Print this Article


ලෝ සත සැනසවූ මහා කරුණා ගුණය

ලෝ සත සැනසවූ මහා කරුණා ගුණය

ඈත කාලයේ මෙන් ම මෑත කාලයේත් විවිධ ආගමික නායකයින්ගේත්, විද්වතුන්ගේත්, ජන නායකයින්ගේත් අතිමහත් ගෞරවයට හා ඇගයීමට ලක් වූ උත්තම ශාස්තෘවරයෙකි. අපේ අමාමෑණි බුදුපියාණන් වහන්සේ.

උන්වහන්සේ තුළ පැවැති මහා කරුණාවට සමාන කරුණාවක් ලෝකයේ පහළ වූ බුදුවරයකුට මිස වෙනත් කිසිම කෙනකු තුළ දැක ගත නොහැකි ය.

බුදුරදුන්ගේ දින චරියාවෙහි ප්‍රථම අංකය මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දෙස බැලීමයි. මෙහි මූලික අරමුණ අන්‍ය ජීවිතවලට ආලෝකයක් ලබා දීමයි.

උසස් පහත්, උගත් නූගත්, දුප්පත් පොහොසත්, සැරපරුෂ අහිංසක වැනි කිසිම වෙනසක්, ප්‍රභේදයක් නොකොට සෑම දෙනා කෙරෙහි ම මෛත්‍රියෙන්, කරුණාවෙන් තම මෙහෙය ඉටුකළහ. තමන් වෙත යොමු වු මේ විවිධ චරිත බුදුරදුන්ගේ වදන් තුළින් ක්‍රියාකාරකම් තුළින්, උපදේශනාත්මක මඟ පෙන්වීම් තුළින් නිවැරැදි මඟට යොමුවූ අයුරු දැක ගන්නට පුළුවන. මෙය බුදුරදුන්ගේ උදාර කරුණා ගුණ මහිමයේ ප්‍රතිඵලයකි.

බරපතළ ලෙස රෝගී වූ පූතිගත්තතිස්ස හිමි බුදුරදුන්ගේ කරුණාවට ලක්වූ භික්ෂුවකි. මේ භික්ෂුව බලවත් සේ රෝගාතුර විය. සිරුර පුරාම බිබිළි හටගත්තේ ය. අබ ඇට තරම් කුඩා ගෙඩි සෑදී ක්‍රමානුකූලව වර්ධනය වී නෙල්ලි ගෙඩි තරමට ලොකු වී පසුව ඒවා බෙලිගෙඩි තරමට වර්ධනය විය. ශරීරය පුරාම පැතිරුණු මෙම ගෙඩි පිපිරී සැරව ගලන්නට විය. පෙරව ගෙන සිටි සිවුරු හා අඳන ලෙයින්, සැරවවලින් පිරී දුර්ගන්ධවත් වස්ත්‍ර බවට පත්විය.

මේ නිසාම ‘තිස්ස’ කියන නමට මුලින් තවත් කොටසක් එකතු වී “පූතිගත්තතිස්ස’ තෙරුන් යැයි භාවිත කරන්නට පටන් ගත්හ.

උදේ පාන්දරින්ම ලොව බලන බුදුරදුන්ට සිරුර කුණුවී ජරා ගොඩක සිටියත් පූතිගත්තතිස්ස තෙරුන්ට නිවන් දැකීමේ වාසනාව ඇති බව පෙනී ගියහ.

කෙලෙස් ලෙඩට පමණක් නොව ශාරීරීක රෝගවලටත් බෙහෙත් දන්නා බුදුරජාණන් වහන්සේ කෙලෙස්වලින් ගොඩගන්නට කලින් ශරීරගත රෝගය සුවපත් කළ යුතු යැයි සිතූහ. තමන් වැඩ සිටින ගඳකිළියෙන් නික්ම ගිනිහල් ගෙයට වැඩම කළහ.

බුදුරදුන් සිය අතින්ම රෝගී භික්ෂුවගේ ඇඟ උලා පැන් වත්කොට නෑවූහ. පිරිසුදු රෙදි කඩකින් සිරුර පිසදා වේලුනු සිවුරු හා අඳන පෙරවීය. රෝගී තත්වයෙන් සැනසිලි දායක මට්ටමට පත්වූ මේ භික්ෂුවගේ සමාධිගත මනසට එදා බුදුරදුහු දේශනා කළ ධර්මය මහත් සැනසිල්ලක් විය. ධර්මය ඇසූ තිස්ස හිමි රහත්ඵලයට පත්විණි.

කාගේවත් පිහිටක් නැති මෙවැනි අසරණ රෝගියකුට කළ උපස්ථානය කරුණව යනු කුමක්දැයි ප්‍රායෝගිකව අපට පෙන්නුම් කරයි.

උරුවෙල් ජනපදයේ බමුණු ගෙදරක දාසියක් සිටියා. එම ගෙදර ප්‍රධාන බමුණාගේ ලේලිය මෙම දාසියට හරිම විරුද්ධයි. මේ ලේලිය දාසිය දෙස බලන්නේ ම තරහෙන්, කේන්තියෙන්, වරදක් නැතත් කොණ්ඩෙන් අල්ලා පහර දෙනවා.

දාසිය බැරිම තැන තම කොණ්ඩය කපා දමා හිස බූගා ගත්තා. බෙල්ල වටා ලණු කැරැල්ලක් දමා ගැට ගසා එයින් අල්ලා ගෙන පහරදීම දිගටම සිදුකරගෙන ගියා. දාසියගේ කරේ නිතරම ලණුපටක් එල්ලී ඇති නිසා මේ දාසියට ‘රජ්ජුමාලා’ කියා නමකුත් පට බැදුනා. නිතිපතා සිදුවන මෙම පහරදීම් ඉවසීමට බැරිතැන රජ්ජුමාලා වතුර ගෙනෙන්නට යන මුවාවෙන් කළයකුත් රැගෙන අසල ඇති වන ලැහැබකට ගොස් ‘අනේ මට මෙහෙම ජීවත්වීමෙන් ඇති ප්‍රයෝජනයක් තියෙනව ද? මා දිවි නසා ගන්නවා'යි කියමින් මලපුඩුවක් සාදා ගෙල වැලලාගන්නට සූදානම් වී වටපිට කවුරුවත් සිටිනවා දැයි බැලුවා.

එදින මහා කරුණා සමාපත්තියෙන් ලොව දෙස බැලූ බුදුරදුහු අහිංසක දාසිය ගෙල වැලළාගන්නට සැරසෙන බව දැන කල්තියාම ඒ අසලට විත් ගසක් මුල වැඩ සිටියා. වට පිට බලන දාසියට රන්වන් පැහැයෙන් බබළමින් ගසක් මුල වැඩ සිටින

බුදුරදුහු ‘දුවේ රජ්ජුමාලා, එල්ලී මැරෙන්න එපා. දුවේ, මා වෙත එන්න, කියා රජ්ජුමාලාට කථා කළා. මෙය ඇසෙනවාත් සමඟම ඇයට සියලු දුක් වේදනා අමතක වුණා. ඇයට මහත් සැනසිල්ලක් ඇති වුණා.

බුදුරදුන් වෙත ගොස් ගෞරවයෙන් වැඳ පැත්තකට වුණා. බුදුරදුහු ඇයගේ මානසික විඩාව දුරු කිරීමට අදාළ කරුණු පෙන්වා දුන්නා. ඉතා ඕනෑකමින් ධර්මය ඇසූ රජ්ජුමාලා සෝවාන් ඵලයට පත්වුණා. එතැන් පටන් තම ජීවිතය නසන්නට පැමිණියත් ඒ ඕනෑම කෙනකුට මෛත්‍රිය පතුරවන, කරුණාවෙන් දයාවෙන් පිරි ආර්යාවක් බවට පත්වුණා.

“මගේ ස්වාමි දියණිය, මට ගැසුවත් මා මැරුවත් කමක් නැහැ. මගේ දුවකට මෙන් මම ඇයට මෛත්‍රි කරමි’යි අධිෂ්ඨානයක් ඇති කරගෙන වතුර කළය පුරවාගෙන සියලු සත්වයෝ සුවපත් වෙත්”වායි මෛත්‍රී කරමින් නිවස දෙසට ගියා.

ගෙදර ප්‍රධාන බමුණා මෛත්‍රියෙන් බබළන ඇය දැක වසඟයට පත් ව “දුව වතුර ගෙනෙන්නට ගොස් මෙතෙක් ප්‍රමාද වූයේ ඇයි දැයි ප්‍රශ්න කළා. අද ඔබගේ මුහුණ වෙනදා වගෙ නෙවෙයි, අද ආදරබර හැඟීමකින් කටයුතු කරන බවයි පේන්නේ. මෙහෙම වෙනසක් වූණේ කොහොමදැ’යි රජ්ජුමාලාගෙන් ප්‍රශ්න කළා. ‘අද මම මෙලොව ශ්‍රේෂ්ඨතම උත්තමයා වූ බුදුරදුන් සරණ ගියා. තුනුරුවන් වෙනුවෙන් ජීවිතය පූජා කළා. මා සියලු දෙනාටම මෛත්‍රි කරනවා. මේ දක්වා මා අතින් වරදක් සිදුවී ඇත්නම් මට සමාවන්න යැයි’ රජ්ජුමාලා අයැද සිටියා.

මෙය ඇසූ බමුණා රජ්ජුමාලා හොඳ තැනැත්තියක් වූවා යැයි සිතා තම ලේලිය වෙත ගොස් “දුවේ අදින් පසුව මගේ රජ්ජුමාලාට මොනම පීඩාවක්වත්, හිංසාවක්වත් කරන්න එපා” කියා අවවාද කළා.

බමුණා බුදුරදුන් වෙත ගොස් තම නිවසට වැඩම කර ගෙනැවිත් මහත් භක්තියෙන් දානය පිරිනැමුවා. බුදුරදුන් වැඩම කළ බව අසා අසල්වාසීන් ද එක්රැස් වුණා.

රජ්ජුමාලාට හිංසා කළ තරුණිය ඇතුළු සියලු දෙනාට ම බුදුරදුහු බණ දේශනා කළා. තරුණ බැමිණියගේ සිත මෘදු මොළොක් බවට පත්වුණා. ඇය ඇතුළු සියලු දෙනාම සියලු සත්වයන්ට කරුණාව මෛත්‍රිය වඩන අය බවට පත්වුණා.

මහලු බමුණා ද අද සිට රජ්ජුමාලා මගේ දාසියක් නොව මගේ ආදරණීය දුවක් බවට පත්වූවා යැයි සිතා දරු සෙනෙහසින් කටයුතු කළා. තරුණ බැමිණිය ද එක කුස උපන් සහෝදරියකට මෙන් රජ්ජුමාලාට ආදරයෙන් කරුණාවෙන් සැලකුවා.

වහල් මෙහෙයක යෙදී සිටි පුණ්ණා දාසියගේ ඉල්ලීම පිළිගනිමින් ඇයගේ දුක්බර වහල් ජීවිතයට නිදහස ලබා දුන් ආකාරයත්, දහස් ගණනක් මරණයට පත්කළ අංගුලිමාල තම කාරුණික වදන් තුළින් සදහටම හොඳ මිනිසකු කළ අයුරුත්, මරණ දඬුවමට ලක්වූ ගොවියකුගේ අහිංසකත්වය පෙන්වා දී ඔහු මරණින් නිදහස් කරගත් ආකාරයත්, විහාරස්ථානයෙන් එළවා දමනු ලැබ සිවුරු හැර යන්නට සූදානම් ව සිටි චුල්ලපන්ථක හිමියන් රහතන් වහන්සේ නමක් බවට පත්කළ ආකාරයත්, සිය සැමියාත්, දරු දෙදෙනාත්, මවත්, පියාත්, සහෝදරයාත් යන අයගේ හදිසි මරණයෙන් කම්පිතව සිහිවිකල් වූ පටාචාරව මහා කාරුණික වදන් තුළින් රහත් මෙහෙණියක් බවට පත් කිරීම වැනි සිද්ධීන් තුළින් බුදුරදුන්ගේ මහා කරුණාවේ බල මහිමය අපට දැකගන්නට පුළුවන්.