බැතියෙන් පිදිය හැක්කේ මිනිසුන්ට පමණක් ම ද?, අපට ඒ උතුමාණන් වැඳ පුදා නිවන් දොරටු විවර කොට ගත නො හැක්කේ දැයි විලාප දෙමින් සර්වඥ ධාතු ඉල්ලා සිටි අයුරු ස්තූප වංශයේ දක්වා ඇත්තේ අප සිත් තුළ බුදු බැතිය උතුරා යන පරිදි ය.

එබැවින් බුදුන් වහන්සේ සරණ ගිය මිනිසුන් වශයෙන් අපට උරුම වී ඇත්තේ රූප ශ්‍රීයෙන් අග්‍රගණ්‍ය වූ උතුමන් වහන්සේ නමකගේ රූ සපුවකි. එසේ ම ශීල සමාධි ප්‍රඥා දී අනන්ත ගුණයෙන් යුතු ශාස්තෘවරයෙකි. කිසි කලෙකත් පැරැණි නොවන සදාතනික පරම සත්‍යයක් ලොවට විවර කළ උතුමන් වහන්සේ නමකි. උන්වහන්සේ මෙනෙහි කොට බුද්ධානුස්සතිය භාවනාවක් වශයෙන් වඩා චිත්ත ප්‍රමෝද්‍යයක් වඩවා ගැනීමට ඒ බුදු සිරිය අප්‍රමාණ වූ ප්‍රතිෂ්ඨාවක් වේ. පුහුදුන් අපගේ සිත්වල උපදනා අනේක දුක් කම්කටොළු හා දොම්නස් සැනෙකින් නිවා දැමීමට ඒ උතුම් ලොව්තුරා බුදුරුව මොහොතක් දැකීම වුව ප්‍රමාණවත් බව අපි දනිමු.

වර්ෂ දෙදහස් පන්සියයකටත් අධික කාලයක් දෙවි මිනිස්, යක්ෂ, නාග වන සිවුපාදී අනන්ත අප්‍රමාණ සත්ත්ව ගණයාගේ දුක් නිවා සග මොක් සුව ලබා දුන් නෙක සිරින් වොරැඳී ඒ උතුම් බුදුපියාණන් වහන්සේට සදා අපගේ නමස්කාරය වේවා'යි පතමු.

මෙම ලිපියේ මුල් කොටස වෙසක් පුර පසළොස්වක පෝදා (15) පත්‍රයේ පළවිය