Print this Article


බුදුරදුන්ගේ සැබෑ ශ්‍රාවකයෙක් වන්න

බුදුරදුන්ගේ සැබෑ ශ්‍රාවකයෙක් වන්න

කුසිනාරාවේ මල්ල රජුන්ගේ උපවර්තන සල් උයනෙහි පනවන ලද පිරිනිවන් මඤ්චකයේ වැඩ සිටි තථාගතයන් වහන්සේගේ බුදු සිරුර පිදීම උදෙසා නොකල් හි සල් ගස්වල සුපිපි සල් මල් උන්වහන්සේගේ ශරීරයෙහි පතිත විය. එයට අමතර දිව්‍යමය වූ මදාරා මල් ද, දිව්‍යමය වූ සුගන්ධයෝ ද අහසින් අවුත් බුදුසිරුරෙහි පතිත විය. තථාගතයන් වහන්සේ පිදීම උදෙසා අහසෙහි දිව්‍යමය පංචතූර්ය නාද විය.

දිව්‍යමය මිහිරි ගීත ගැයුණි. මේ අසිරිමත් මොහොතෙහි අනඳ තෙරුන් ඇමතූ තථාගතයන් වහන්සේ “ආනන්දයෙනි මෙබඳු දෑ කිරීමෙන් පමණක් තථාගතයන් වහන්සේට ගරු කළා හෝ සත්කාර කළා හෝ පිදුවා හෝ, බුහුමන් කළා හෝ, නොවෙයි.

යම් භික්‍ෂුවක්, භික්‍ෂුණියක්, උපාසකයෙක් හෝ උපාසිකාවක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි මැනවින් පිහිටා කටයුතු කෙරේ ද එම තැනැත්තා හෝ තැනැත්තිය ඉතාම උසස් පූජාවෙන් තථාගතයන් වහන්සේට පුදන්නකු ලෙස සලකනු ලැබේ.

එබැවින් ආනන්දය ඔබ සැම ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි පිහිටා කටයුතු කිරීමෙහිලා උනන්දු විය යුතු ය” යනුවෙන් දේශනා කළහ. බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව වසර දෙදහස් හයසිය හැට හයක් ගතවන මේ මොහොතෙහි තථාගතයන් වහන්සේ පිරිනිවන් මඤ්චකයේ වැඩ හිඳීමින් කළ අනුශාසනව නැවත සිහියට නඟා ගැනීම බෙහෙවින් වැදගත් වේ.

සම්බුදු තෙමඟුල සිහි කෙරෙන මෙම අවදියේ ගිහි පැවිදි බොහෝ දෙනකු බුදුරදුන් වෙනුවෙන් නන් විසිතුරු ආමිස පූජා සංවිධානය කරති. ඒ වෙනුවෙන් කාලය, ශ්‍රමය හා ධනය වැය කරති. එය එසේ වුව ද බුදුරදුන් පිරිනිවන් මඤ්චකයේ වැඩහිඳ අවධාරණය කළේ ආමිෂ පූජාවෙන් පමණක් බුදුරදුන් පිදීම අසම්පූර්ණ බවයි.

ඒ වෙනුවට තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය පිළිපදිමින් ධර්මානු ධර්ම ප්‍රතිපදාවෙහි නිරත වීම උන්වහන්සේට කෙරෙන පරම පූජාවක් බවයි.

මහා පරිනිබ්බාණ සූත්‍රයේ එන ඉහත සඳහන් පාඨය අනුව බුදුරදුන් තම ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසගෙන් කුමක් අපේක්‍ෂා කළේ ද යන්න පැහැදිලි වේ. එසේම පරම හෙවත් උසස්ම පූජාව ලෙස බුදුරදුන් නම් කළේ කුමක්ද? යන්නත් මෙයින් තවදුරටත් අනාවරණය වේ.

බාහිර වශයෙන් විවිධ දෑ භාවිත කොට බුදුරදුන් පිදීමෙන් පමණක් ශ්‍රාවකයකුගේ කාර්යභාරය සම්පූර්ණ නොවන බව බුදුරදුන්ගේ ඉහත අනුශාසනාවෙන් ගම්‍ය වේ. බුදුරදුන් ජීවමානව වැඩ සිටියේ නම් කෙනකුට ඉතා පහසුවෙන් උන්වහන්සේට ආමිෂයෙන් පූජා කළ හැකි ය. එයින් ලැබෙන ආනිසංස ද ඉමහත් ය. එහෙත් බුදුරදුන් දැනට ජීවමාන ව නොමැත. උන්වහන්සේ වෙනුවට දැනට පවතින්නේ තථාගත ධර්මය පමණි. එම ධර්මය පිළිපැදීම හෝ අනුගමනය කිරීම ප්‍රතිපත්තියයි.

විමුක්තිය සාක්‍ෂාත් කිරීමෙහිලා ප්‍රතිපත්ති පූරණය හැර අන් මඟක් නොමැති බව ආර්ය අෂ්ටාංගික මාර්ගය විශ්ලේෂණය කිරීමෙන් වටහා ගත හැකි ය. ආමිෂ පූජාව ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් වුව ද එයින් නිවන් අවබෝධ කළ නොහැකි ය. එයින් ලැබෙන පිනෙන් සසර සැපවත් කර ගැනීමට හැකි වුව ද සසර දුකින් නිදහස් වීමක් සිදු නොවේ.

සසර දුකින් නිදහස් වීම උදෙසා බුදුරදුන් අනුදැන වදාළ පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

බොරු කීමෙන් වැළකී සත්‍ය ප්‍රකාශ කිරීම යහපත් හා නිවැරැදි ප්‍රතිපත්තියකි. බුදුරදුන් වදාළ පරිදි අනුන් රවටන බොරුවෙන් වැළකී, සත්‍ය ප්‍රකාශ කිරීම ප්‍රතිපත්තියක් බවට පත්කර ගැනීම බුදුරදුන් ප්‍රතිපත්ති පූජාවෙන් පිදීමක් වේ.

බුද්ධ වචනය අනුව බොරුවෙන් වැළකී සත්‍යවාදී වීම තථාගත වචනයට අවනත වීමකි. තථාගත අනුශාසනය පිළිපැදීමකි. එවැනි ප්‍රතිපත්තිමය පරිවර්තනයක් ඇතිකර ගැනීම තථාගතයන් වහන්සේට දක්වන ලද පරම පූජාවක් වේ.

මේ ආකාරයට ශීලය යටතේ බුදුරදුන් වදාළ ආචාර ධර්ම ක්‍රමයෙන් ක්‍රියාවට නැංවීමත්, සමාධිය යටතේ චිත්ත ඒකාග්‍රතාව වර්ධනය කර ගැනීමත්, ප්‍රඥාව යටතේ සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා, හිංසාවෙන් හා වධක චේතනාවෙන් තොරව මෙත් සිත වැඩීමත් පංචකාම ලෝකයේ යථා ස්වභාවය දැක ඒවා හඹා යාමෙන් වැළකී නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාව අනුගමනය කිරීමත්, අවසානයේ විදසුන් නුවණ දියුණු කර කෙලෙස් නැසීමත් ප්‍රතිපත්ති පිරීම නම් වේ.

එයින් පරිබාහිරව පැවිදි විනයට අදාළ ශ්‍රමණ ආකල්ප හා ප්‍රතිපත්ති අනුගමනය කිරීමත්, ගිහි ජීවිතයට අදාළ සදාචාර ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමත් ප්‍රතිපත්ති පූජාවට අයත් වේ.

විශේෂයෙන්ම ගිහි භුමිකාව යටතේ ස්වාමී, භාර්යා, මව්පිය, දූදරු, ගුරු ශිෂ්‍ය, ස්වාමි සේවක මිතුරි මිතුරියන් හා වෙනත් භුමිකාවලට අදාළව බුදුරදුන් වදාළ යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටුකිරීම ප්‍රතිපත්ති පූජාව ක්‍රියාත්මක කිරීමකි. ප්‍රතිපත්ති පූජාවට අදාළ ආචාර ධර්ම හා ක්‍රියාකාරකම් රැසක් මංගල, පරාභව, වසල, සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ මෙත්ත ආදී සූත්‍ර දේශනාවල අන්තර්ගතව තිබෙන අතර ඒවා අනුගමනය කිරීම බෞද්ධ ජීවිතය වඩාත් අර්ථවත් කර ගැනීමට හේතු වේ.

එසේම එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම බුදුරදුන් අනුදත් පරම පූජාව වන ප්‍රතිපත්තියෙන් තථාගතයන් වහන්සේ පිදීම නම් වේ.

එය එසේ වුව ද වර්තමාන බෞද්ධ සමාජය බුදුරදුන් වදාළ ප්‍රතිපත්ති පිරීමට වඩා වැඩි උනන්දුවක් දක්වන්නේ ආමිෂ පූජාව සම්පූර්ණ කිරීමට ය. මෙනිසා ආධ්‍යාත්මික වශයෙන් නොදියුණු කායික වාචසික චර්යාවන්ගෙන්, උසස් හැදියාවන්ගෙන් තොර සමාජයක් නිර්මාණය වෙමින් තිබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් බෞද්ධ ආගමික වත් පිළිවෙත්වලට පමණක් මුල්තැන දෙන සංස්කෘතික බෞද්ධයෙක් නිර්මාණය වී තිබේ. බාහිර ආගමික වත් පිළිවෙත්වලින් හා විවිධ ආගමික සංකේත භාවිත කිරීමෙන් බෞද්ධයකු ලෙස පෙනී සිටිය ද එැවනි පුද්ගලයෝ බුදුරදුන්ගේ සැබෑ ශ්‍රාවකයෝ නොවෙති. එබදු නාමික බෞද්ධයන්ගෙන් සැදි සමාජය ආධ්‍යාත්මික සහ භෞතික වශයෙන් දියුණු වී නොමැති බව පැහැදිලි කරුණකි.

ප්‍රතිපත්තියට වැඩි ඉඩක් ලැබෙන, ආමිෂයට අඩු තැනක් ලැබෙන බෞද්ධ ජීවිතය අර්ථවත් එකක් ලෙස නම් කළ හැකි ය. අනෙක් අතට ප්‍රතිපත්තිය යනු තමා තමාගේ හෘදය සාක්‍ෂිය සමග ඇති කර ගන්නා ගිවිසුමකි. එය බාහිර වශයෙන් ප්‍රකට වන්නේ චර්යාවෙන් මිස සංකේතයකින් නොවේ.

නිදසුනක් ලෙස කෙනකු තමා සමඟ ඇති කර ගන්නා ප්‍රාණඝාතයෙන් වැළකීමේ ගිවිසුම බාහිර ලෝකයට ප්‍රකට වන්නේ හිංසාකාරී ක්‍රියවලින් වැළකී අවිහිංසාව වර්ධනය කිරීමට අනුබල දීමෙනි.

එය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක වන විට තම චිත්ත අභ්‍යන්තරයේ ද්වේෂය හා හිංසනය මූලික කර ගත් වධක චේතනාව වෙනුවට ලෝකයට හිත සුව ප්‍රාර්ථනා කරන මෙත් සිත වර්ධනය වේ.

හිංසනයෙන් තොර පුද්ගලයා නිරායාසයෙන් ම සමාජයට යහපත සලසන, හිතකාරී අයකු ලෙස ගෞරවයට පාත්‍රවන අතර, ඔහු හෝ ඇය නිසා කිසිවකුටත් බියක් හෝ සැකයක් ඇති නොවේ.

එමෙන්ම තමා හිංසා සහගත ක්‍රියවලින් වැළකී සිටින නිසා එම තැනැත්තාට හෝ තැනැත්තියට ද බියක් හෝ සැකයක් හට නොගනී. මේ වනාහි ප්‍රතිපත්ති පූජාවේ සැබෑ ස්වරූපය හා ආනිසංස යි. සසර දුක නිමා කෙරෙන පරම පිළිවෙත ප්‍රතිපත්ති පූරණයයි. එබැවින් මේ උතුම් පොහෝ දිනයෙහි ප්‍රතිපත්ති පූජාවෙන් තිලෝගුරු බුදුරදුන් පිදීමට අදිටන් කර ගනිමු.